‘ඕපාදූපවලට’ උත්තර නොදෙමි – ජොන්ස්ටන්

494

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) සිදු කළ විශේෂ ප‍්‍රකාශයේ ‘ ඕපාදූප’ තිබූ බවත් ඒවාට ආණ්ඩුව පිළිතුරු නොදෙන බවත් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් ප‍්‍රකාශ කිරීමෙන් ඊයේ සභා ගැබෙහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

මේ වනවිට රට මුහුණ දෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් 27 (2) යටතේ සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ විශේෂ ප‍්‍රකාශයක් කළ අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා කි‍්‍රයාමාර්ග මොනවාදැයි ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කළේය.

එහිදී නැගී සිටි ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා එම ලිඛිත ප‍්‍රකාශයේ ඇති සියලූම කරුණුවලට ආණ්ඩුව පිළිතුරු දෙන නමුත් පේ‍්‍රමදාස මහතා ඊට පිටින් කියූ ‘ ඕපාදූප’ වලට ආණ්ඩුව පිළිතුරු නොදෙන බව පැවසීය.

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා තම ප‍්‍රකාශයට ඕපාදූප යැයි කීම පිළිබඳව උදහස් වූ විපක්ෂනායකවරයා, තමා විමසුවේ ඕපාදූප ප‍්‍රශ්නයක් නොව ජීවන මිල සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් බවත් එය නොවටිනා එකක් දැයි ප‍්‍රශ්න කළේය.

එම කතාවේ බොහොමයක් ඕපාදූප බව ජොන්ස්ටන් මහතා නැවත වරක් කී නිසා ඒ සම්බන්ධයෙන් තමා කනගාටු වන බව කියමින් සජිත් පේ‍්‍රමදාස මහතා නැවතත් කතා කිරීමට ගත් උත්සාහය නැවැත්වීම හේතුවෙන් මුලාසනයේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතාට එරෙහිව විපක්ෂනායකවරයා තර්ක කළේය.

මෙම කතාබහට විපක්ෂ මන්තී‍්‍රවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, නලින් බණ්ඩාර යන මහත්වරු ද එක් වූහ. එහිදී කබීර් හෂීම් මහතා තමන් මොළය නැති අයකු යැයි කී බවත් මොළය තිබුණු අයට වසර හතරහමාරකදී ආණ්ඩු බලය අත්හැර යන්නට සිදු වූ බවත් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා කියා සිටියේය. තමන් මෙවැනි විශේෂ ප‍්‍රශ්නයක් විමසූ අවස්ථාවේ මුදල් ඇමැතිවරයා හෝ එම රාජ්‍ය ඇමැතිවරයා සභාවේ නොමැති වීම කනගාටුවක් බව ද එම කතාවට ඉඩ නොදෙමින් සිය මයික‍්‍රෆෝනය කි‍්‍රයාත්මක කිරීම චාරිත‍්‍ර කඩකිරීමක් බව ද විපක්ෂනායකවරයා මුලාසනයට චෝදනා කළේය. කෙසේ වෙතත් අවසානයේදී එම ප‍්‍රකාශයේ සියලූ කරුණුවලට උත්තර ලබා දෙන බව පවසමින් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා එම වචන හුවමාරුව අවසන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment