“ඔහු අරගල කළේ රට වෙනුවෙන් ඇයි මෙහෙම කරන්නේ”  – “ට්‍රැවල් බෑන්ඩ් එක කෝ” – අරගලකරු වෙනුවෙන් ශ්‍රී ලාංකික මගීහු කෑ ගසති

203

ඩුබායි යන ගුවන් යානයේදී අරගලකරු අත්අඩංගුවට ගැනීම

“මම මිනී මරලා හොරකම් කරලා නැහැ ඇයි මට මෙහෙම කරන්නේ” – අරගලකරු

අරගලයදා රූපවාහිනියට කඩාවැදුණු අලි අල්ලා ගැනීම

“ඔහු අරගල කළේ රට වෙනුවෙන් ඇයි මෙහෙම කරන්නේ”  - “ට්‍රැවල් බෑන්ඩ් එක කෝ” - අරගලකරු වෙනුවෙන් ශ්‍රී ලාංකික මගීහු කෑ ගසති

රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුල් වීමට අදාළව අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර සිටියදී කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ගානිස් අලි නමැති අරගලකරුවා ගුවන් යානයේදී කළ අරගලය මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ලොව පුරා පැතිර ගොස් ඇත.

තිස්එක් හැවිරිදි මෙම පුද්ගලයා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ. එල්. 225 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා යෑමට යානයේ වාඩි වී සිටියදී නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (26 වැනිදා) සවස අත්අඩංගුවට ගනු ලැබීය.

මොහු ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී ඔහුට විදේශගත වීම සම්බන්ධව ගුවන් ගමන් තහනමකට අදාළ නියෝගයක් ආගමන විගමන නිලධාරින් වෙත ලැබී තිබුණේ නැත.

මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට පෙර සැකකාර  ගානස් අලි මහතා ගුවන් තොටුපළ නිශ්කාශන කටයුතු නිමකර ඩුබායි බලා ගමන් කරන ගුවන් යානයේ අසුන් ගෙන ඇත. මෙම ගුවන් යානය ඩුබායි බලා පියාසර කිරීමට නියමිතව තිබුණේ සවස 6.35 ටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ ඇත්තේ සවස 5.45 ට පමණය.

එසේ අසුන් ගෙන සිටියදී ගුවන් ගමන් තහනමක් ද නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් ගුවන් යානයට ගොඩ වී මොහුව අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධිය නිසා ගුවන් යානය ඩුබායි බලා පියාසර කළේ 7.05 ට පමණය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු ඊට එරෙහිව විරෝධය පළ කරමින් හැසිරුන වීඩියෝ පට සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.

එහිදී සැකකාර ගානස් අලි මහතා මෙසේ කියා තිබේ.

“පොඩ්ඩක් ඉන්න. කරදර කරන්න එපා. මීනිමරලාද? හොරකම් කරලාද? මම ස්ත්‍රී දූෂකයෙක්ද? මෙහි ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. මාව අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝගයක් නෑ. ගුවන් ගමන් තහනම පෙන්වන්න. ට්‍රැවල් බෑන්ඩ් එකක් නොමැතිව මාව අත්අඩංගුවට ගන්න බෑ. මේ බලන්න කරන දේ මගෙ බෙල්ල මිරිකන්න එපා. අපි අරගල කළා නම් කළේ රට වෙනුවෙන්. දරුවන් වෙනුවෙන්. බලාගන්න මාව අත්අඩංගුවට ගන්න විදිහ. රට වෙනුවෙන් අරගල කළ වරදටයි මාව අත්අඩංගුවට ගන්නේ.” එසේ කියමින් ඔහු නිලධාරීන් සමඟ පොර බදමින් යළි ගුවන් යානයේ ආසනයේ වාඩි වී ආසනය බදාගත් අයුරු ද වීඩියෝ පටවල ඇත.

මෙහිදී ගුවන් යානයේ සිටි තවත් ශ්‍රී ලාංකික පිරිසක්ද මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව අදහස් දැක්වූ අයුරුද එම වීඩියෝ පටවල අඩංගුය.

වරෙන්තුව පෙන්වන්න, ට්‍රැවල් බ්‍රෑන්ඩ් එක පෙන්වන්න…. මේ සිද්ධිය සජීවීව විකාශනය වෙනවා. එහෙම කරන්න එපා. මේක ඉන්න හිතෙන රටක් නෙවෙයි. මෙයා අරගල කළේ නම් අරගල කළේ රට වෙනුවෙන්. වෛරයෙන් මේ දේවල් කරන්න එපා. එහෙම කරන්න එපා. අපි වෙනුවෙන් කතා කරපු අය. ඔයාලට ජොබ් එකක් ඇති. අත්අඩංගුවට ගන්න අදාළ ලියකියවිලි පෙන්නන්න යැයි ගුවන් යානයේ සිටි අනෙකුත් ශ්‍රී ලාංකික මගීන් ද කෑ කෝ ගසමින් විරෝධය පළ කළහ. හොරකම් චෝදනා එල්ල වෙච්ච අය මෙහෙම ඇල්ලුවද?

අපි පොඩ්ඩක් බලමු මමත් දන්නෙ නෑ. වරෙන්තුවයි ට්‍රැවල් බෑන්ඩ් එකයි ගේනවා කිව්වා. අපි බලමු යැයි නිලධාරියෙක් එහිදී ප්‍රකාශ කරන අයුරු ද වීඩියෝ පටවල ඇත.

කෙසේ වෙතත් ඊට පසුව නිල ඇඳුම් සහිත පොලිස් නිලධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව වරෙන්තු ලියවිල්ලක් ඔහුට පෙන්වමින් සැකකරු ඔසවා ගෙන ගුවන් යානයෙන් පිටතට රැගෙන ගියහ.

මුදල් අමාත්‍යාංශයේ ඉකුත්දා ඇති වූ කලහකාරී සිද්ධියකට අදාළව ද මෙම සැකකරුට එරෙහිව ඉකුත් 22 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නියම වී ඇති බව ද පොලිසිය සඳහන් කර ඇත.

ශිරාන් රණසිංහ, කටුනායක – ටී. ජේ. කේ. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment