ඔස්ටේ‍්‍රලියා පන්දු යවන්නෝ ශ‍්‍රී ලංකාව පරදවති

279

ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් යුත් පන්දුවාර විස්සයි 20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිඞ්නි ක‍්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ලෝක ශූර ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම සමත් වූයේය.

වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගය ජය ගැනීමට නම්

ඩක්වර්ත් ලූවිස් න්‍යාය මත පන්දුවාර දහනමයක් තුළදී ශ‍්‍රී ලංකාව ලකුණු එකසිය හතළිස් තුනක් රැස් කළ යුතුව තිබූ අතර ශ‍්‍රී ලංකාවට එම පන්දු වාර සංඛ්‍යාව අවසානයේ දී කඩුලූ 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 122ක් පමණි.

ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලූ 9ක් දැවී ලකුණු 149ක් ලබා ගත් අතර තරග තහනමකින් අනතුරුව යළි ශ‍්‍රී ලංකා කණ්ඩායමට එකතු වූ ධනුෂ්ක ගුණතිලක පැතුම් නිශ්ශංක සමග එක්ව ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළහ.

එහෙත් ධනුෂ්කගේ පුනරාගමනය එතරම් සාර්ථක එකක් වීමට ඉඩ ලබා නොදුන් ජොස් හේසල්වුඞ් ලකුණු 01කට ධනුෂ්කව පිටියෙන් ඉවත් කිරීමට සමත් වූ අතර අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි අවිශ්ක ප‍්‍රනාන්දු ද ලකුණු 06 කට දැවී ගියේය.

ඔවුන් දෙදෙනාගේ දැවී යෑමෙන් පසුව ශ‍්‍රී ලංකා ඉනිම ගොඩනැගූ පැතුම් නිශ්ශංක සහ චරිත් අසලංක දෙදෙනා මුල් පන්දු වාර 10 අවසානයේදී ශ‍්‍රී ලංකා ඉනිම කඩුලූ දෙකක් දැවී ලකුණු හැටදෙකක් දක්වා ඉහළට ගෙන ආවේය. එහෙත් ශ‍්‍රී ලංකා ඉනිමේ 11 වැනි පන්දුවාරය ක‍්‍රියාත්මක කළ ඇඩම් සම්පා විසින් පැතුම් සහ අසලංකගේ කඩුලූ දෙක දවා ගැනීමත් සමග තරගයේ වාසිය ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම දෙසට හැරෙන්නට පටන් ගත්තේය.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගයේදී වැඩිම ලකුණු ප‍්‍රමාණයක්

රැස්කළ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 37 කදී ලකුණු 36 ක් ලබාගත් අතර ඊට හතරේ පහර 5ක් සහ මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවකට එල්ල කළ විශිෂ්ට 6 පහරක් ද ඇතුළත් විය. දිනේෂ් චන්දිමාල්

තරගයේ අවසන් භාගයේදී සටනක් දීමට උත්සාහ කළ ද

ඔස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් හමුවේ අනෙක් අන්තයේ පිතිකරුවන් දැවී යෑමත් සමග එම උත්සාහය ද අසාර්ථක වී ගියේය.

දිනේෂ් චන්දිමාල් පන්දු 16ක් තුළදී නොදැවී රැස් කළ ලකුණු 25 සඳහා හතරේ පහර තුනක් සහ එක් 6 පහරක් ඇතුළත් විය.

ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජොස් හේසල්වුඞ් ලකුණු 12 කට ශ‍්‍රී ලංකා පිතිකරුවන් හතර දෙනකු දවා ගැනීමට සමත් වූ අතර ඇඩම් සම්පා කඩුලූ 3ක් දවා ගත්තේය.

පන්දුවාර 17ක් තුළදී කඩුලූ 5 ක් පමණක් දැවී ලකුණු 140 ක් ලබා ප‍්‍රබල ස්ථානයක සිටි ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම ලකුණු 149කට සීමා කිරීමට ශ‍්‍රී ලංකා වේග පන්දු යවන්නෝ දෙදෙනා සමත් වූහ. තරගයේ 18 වැනි පන්දුවාරය ක‍්‍රියාත්මක කළ බිනුර ප‍්‍රනාන්දු මැතිව් වේඞ් සහ මාකස් ස්ටොයිනිස් පිට පිට පන්දු දෙකකදී දවාලමින් ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමේ ප‍්‍රහාරය අඩාල කිරීමට සමත් වූයේය. පන්දු 18ක් තුළදී 6 පහර 2ක් සහ 4 පහර 2ක් එල්ල කර තිබූ මාකස් ස්ටොයිනිස් ඒ වන විට ලකුණු 30ක් ලබා තිබුණේය. ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම වෙනුවෙන් මේ තරගයේදී දෙවැනියට වැඩිම ලකුණු ලාභියා වීමට ස්ටොයිනිස් සමත් වූ අතර සිය කුළුදුල් අර්ධ ශතකය ලබා ගත් බෙන් මැක්ඩර්මට් වැඩිම ලකුණු ලාභියා වූයේය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ‍්‍රී ලංකා නායක ශානකගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිවිසි ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේදී ජොස් ඉන්ග්ලිෂ් පන්දු වාර 20 20 තරග අංශයෙන් ජාත්‍යන්තර වරම් හිමිකර ගත්තේය.

ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමේ නායක ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච්ගෙ ඉනිම ලකුණු 08 කට සීමා කරමින් ශ‍්‍රී ලංකාව කඩුලූ දඩයම ඇරඹූ අතර තරගයේ 09 වැනි පන්දු වාරය වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වීමෙන් මද වේලාවකට තරගය නතර කෙරිණි. ඒ වන විට ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 58 ක් ලබා සිටි අතර පළමු පන්දු වාර 10 නිමාවන විට ඔවුහු එක් කඩුල්ලක් දැවී ලකුණු 75 ක් ලබා සිටියහ.

ලොව අංක එකේ පන්දුවාර 20 විස්ස පන්දු යවන්නා වන වනිඳු හසරංග මෙම තරගයේදී ක‍්‍රියාත්මක කළ පළමු පන්දුවම හයේ සීමාවෙන් එපිටට යෑමට බෙන් මැක්ඩර්මට් සැලැස් වුවද තවත් පන්දු 3ක් අවසානයේ දී නායක ඒරන් ෆින්ච් ගේ කඩුල්ල දවා ගැනීමට හසරංග සමත් වූයේය. ජොස් ඉන්ග්ලිෂ්ගේ කඩුල්ල ලකුණු 23කට චාමික කරුණාරත්න දවා ගැනීමෙන් අනතුරුව යළිත් ක‍්‍රියාත්මක වූ වනිඳු හසරංග ග්ලේන් මැක්ස්වල්ගේ කඩුල්ල ද ලකුණු 7කට දවා ගැනීමට සමත් වූයේය. වනිඳුගේ තෙවැනි කඩුල්ල ලෙස හිටපු නායක ස්ටීව් ස්මිත් දැවී ගිය අතර චාමික කරකරුණාරත්න බෙන් මැක්ඩර්මට් ව පිටියෙන් ඉවත් කළේය.

පන්දු වාර 15ක් තුළදී කඩුලූ කඩුලූ 5 ක් දැවී ලකුණු 115ක් ලබාගෙන සිටි ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම 16 වැනි සහ 17 වැනි පන්දු වාර දෙක තුළදී ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වූයේය. එහෙත් බිනුරගේ පන්දුවක් හමුවේ මැතිව් වේඞ් එල්ල කළ පහර විශිෂ්ට උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට නායක දසුන් ශානක සමත් වීමෙන් අනතුරුව දුෂ්මන්ත චමීර ද පැට් කමින්ස්ගේ සහ මිචෙල් ස්ටාර්ක්ගේ කඩුලූ දවා ගැනීමට සමත් වූයේය.

තරගයේ වීරයා සම්මානය ඇඩම් සම්පා විසින් දිනා ගනු ලැබූ අතර දෙරට අතර දෙවැනි පන්දු වාර 20 20 තරගය හෙට (13 වැනිදා) ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය.

ලකුණු සාරාංශය

ඔස්ටේ‍්‍රලියාව

බෙන් මැක්ඩර්මට් 53, මාකස් ස්ටොයිනිස් 30, ජොස්

ඉන්ග්ලිෂ් 23,ඒරන් ෆින්ච් 08,ග්ලේන් මැක්ස්වල් 7,ස්ටීව් ස්මිත් 9,මැතිව් වේඞ් 4,පැට් කමින්ස් 2,මිචෙල් ස්ටාර්ක් 1

පන්දු යැවීම

දුෂ්මන්ත චමීර 4-38-2,

බිනුර ප‍්‍රනාන්දු 4-12-2, මහීෂ් තීක්ෂණ 3-27-0, වනිඳු හසරංග 4-38-3, චාමික කරකරුණාරත්න 4-22-2, දසුන් ශානක 1-8-0

ශ‍්‍රී ලංකාව

පැතුම් නිශ්ශංක 36, දිනේෂ් චන්දිමාල් 25 නොදැවී, ධනුෂ්ක ගුණතිලක 1, අවිශ්ක ප‍්‍රනාන්දු 6, චරිත් අසලංක 16, වනිඳු හසරංග 13, දසුන් ශානක 7, චාමික කරකරුණාරත්න 0, දුෂ්මන්ත චමීර 5, බිනුර ප‍්‍රනාන්දු නොදැවී 2

පන්දු යැවීම

මිචෙල් ස්ටාර්ක් 4-41-0, ජොස් හේසල්වුඞ් 4-12-4, පැට් කමින්ස් 4-32-1,මාකස් ස්ටොයිනිස් 3-12-0, ඇඩම් සම්පා 4-18-3

advertistmentadvertistment
advertistmentadvertistment