ඔස්ටේ‍්‍රලියා – පාකිස්තාන අවසන් පූර්ව සටන අද

203

2010 වසරේ පැවැති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවෙනි අවසන් පූර්ව තරගය සඳහා සහභාගී වූ කණ්ඩායම් දෙකටම මෙවර පන්දු වාර 20 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවෙනි අවසන් පූර්ව තරගය සඳහාද ඉඩ හසර වෙන් කර දීමට ඩුබායි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය අද (11වෙනිදා) සැදී පැහැදී සිටියි.

2010 වසරේ පැවැති එම තරගයේ පකිස්තානයේ සයීඞ් අජ්මාල් ක‍්‍රියාත්මක කළ තරගයේ අවසන් පන්දු වාරයේ දෙවෙනි පන්දුවේ සිට ලකුණු 6,6,4 සහ 6 ක් ලබා ගත් මයිකල් හසී නොදැවී ලකුණු 60ක් ලබා තමන් අතේ තිබුණු ජයක් උදුරා ගත් අයුරු පකිස්තානයට තවමත් මතක ඇත.

එය ඔස්ටේ‍්‍රලියාව පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට පිවිසි පළමු සහ එකම අවස්ථාව වූ අතර ඔස්ටේ‍්‍රලියාව එම අවස්ථාවද ඇතුළුව අවසන් පූර්ව තරග තුනකට මීට පෙර ක‍්‍රීඩා කර තිබේ.

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අවසන් පූර්ව තරග 5 කට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම ලෙස ඩුබායි ක‍්‍රීඩාංගණයට අද පිවිසෙන පකිස්තානය මීට පෙර මෙම කඩඉමට පැමිණි අවස්ථාවන් හතරෙන් දෙකක් සාර්ථක කර ගෙන ඇත.

ඉන් පළමු අවස්ථාවේදී අනුශූරතාවයත්, දෙවෙනි අවස්ථාවේදී ශූරතාවයත් ජයග‍්‍රහණය කළ පකිස්තානය 2010 සහ 2012 වසරේ අවසන් පූර්ව තරගවලින් පරාජයට පත් වී ඇත.

අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලි දෙකේදීම අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් නොලැබුවත් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටය යටතේ සියලූම තරග ජයග‍්‍රහණය කළ එකම කණ්ඩායම ලෙස ඔවුන් ඉදිරියට පැමිණියේ තම සුපුරුදු ප‍්‍රතිවාදියා වූ ඉන්දීය කණ්ඩායම පරාජයේ මාවතට ඇද දමමිනි.

පකිස්තානය කණ්ඩායමේ නායක බාබර් අසාම් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 264ක් හිමි කර ගෙන සිටින අතර ඔහුගේ සහායක ආරම්භක පිතිකරු මොහොමඞ් රිස්වාන් ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව වැඩිම ලකුණු ලාභි පකිස්තාන පිතිකරු වේ. අත්දැකීම් බහුල ෂොයිබ් මලික් පන්දු 18 කදී ලකුණු 50ක් ලබමින් තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කියන අතර ඇෆ්ගනිස්තානයට එරෙහිව 19 වැනි පන්දු වාරයේදී පිට පිට 6 පහර 4ක් එල්ල කරමින් කණ්ඩායමට ජය ගෙන ආ අසීෆ් අලි ද පකිස්තානයට ශක්තියකි.

කෙසේ වෙතත් ඔස්ටේ‍්‍රලියා නායක ඒරන් ෆින්ච් තරගයට පෙර අදහස් දක්වමින් පැවසුවේ ෂහීන් ෂා අෆ්රිඩි ගේ පන්දු යැවීම කෙරෙහි තම කණ්ඩායම විශේෂ අවධානය යොමු කර ඇති බවයි. ෂහීන් ෂා අෆ්රිඩි මෙවර තරගාවලිය තුළ සිටින දක්ෂම පන්දු යවන්නෙකු බවත් එහෙත් ඔස්ටේ‍්‍රලියා වේග පන්දු බලඇණියේ සිටින මිචෙල් ස්ටාර්ක්, ජොස් හේසල්වුඞ් සහ පැට් කමින්ස් තිදෙනා ලෝක මට්ටමේ පන්දු යවන්නන් බව අමතක නොකරන ලෙසද ෆින්ච් පකිස්තානයට මතක් කර සිටී.

එසේම ඔස්ටේ‍්‍රලියාවේ ද`ග පන්දු යවන ක‍්‍රීඩක ඇඩම් සම්පා තරගාවලිය පුරා දක්ෂතා දක්වා ඇති අතර ඬේවිඞ් වෝනර්, නායක ඒරන් ෆින්ච්, මිචෙල් මාෂ් සහ ග්ලේන් මැක්ස්වල් ප‍්‍රධාන ඔස්ටේ‍්‍රලියා පිතිකරු අංශයද කිසිවකුට නොදෙවෙනිය.

ඔස්ටේ‍්‍රලියාව සුපිරි වටය යටතේ පළමු කාණ්ඩය නියෝජනය කරමින් එහි දෙවෙනියා ලෙසද පකිස්තානය දෙවෙනි කාණ්ඩය නියෝජනය කරමින් එහි පළමු වෙනියා ලෙසද අවසන් පූර්ව තරග වරම් දිනා ගත්තේය.

ශ‍්‍රී ලංකා වේලාවෙන් අද රාත‍්‍රී 7.30ට තරගය ආරම්භ වීමට නියමිත වේ.

ඕස්ටේ‍්‍රලියානු සංචිතය

එරන් ෆින්ච් (නායක), පැට් කමින්ස්, ඇෂ්ටන් ආගර්, ජොෂ් හෙස්ලවුඞ්, ජොෂ් ඉංග්ලිස්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, කේන් රිචඞ්සන්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඞ්, ඬේවිඞ් වෝනර්, ඇඩම් සම්පා සහ මිචෙල්ස් ස්වෙප්සන්

පාකිස්තාන පිල

බාබර් අසාම් (නායක), මොහොමඞ් රිස්වාන්, ෆකාර් සමාන්, මොහොමඞ් හෆීස්, ෂොයිබ් මලික්, අසීෆ් අලී, ඉමාඞ් වසීම්, ශදාබ් ඛාන්, හසන් අලී, හාරිස් රවුෆ්, ශහීන් අෆ්රිඩි, මොහොමඞ් නවාස්, මොහොමඞ් වසීම්, හයිඩර් අලී සහ සර්ෆරාස් අහමඞ්

කුෂාන් සුබසිංහ අබුඩාබි සිට

advertistmentadvertistment
advertistmentadvertistment