ඔහු තාරකාවක් නොවූ නළුවා ය….

779

සිනමා නළුවකු වන්නට නම් ආරෝහ පරිණාහ සිරුරක්, හීන් උඩු රැවුලක්, කාල වර්ණ නොවූ ඡවි වර්ණයක්, බොකුටු කොණ්ඩයක් අවශ්‍ය යැයි සැලකුණු යුගයක් මෙරට සිනමා වංශකතාව කියවන කල්හි අපට දැකගන්නට හැකි ය. එහෙත් මේ සුදුසුකම් එකක්වත් නොවූ රඟපෑම ම එකම සුදුසුකම වූ බව සනාථ කළ නළු පරපුරක් අප සතු වූ බව සිංහල චිත්‍රපට ඉතිහාසයේ මුල් අවධියේ සිට අපට සිහිපත් කළ හැකි ය. සිංහල සිනමාවේ මුල් අවධියේ චිත්‍රපට රැසක රඟපෑ එවන් විශිෂ්ට රූපණවේදීන් කිහිප දෙනකුම මගේ මතකයට නැඟේ. ඔවුන් අතර ලැඩී රණසිංහ, වින්සන්ට් වාස්, ඩී. ආර්. නානායක්කාර, ඩොමී ජයවර්ධන, ජෝ අබේවික්‍රම, හියුගෝ ප්‍රනාන්දු, එච්. ඩී. කුලතුංග, පියදාස ගුණසේකර, ඩේවිඩ් ධර්මකීර්ති ආදීහු වෙති. පූර්ව හැත්තෑව දශකයට අයත් මේ නළු නාමාවලිය හැත්තෑව දශකයේ සිට නව මුහුණුවරක් ගන්නේ තාරකා නොවූ නළුවන් කිහිප දෙනකුගේම ආගමනය සමගිනි. ඒ කිහිප දෙනා අතර ඉදිරි පෙළ සිටින්නන් ලෙස මට හැඟෙන නම් අතර සිරිල් වික්‍රමගේ, සෝමසිරි දෙහිපිටිය, රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, විමල් කුමාර ද කොස්තා, යූ. ආරියවිමල්, දයා තෙන්නකෝන්, ජයලත් මනෝරත්න ආදීහු වෙති. ජීවිතයේ නවවන දශකයෙහි සිටින සිරිල් වික්‍රමගේ විශිෂ්ටයා හැරුණු කල අන් සියල්ලන් ජීවන රඟ මඬලින් සමුගෙන ගොසිනි. සෝමසිරි දෙහිපිටිය අප හැර ගොස් හතළිස් වසරක් සපිරුණේ පසුගිය විසිහත් වැනිදාය. නිසැක වශයෙන්ම දෙහිපිටියගේ නම අකල්හි ජීවන රඟ මඬලින් සමුගත් කලාකරු නාමාවලියට එක්වන බව දනිමි. අඩ සියවසක් ජීවත් වන්නට වාසනාව නොලද කලාකරු නාමාවලියෙහි සිටින මහගමසේකර, ධම්ම ජාගොඩ, විජය කුමාරණතුංග ආදීන් අතරට සෝමසිරි දෙහිපිටිය එක්වන්නේ හතළිස් නවවන වියෙහි දී ඔහු අපගෙන් සමුගත් බැවිනි. ඔහු මෙන්ම මෙලෙස අකල් හි සමුගත් විශිෂ්ටයන් අද අප අතර සිටියා නම් මෙරට කලාවෙහි පෝෂණයට ඔවුන්ගෙන් කෙතරම් විශාල දායකත්වයක් ලැබෙන්නට තිබුණේ ද යන්න සිතාගන්නට නොහැකි ය. තතු එසේ වූවත් සෝමසිරි දෙහිපිටිය නම් වූ විශිෂ්ට රංගධරයා මියගොස් දශක හතරක් ගතවන තුරුත් ඔහුගේ සම්ප්‍රදානය පිළිබඳ ස්මරණයක් නොවීම ඇදහිය නොහැකි මුත් සත්‍යය එය බව කිව යුතු ය. ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රමුඛ කිසිදු සිනමා රසික විචාරක සංසදයකට අමතකව ගිය සෝමසිරි දෙහිපිටිය නම් වූ අපූර්ව රංගධරයා, සහෘදයා හා ළෙන්ගතු මිතුරා පිළිබඳ අනුස්මරණයකට අප කැඳවූ දමිත් සිරිලාල් හා නයනාංජලී දෙහිපිටිය නම් පුතු හා දියණියට අපගේ ප්‍රණාමය හිමිවන්නේ ඔවුන් විසින් ස්මරණය කරනු ලැබූයේ ඔවුන්ගේ පියා පමණක් නොව මෙරට සිංහල සිනමාවේ අපූර්ව රංගන කුසලතා ප්‍රකට කළ විශිෂ්ටයකු වීම නිසා ය.

සෝමසිරි දෙහිපිටිය සිනමාවට අවතීර්ණ වන්නට පෙර වේදිකා රංගනයෙන් රඟපෑමට අත්පොත් තබන්නේ ය. එදවස වේදිකා නාට්‍යයේ විශිෂ්ටයන් වූ එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, පී. වැලිකල මහගමසේකර හා නීල් ශ්‍රී විජේසිංහ ආදීන්ගේ නාට්‍ය රැසක රංගනයෙන් දායක වන්නේ ය. ඒ අතර සරච්චන්ද්‍රගේ පබාවතී, එලොව ගිහිං මෙලොව ආවා, මහගම සේකරගේ කුණ්ඩලකේශී, දයානන්ද ගුණවර්ධනගේ ඉබි කට්ට, පී. වැලිකලගේ මැටි කරත්තය, රත්නාවලී වැනි නිර්මාණ වෙසෙසි කොට දැක්විය හැකි ය. වේදිකාවේ රංගනයට විශිෂ්ට නාට්‍යවේදීන්ගේ ගුරුහරුකම් ලැබුවා සේම සිනමා රංගනයට ද සෝමසිරි දෙහිපිටිය වාසනාවන්ත වන්නේ විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් රැසකගේම නිර්මාණ සඳහා දායක වන්නට ලැබීම නිසා ය. ඔහුගේ ප්‍රථම රංගනය මහාචාර්ය සිරි ගුණසිංහගේ විශිෂ්ටතම සිනමාකරණය වූ සත් සමුදුර වීම දෙහිපිටියගේ සිනමා රංගන චාරිකාවෙහි හැරවුම් ලක්ෂ්‍ය වූවා නිසැක ය. ඩී. බී. නිහාල්සිංහ, වසන්ත ඔබේසේකර ආදීන් හා සිනමා රංගනයේ මුල් අකුරු කියවූ ඔහු 1967 සිට 1984 දක්වා රඟපෑ චිත්‍රපට හැට හතර අධ්‍යක්ෂණය කළෝ සිනමාවේ දැවන්තයන් ය. ඔවුන් අතර වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ, තිස්ස අබේසේකර, ඩී. බී. නිහාල්සිංහ, ගාමිණී ෆොන්සේකා, මහගම සේකර, සුනිල් ආරියරත්න, ටයිටස් තොටවත්ත, එච්. ඩී. ප්‍රේමරත්න, සුගතපාල සෙනරත් යාපා, සුමිත්‍රා පීරිස් හා තවත් ප්‍රකට අධ්‍යක්ෂවරු වූහ. මේ සිනමා භූමිකා අතර සෝමසිරි දෙහිපිටියගේ රංගන ප්‍රතිභාව ප්‍රේක්ෂක මතකයෙහි සදා රැඳ වූ භූමිකා රැසකි. සත්සමුදුරෙහි පීටර්, තුංමංහංදියෙහි ජේමිස්, අහස්ගව්වෙහි සෝමේ, සිහසුනෙහි කිරිගෝරිස්, හාර ලක්ෂයෙහි ලෑතර බාස්, වල්මත්වූවෝ හි සෝමදාස, දියමන්තිහි ගුණේ, සරුංගලේහි ජයසේකර, කරුමක්කාරයෝහි මුදලාලි, සිරිබෝ අයියාහි බන්දුලහාමි වැනි චරිත සෝමසිරි දෙහිපිටිය ප්‍රතිනිර්මාණය කළේ රඟපානවා යන පූර්ව කල්පනාවකින් මිදී එම චරිත තුළට පිවිස සැබෑම රංගනයට පිවිසීමෙනි. ආංගික, වාචික හා සාත්වික අභිනය මනාව භාවිත කරමින් රඟපෑමට ලද කුමන චරිතයක් වුව සජීවීව රඟපෑමෙහි දුලබ ප්‍රතිභාව දෙහිපිටිය සතුව පැවති බව විචාරක මතය යි. ඔහුටම අනන්‍ය වූ හඬ පෞරුෂයක් දෙහිපිටිය සතුව තිබිණ. සිරිබෝ අයියාහි සිරිබෝ

හාමිගේ සමීප සගයා ලෙස ප්‍රතිනිර්මාණය කළ බන්දුලහාමිගේ රංගනය උදෙසා 1980 ජනාධිපති සිනමා සම්මාන උලෙළේ දී හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි කරගන්නේ ඔහුගේ නිසඟ රංගන කුසලතාව නිසාම ය.

ජාතික චිත්‍රපට සංස්ථා තරංගණී ශාලාවේ පසුගිය 23 වැනිදා අප සහභාගි වූ සෝමසිරි දෙහිපිටිය හතළිස්වන ගුණසමරුව හා සිනමා දැක්මට සහභාගි වූ ශාලාව පිරි ප්‍රේක්ෂාගාරය පැවසූයේ සෝමසිරි දෙහිපිටිය යනු තාරකාවකට වඩා ජනප්‍රසාදය දිනූ මිතුරු සමාගමයක් සතු වූ සොඳුරු මිනිසකු බව ය. නිසැක වශයෙන්ම ප්‍රතිභාන්විත රූපණවේදියකු බව ය. සරල හා චාම් ගුණසමරු උලෙළක් වූ සැඳෑවෙහි එකම මතක කතාබහ මගින් සෝමසිරි දෙහිපිටියගේ රංගන ජීවිතයේ අතිශය සොඳුරු මතක කරා අප කැඳවාගෙන යන ලද්දේ ඔහු සමීප මිතුරු ප්‍රවීණ රංගනවේදී ඩබ්ලිව්. ජයසිරි ය. කෙටි එහෙත් ඉතාමත් ආකර්ෂණීය වූ අතීතස්මරණ මතක කිහිපයක් පමණක් ගෙන හැර පාමින් ජයසිරි විසින් දෙහිපිටිය නම් රූපණවේදියාගේ රංගන දිවි මග මිහිරි හා සොඳුරු සිදුවීම් සමග ප්‍රේක්ෂාගාරය අපූරුවට සම්බන්ධ කරගන්නා ලද්දේ ය. සෝමසිරිගේ පළමු රූගත කිරීමට අයත් වූ ඉතා කෙටි වාක්‍ය ඛණ්ඩයක් අධ්‍යක්ෂ සිරි ගුණසිංහට හා කැමරා අධ්‍යක්ෂ නිහාල්සිංහට අවශ්‍ය පරිදි ඔහු ලවා කියවා ගැනීමට දිගු වෙහෙසක් දරන්නට වූ බව ජයසිරි මතක් කළේ ය. දෙහිපිටියට දෙබස් අමතක වීම පිළිබඳ අවස්ථාවක් ජයසිරි සිහිපත් කළේ ඔහු රිදී නිම්නය සහාය අධ්‍යක්ෂ ලෙස සරසවි චිත්‍රාගාරයේ හඬ කැවීමකට සහභාගි වූ අවස්ථවක් සිහිපත් කරමිනි. රූගත කිරීමවල දී දෙහිපිටියට දෙබස් අමතකවීම හෝ පැටලීම නිතර සිදුවන බවට අපූරු අවස්ථාවක් ඔහු වෙනුවෙන් පළ කොට තිබූ සමරුවෙහි සඳහන් ව තිබිණ. සිදුවීම මෙසේ ය. අධ්‍යක්ෂ ටයිටස් සෝමෙට මෙසේ උපදෙස් දෙයි. ‘සෝමෙ මෙතන තියෙන්නෙ “අර සාගරය මැද තියෙන දූපතට යමු, කියන දෙබසයි. ටයිටස් රඟපාන අයුරු හා දෙබස කියා දුන්නේ ය. “හරි ගමු, ටයිටස් විධානය දෙයි. සෝමේ මෙසේ කීවේය. “දියණිය අපි අර දූපත මැද තියෙන සාගරයට යමු, ටයිටස් රැවුල කසමින් ‘පුදුමයි. කියා බලා සිටියේ ය. නැවතත් සෝමසිරි කීවේ ඒ දෙබසම ය. “යකෝ දූපත මැද කොහෙද සාගරයක් තියෙන්නෙ? සාගරය මැද දූපතක් මිසක්, සෝමසිරිට ද සිනා ගිය බව එහි සඳහන්ව තිබිණ. සෝමසිරි දෙහිපිටිය යනු මිත්‍ර සමාගම ප්‍රිය කළ ක්‍රිකට් ලෝලියකු ද බව අමතක කළ නොහේ. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ නිත්‍ය සාමාජිකයකු වූ ඔහු ක්‍රිකට් තරග නැරඹීමට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද ආදරය

කළේ ය. බන්දුල වර්ණපුර ඔහුගේ ප්‍රියතම ක්‍රීඩකයා ය. බ්ලූමෆීල්ඩ් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සගයන් වූ ජයන්ත සෙනෙවිරත්න, ගාමිණී හප්පාවන තම ක්‍රිකට් ලෝලී නළු සගයාට උපහාර පුදන්නට තරංගණියට පැමිණ සිටිනු දුටිමි. දෙහිපිටිය රඟ පෑ සිනමා දැක්ම දුටු කල්හි හැඟුණේ ඔහු නම් කිනම් ආශ්චර්යමත් නළුවකු ද යන්නයි. සිරිබෝ අයියා හි ජෝ සමග, සරුංගලේහි ගාමිණී සමග බඹරු ඇවිත් හි ජෝ සමග ඔහු පෑ රංගන විලාස කෙසේ අමතක කරම් ද? සෝමසිරි දෙහිපිටිය යනු සිංහල සිනමාවට අකල්හි අහිමිව ගිය චරිතාංග නළුවා ය.

බුද්ධදාස ගලප්පත්ති
[email protected]

ඔහු තාරකාවක් නොවූ නළුවා ය....


advertistmentadvertistment
advertistmentadvertistment