ඔස්ටේ‍්‍රලියාවේ පාසලක සෙල්ලම් මාළිගයක් පියඹා යාමෙන් ළමයි 04 ක් මරුට

822

ඔස්ටේ‍්‍රලියාවේ තස්මේනියා ප‍්‍රාන්තයේ ප‍්‍රාථමික පාසලක ක‍්‍රීඩාංගණයේ සවි කර තිබූ උඩ පනින (බවුන්සින්) සුළං පිරවූ සෙල්ලම් මාළිගයක් තද සුළඟකට හසු වීමෙන් එහි විනෝද වෙමින් සිටි ළමුන් පිරිසත් සමගම අහසට ඉගිලී යෑම හේතුවෙන් ඉන් බිම වැටුණු ළමුන් සිවු දෙනකු මිය ගොස් තවත් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

ඔස්ටේ‍්‍රලියාවේ පාසලක සෙල්ලම් මාළිගයක් පියඹා යාමෙන් ළමයි 04 ක් මරුට

උතුරු තස්මේනියාවේ ඩෙවන්පෝර්ට් නගරයේ පිහිටි ප‍්‍රාථමික පාසලක වසරේ අවසන් දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ ළමුන්ගේ විනෝද වීමේ දිනය සඳහා ක‍්‍රීඩාංගණයේ සවි කර තිබූ සුළං පිරවිය හැකි උඩ පනින මාළිගයක් මෙසේ සුළඟට ගසා ගෙන ගොස් තිබේ. එම අවස්ථාවේදී හමා යමින් තිබූ දැඩි සුළඟ හේතුවෙන් මෙම සෙල්ලම් මාළිගය මීටර් 10ක් (අඩි 32ක් පමණ) උඩු ගුවනට පියඹා ගොස් ඇති අතර එහි සිටි ළමුන් ගුවනේ සිට බිමට වැටීම සඳහා විනාඩි 10ක පමණ කාලයක් ගත වී ඇති බව පොලිසිය පවසා ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ ප‍්‍රාථමික පාසලේ ඉගෙනුම ලබමින් සිටි පහ හා හය ශ්‍රේණිවලට අයත් සිසුවියන් දෙදෙනකු හා සිසුන් දෙදෙනෙකි. ඔවුන් අවුරුදු 10-12 කාණ්ඩයට අයත් වන බව බලධාරීහු පවසති. අනතුර පිළිබඳව සැලවුණු වහාම ප‍්‍රථමාධාර කණ්ඩායම් සිද්ධිය වූ ස්ථානයට කඩිනමින් ළඟා වී ඇති අතර තුවාල ලැබූවන්ට ප‍්‍රථමාධාර ලබා දී හෙලිකොප්ටර් යානයකින් රෝහල වෙත ගෙන ගොස් තිබේ. මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වා ඇති ඔස්ටේ‍්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා ඇත්තේ මෙම අනතුර සිතා ගැනීමටත් නොහැකි ආකාරයේ හදවත කම්පා කරවන සිදුවීමක් බවයි.

අනතුර සැළ වීමත් සමගම ප‍්‍රාථමික පාසලට දිවගෙන විත් ඇති දෙමවුපියන් සිය දරුවන් නිවෙස්වලට රැගෙන ගොස් තිබේ. මෙම අනතුරට මුල් වූ උඩ පනින සෙල්ලම් මාළිගය නයිලෝන් වැනි නූල් විශේෂයන් යොදාගෙන තනනු ලබන අතර ඒවායේ බැලූම් මෙන් වායුන් පිරවීම නිසා සුළඟට ගසා ගෙන යෑමේ දැඩි අවදානමක් පවතී. මෙයට පෙර 2019 වසරේදී චීනයේ සිදු වූ මෙවැනි සෙල්ලම් මාලිගයක් ගුවනට ගසා ගෙන යෑමේ සිදුවීමකින් එහි සිටි ළමුන් දෙදෙනකු මිය ගොස් තවත් 20 දෙනකු තුවාල ලබා තිබිණි. 2018 වසරේදී එංගලන්තයේ නෝෆෝක් වෙරළේ සවි කර තිබූ මාලිගයක් අහසට පියඹා ගොස් පිපිරී යෑමෙන් එහි සිටි කුඩා දැරියක් මිය ගොස් තිබූ අතර 2016 වසරේ මාර්තු මාසයේ එසෙක්ස් ප‍්‍රාන්තයේ සිදු වූ මෙවැනි අනතුරකින් හත් හැවිරිදි දැරියක් මිය ගොස් තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment