ඔ්නෑම දේවස්ථානයක කුරුසියේ අතගසා දිවුරන්නම් සිංගප්පූරුවේ රෝහලේ සිටියදී පාස්කු ප‍්‍රහාරය ගැන කිසිවකු මට දැනුම් දුන්නේ නෑ – හිටපු ජනපති මෛත‍්‍රී කියයි

294

තමා සිංගප්පූරුවේ ක්වීන් එලිසබෙත් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබද්දී පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොලැබුණ බව ඕනෑම දේවස්ථානයක කුරුසියේ අත ගසා දිවුරා සපථ කළ හැකි බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (27දා) පොලොන්නරුව නිර්මලී දෙව් මැඳුරේ ඉරිදා දේවමෙහෙයට සහභාගි වීමෙන් අනතුරුව පැවති උත්සවයකදීය.

එහිදී මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය.

‘‘මේ උතුම් දේවස්ථානයේ සිට පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ කාරණයක් මට කියන්න ඕනෑ. මේ තොරතුර මට ලැබිලා දැනගෙන පිටරට ගියයි කියලා ආරංචියක් පතුරුවනවා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මේ පිළිබඳව යම් හෝ තොරතුරක් ලබාදී බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ හෝ මාව දැනුවත් කළා නම් මම රටෙන් පිටවෙන්නේ නැහැ. මම වෛද්‍ය ප‍්‍රතිකාර ගන්න ගියේ. ඒ දවස් ටික සිංගප්පූරු රෝහලේ හිටියේ. සමහර වෙලාවට ඇතැම් මාධ්‍ය හා ඇතැම් අය පතුරුවනවා මම ඒ රෝහලේ සිටින විට දුරකථන ඇමතුම් දීලා මේ ගැන දැනුවත් කළා කියලා. නමුත් සිංගප්පූරු එලිසබෙත් රෝහලේ රෝගීන් ගාවට දුරකථන ඇමතුම්, ටෙලිෆෝන්, මොබයිල් ෆෝන් ගෙනයන්න පුළුවන්කමක් නෑ. ඒ දවස් දෙක මම රෝහලේ ගත කළේ. මම මේ පිළිබඳව මමම පත් කරපු ජනාධිපති විශේෂ කොමිෂන් සභාවටත් ප‍්‍රකාශ කළා. ඒ නිසා මම ඒ පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ.

බෞද්ධයෙක් විදිහට බුදුන් වහන්සේගේ දෙපා නමැද මට කියන්න පුළුවන් සත්‍ය වශයෙන්ම මේ කිසිදෙයක් මම දැනුවත් වුණේ නෑ කියලා. මම බෞද්ධයෙක් වුණත් ගෞරවනීය අපේ පූජකතුමනි මේ උතුම් දේවස්ථානයේ හෝ ඕනෑම තැනක විශේෂයෙන්ම අතිඋතුම් කුරුසියේ අත ගසා මට කියන්න පුළුවන් මේ පිළිබඳව කිසිම තොරතුරක් මට ලැබුණේ නෑ කියලා. එවැනි දෙයක් මම දැනගෙන හිටියා නම් මම කවදාවත් ම ඒ සඳහා අවශ්‍ය පියවර නොගෙන සිටින්නේ නෑ.

සිංගප්පූරුවේ සිටින අවස්ථාවේ හෝ මට දැනුම් දුන්නා නම් මම වහාම ආරක්ෂක අංශවලට උපදෙස් දීලා ඇඳිරිනීතිය දාලා ඊට අවශ්‍ය ක‍්‍රියාමාර්ග වහාම ගන්නවා. ප‍්‍රධාන විත්තිකරු විදිහට සිටින සහරාන් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂක මණ්ඩලයට මම උපදෙස් දුන්නේ ජනවාරි මාසේදී. ඇයි මේ සහරාන් තාමත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ කියලා අහලා? ඒක මහා දිග කතාවක්.

මේ චෝදනා එල්ල කිරීම පිළිබඳව මම ඉතාමත් කනගාටු වෙනවා. මම කිසිම දවසක මගේ රටටත් මගේ ජාතියටත් මගේ ජනතාවටත් සියලූ දෙනාටම හානිදායක දෙයක් වෙන්න ඉඩ තියන කෙනෙක් නෙමෙයි. ඒක නිසා විශේෂයෙන්ම මගේ දේශපාලන ජීවිතය තුළ ඉදිරියටත් ආගමික සහජීවනය ජාතික සමගිය මනුෂ්‍යත්වය ප‍්‍රමුඛ කොටගත් සමාජ වගකීම මම ඉෂ්ට කරනවා. එක නිසා මේ උතුම් දේවස්ථානයට ඇවිල්ලා උතුම් ආශිර්වාද පූජාවට සහභාගි වීමට ලැබීම ගැන සතුටු වෙමින් මේ ආශිර්වාද පූජාව සංවිධානය කළ සැමටත් ස්තුතිවන්ත වෙනවා.

අරලගංවිල – රොෂාන් තුෂාර තෙන්නකෝන්, කරුණාරත්න ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment