ඔසීට එරෙහි වේග පන්දු පුහුණුව මාලිංගට

358

සංචාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්සයි ක්‍රිකට් තරගාවලිය සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු උපදේශක ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර ඇත.

අදාළ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලසිත් මාලිංගගෙන් කරන ලද විමසීමට මාලිංග යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇත.

ඒ අනුව මෙම මස 24 වැනි දා දක්වා මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැඳී සිටින අතර පසුගිය පෙබරවාරි මාසයේදී තරග 5කින් යුතු පන්දු වාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ටේ්‍රලියාවේ සිදු කළ තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපාය මාර්ගික පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මාලිංග කටයුතු කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ්‍රලියාව අතර පන්දුවාර විස්සයි විස්ස තරග තුනක් පැවැත්වීමට නියමිත අතර එම තරග ලබන 7 වැනිදා ආරම්භ වේ.

තරග 5කින් යුතු එක් දින ක්‍රිකට් තරගාවලිය මෙම මස 11 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ලසිත් මාලිංග පසුගියදා නිමා වූ 2022 අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනාගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙසද කටයුතු කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 30ක්, එක් දින තරග 226 ක් සහ පන්දුවාර විස්සයි විස්ස තරග 84කට ක්‍රීඩා කර ඇති මාලිංග එම තරගවලදී දවාගෙන ඇති මුළු කඩුලු සංඛ්‍යාව 546කි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment