ඔළුවෙන් වැඩ කරමු (නොබැඳි රාජ්‍ය ප්‍රතිපත්තියට ගරු කරමු)  

932

‘Yuan Wang 5’ නමැති චීන තොරතුරු තාක්ෂණ නෞකාව දැන් හම්බන්තොට වරායේ නැංගුරම්ලා ඇත.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ගැන පසුගිය සති කිහිපය මුළුල්ලේම යම් නොසන්සුන්කාරී වාතාවරණයක් මෙරට පැවැතියේ, මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව තම නොසතුට පළ කිරීම හේතුවෙනි. ඒ මගින් ඉන්දියාවේ තාක්ෂණික (න්‍යෂ්ටික) තොරතුරු අනාවරණය කරගනු ඇතැයි යන කාරණය නිසාය.

මේ නිසා නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකා රජය චීන රජයට දැනුම් දුන් බව කියනු ලබන අතර, තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව චීනය සමඟ යම් මතභේදයක පැටළුණ බව රහසක් නොවේ.

මේ නිසා ආර්ථික අර්බුදයක ගිලී සිටින අප (ශ්‍රී ලංකාව) නැවේ ගමන ප්‍රමාද කරන්නට ඉල්ලා සිටිමින් තවත් අර්බුදයක පැටළුණ අතර, මේ හේතුව නිසා චීන ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ බලාපොරොත්තුව ද කඩවන තැනට කරුණු කාරණා සිදුවිය.

එපමණක් නොව, චීන එක්සිම් බැංකුව මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය යෝජනා ක්‍රම නවතා දැමීමේ අනතුරකට රට මුහුණපාන ලද අතර මේ නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කඩවත දක්වා චීන ඉදිකිරීම් නතරවනු ඇති බවට ද වාර්තා පළවිය.

කෙසේ හෝ ‘Yuan Wang 5’ නැවේ ගමන දැන් ශ්‍රී ලංකාව වෙත සිදුව ඇති අතර ඊට ඉතා උණුසුම් පිළිගැනීමක් ද හිමි විය. නැව පිළිගැනීම සඳහා වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ වැනි මන්ත්‍රීවරුන් ද එක්ව සිටිනු දක්නා ලදී.

චීනය අපගේ ඉතා හොඳ එසේම, දිගු කාලීන කල්‍යාණ මිත්‍රයෙකි. අතීතයේදී අප මුහුණදුන් ඉතා දුෂ්කර, අපහසු අවස්ථාවන්හිදී චීනය අපට උදව් උපකාර කර ඇති අතර, චීන – ශ්‍රී ලංකා මිතුදම් වසර 60 කට වැඩි කාලයක් පවත්වාගෙන යනු ලැබේ.

එසේම, අසල්වැසි ඉන්දියාව ද එසේමය. රට ආර්ථික අතින් කඩාවැටී ඇති මෙවන් මොහොතක මේ දිනවල යන්තම් හෝ අප හුස්ම ගනු ලබන්නේ ඉන්දියාව විසින් අපට ලබාදෙන ලද පහසුකම් නිසාය.

තෙල් අර්බුදයක ගිලී සිටි ශ්‍රී ලංකාවට ඩීසල්, පෙට්‍රල් නැව් ගණන් ඒවා ඉන්ධන අර්බුදය අද පවතින තත්ත්වය දක්වා සමනය කරන ලද්දේ ඉන්දියාව විසිනි. යූරියා පොහොර, අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ යනාදිය පරිත්‍යාග කරමින් හා ණය සහන පදනම මත සපයා දෙමින් ඉන්දියාව කරනු ලබන උදව්ව මෙතෙකැයි කියා මිල කළ නොහැක.

එසේ හෙයින් චීනය මෙන්ම ඉන්දියාව ද අපට අත්‍යවශ්‍ය කලණ මිතුරන් දෙදෙනකි. මේ එකක්වත් තරහ කර ගැනීම අපගේ යුතුකම නොවේ. කවුරුන් අමනාප කරගත්ත ද අපට සිදුවනු ඇත්තේ දිගුකාලීන පාඩුවක් මිස ලාභයක් නොවේ.

ඉන්දියාව, චීනය පමණක් නොව රුසියාව, ඇමෙරිකාව, ජපානය, මැදපෙරදිග රාජ්‍යයන් , අග්නිදිග ආසියාතික හා යුරෝපීය රාජ්‍යයන්, අප්‍රිකානු හෝ ඔස්‌ට්‍රේලියාව වැනි කොයි කවුරුන් අමනාප කරගත්තත් පාඩුව අපට මිස ඒ රටවලට නොවේ. එබැවින් අපේ රට තවදුරටත් ‘නොබැඳි’ රාජ්‍ය ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීම අදටත්, ඉදිරියටත්, හැමදාමත් වටින්නේමය. එහි වාසිය අපටම ය.

මේ සඳහා පූර්වාදර්ශය අපට ලබා දුන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඇය හැම විටම නොබැඳි රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර නොබැඳි රාජ්‍ය එකමුතුවට පණදීම සඳහා හැමවිටම කැපවීමෙන් කටයුතු කළාය.

නොබැඳි රාජ්‍ය සමුළුවේ සභාපතිනිය ලෙස 1976 අගෝස්තු මස 16 – 19 දක්වා ශ්‍රී ලංකාවේදී මුළුදුන් පස්වන රාජ්‍ය නායක සමුළුවට ඇය නායකත්වය දුන් අතර, චීනය, ඉන්දියාව ඇතුළු රටවල් 86 ක රාජ්‍ය නායකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා චීනය විසින්ම අපට පරිත්‍යාග කළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සමුළුව පවත්වා ලෝකයට ඇය ලබාදුන් ආදර්ශය මෙහිදී අප ගුරුකොට සැලකීම මේ මොහොතේදී අතිශය වැදගත්ය.

සංවර්ධිත රටවල් හා සංවර්ධනය වන රටවල් අතර පරතරය අඩු කිරීමේ අරමුණින් සාමූහික ආර්ථික ස්වශක්තිය ගැන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙහිදී ආවධාරණය කළ අතර නොබැඳි රාජ්‍ය ප්‍රතිපත්තිය මගින් ඒ ඒ රටවල්වලට ලබාගත හැකි ඉතා ඉහළ ප්‍රතිලාභ පිළිබඳව ඇය ලෝක අවධානය යොමුකළේ ප්‍රතාපවත් ඉන්දීය නායිකා ඉන්දිරා ගාන්ධි මැතිනිය වැනි බලවත් රාජ්‍ය නායකයන් ඉදිරියේය.

සැබැවින්ම අපගේ අතීත නායකයන් රට දියුණු කිරීමට යොදාගත් ප්‍රධානතම මාර්ගය නොබැඳි රාජ්‍ය ප්‍රතිපත්තිය මත පිහිටා සියලුම රටවල් සමඟ පවත්වාගෙන ගිය මිත්‍රත්ව බැඳීමයි. මේ මොහොතේත් අප අවධාරණය කළ යුත්තේ මෙම ප්‍රතිපත්තිය මිස අනිකක් නොවේ.

එබැවින් ඉන්දියාව හා චීනය සමඟ ගනුදෙනු කිරීමේදී මේ බව ප්‍රකට කළ යුතු අතර ඒ ඒ රටවල නායකයන්ට ඒ පිළිබඳ පහදා දීම ඉතා වැදගත්ය. නෞකාවේ සිද්ධිය ඒ අනුව විසඳාගත හැකිව තිබුණේ නම් අවසන් මොහොතේ කිසිදු රටක් සමඟ මතගැටුම් ඇතිකර ගැනීමට අපට අවශ්‍ය නොවන්නේය.

එසේ වූයේ නම් ඒ ඒ රටවල් ද ඊට අනුරූපව කටයුතු කරනු ඇති අතර, ශ්‍රී ලංකාව ඔවුන්ගේ න්‍යාය පත්‍රවල ගොදුරක් වන්නේ ද නැත. කෙසේ හෝ අවසන් මොහොතේ හෝ යම් අවබෝධයකින් ප්‍රශ්නය විසඳා ගැනීමට ලැබීම රටට ඉතා වැදගත්ය.

ආර්ථික අර්බුදයක රට ගිලී ඇති මෙවන් මොහොතක අපට අනුන්ගේ ප්‍රශ්න, ගැටලු අපේ කරගන්නට වුවමනා නැත.

තවදුරටත් අප නොබැඳි රාජ්‍ය ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරමු. නොබැඳි රාජ්‍ය එකමුතුවට යළි යළිත් පණ දිය යුතු වෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment