ඕමානයේදී කතකට හදි කළ කුප්‍රකට කුෂාන් රිමාන්ඩ්: ඇප ඉල්ලීම ඉවතට

501

● සංචාරක වීසා මත ඕමාන් රැගෙන ගිය කතුන් ලිංගික ජාවාරමේ යෙදවීම ගැන විමර්ශන කරනවා – සීඅයිඩී පොලිස් පරීක්ෂක
● සුරක්‍ෂා නිවාසයෙන් පලාගිය කත යළි ගෙනාවාට අභූත චෝදනා නගනවා – සැකකරුගේ නීතිඥ

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවාසයේ රඳවා සිටි වින්දිත කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් සිදු කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවන ලේකම්වරයා ලෙස කටයුතු කළ එදිරච්චාරිගේ කුෂාන් නමැත්තා ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (29 දා) නියෝග කළේය.

ලැබුණ පැමිණිල්ල අනුව පැමිණිලිකාරිය ඇතුළු කිහිපදෙනකුගෙන් හා එම තානාපති කාර්යාලයේ පළමු හා දෙවන ලේකම්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගත් බවත් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බවත් පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් හා සමුද්‍රිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අමරසිංහ මහතා එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

එම නඩුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේදී කැඳවිණි.

සිය සේවාදායකයා එකී වරදට හෝ මිනිස් ජාවාරමට කිසිසේත්ම සම්බන්ධ නොවූ බවත්, එම නිවසේ රඳවා සිටියදී තවත් කාන්තාවන් පිරිසක් සමග පලාගිය හා එලෙස පලායෑමට නායකත්වය දුන් කාන්තාවක් යළි සුරක්‍ෂා නිවසට රැගෙන ඒමට පියවර ගැනීම නිසා පැමිණිලිකාරිය එකී අභූත චෝදනා නඟා ඇති බවත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චානක රණසිංහ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. එබැවින් සිය සේවාදායකයා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙසට ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව ගරු අධිකරණය දැනුවත් කර ලබාගත් වරෙන්තු නියෝගයක් අනුව බවත්, එකී ලිංගික අඩන්තේට්ටම් කිරීම මෙන්ම සංචාරක වීසා බලපත්‍ර මත ඕමාන් රාජ්‍යයට රැගෙන ගිය කාන්තාවන් ලිංගික කටයුතු හා වෙනත් කටයුතු සඳහා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඉතා සංකීර්ණ විමර්ශනයක් සිදු කරනා බවත් සැකකරු ඇප මත මුදාහැරීමෙන් එකී විමර්ශන කටයුතුවලට දැඩි බාධාවක් විය හැකි බවත් පෙන්වා දෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අමරසිංහ මහතා එම ඇප ඉල්ලීමට විරුද්ධත්වය දැක්වීය.

විමර්ශන අවසන් වී නොමැති අවස්ථාවකදී සැකකරු ඇපමත මුදාහැරීමෙන් විමර්ශනවලට බාධාවක් සිදුවිය හැකි බවට කරුණු වාර්තා වී ඇති බැවින් සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම මෙම අවස්ථාවේදී සලකාබැලීමට තම අධිකරණයට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

එකී මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, එම කාන්තාවන් විදේශගත කළ විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් දෙදෙනකු, විදේශ රැකියා නියෝජිත ආයතනයක භාෂා පරිවර්තිකාවක හා තැරැව්කරුවන් දෙදෙනකු ඇතුළු හයදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර ආශා දිසානායක නමැති භාෂා පරිවර්තකවරිය හැර අන් සැකකරුවන් මීගමුව හා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

පොලිස් සැරයන් මයුර විජේරත්න මහතා සමග ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අමරසිංහ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක
පින්තූරය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment