ඔස්ටේ‍්‍රලියාවේ නගරයක උෂ්ණත්වය වසර 60කට පසු දැඩිවේ

437

දශක හයකින් පසු ඔස්ටේ‍්‍රලියාවෙන් වාර්තා වූ අධිකම උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය බටහිර ඔස්ටේ‍්‍රලියාවේ ‘ඔන්ස්ලෝ’ නගරයෙන් පෙරේදා (14දා) දිනයේ වාර්තා වී තිබේ. ඔස්ටේ‍්‍රලියානු බලධාරීන්ට අනුව පෙරේදා දිනයේ ‘ඔන්ස්ලෝ’ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50.7ක් (ෆැරන්හයිට් 123.26) තරම් ඉහළ මටටමක පැවතිනි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මෙම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ පෙරේදා සවස 2.26ට පමණය.

මේ සා අධික උෂ්ණත්වයක් ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වී ඇත්තේ ඉකුත් මාසයේ දේශගුණික විපර්යාසයන් හරහා හටගෙන ඇති ගෝලීය උණුසුම හේතුවෙන් ඇති වූ දරුණු ලැව් ගිනිවලින් පසුවය. ඊයේ දිනයේද නගරයේ හා නගරය අවට ප‍්‍රදේශවල උෂ්ණත්වය වාර්තාගත අයුරින් තවත් ඉහළ යමින් පැවති බව වාර්තා වී තිබිණි. සාමාන්‍යයෙන් ඔන්ස්ලෝ නගරයේ මෙම කාලයේ පවතින සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.5 කි. අවසන් වරට ඔස්ටේ‍්‍රලියාවේ මේ සා ඉහළ උෂ්ණත්වයක් වාර්තා වී තිබුණේ 1962 වසරේදී දකුණු ඔස්ටේ‍්‍රලියාවෙනි. ඔන්ස්ලෝ නගරයේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාගරට් ගඟ ආසන්නයේ ලැව් ගින්නක් හටගෙන ඇති අතර එය හෙක්ටයාර් 6000ක ප‍්‍රදේශයක් පුරා පැතිර යෑම හේතුවෙන් විශාල පිරිසක් නිවෙස්වලින් ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment