ඕඅයිසීගේ මුව ආවරණය ගැලවීමට ගිය රැප් ගායකයාට වැඩ වරදී

943

වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකට ආරක්ෂාව සපයමින් සිටි පානදුර උතුර පොලිස් ස්ථානාධිපති වරයාගේ රාජකාරියට බාධාකර මුව ආවරණය ගැලවීමට උත්සාහ දැරූ ප‍්‍රසිද්ධ ගායන ශිල්පියෙකු පෙරේදා(20දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර  ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රසිද්ධ රැප් ගායකයෙකු බව පොලිසිය පවසයි.

පානදුර, කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පාසලක අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ සිසු සම්මන්ත‍්‍රණයකට පානදුර උතුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ආරක්ෂාව සපයමින් සිටි ඇත. සැකකරු ඒ ආසන්නයේ කෑකෝ ගසමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ස්ථානාධිපතිවරයා සැකකරුට අවවාද කර ස්ථානයෙන් පිටව යන ලෙසට උපදෙස් දී ඇති අතර එහිදී සැකකරු ස්ථානාධිපතිවරයාගේ මුව ආවරණයෙන් ඇද ආවේගශීලිව හැසිරීම හේතුවෙන් සාපරාධී බලහත්කාරය පෑම යටතේ අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. සැකකරු පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පානදුර උතුර පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හිරන්ත තිලකරත්න ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම


 

advertistmentadvertistment
advertistmentadvertistment