ඕමානයේ ගණිකා ජාවාරම සොයන්න ඉන්ටර්පෝල් සහාය

210

ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු පිරිස් ඕමානයට ගෙන්වා ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන ආන්දෝලනාත්මක සිද්ධියේ විමර්ශන කටයුතු සඳහා ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්) සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ.

මෙම සිද්ධියට අදාළව යම් තොරතුරක් වෙතොත් ළඟම පොලිසියට ලබාදෙන ලෙස පොලිසිය ඊට ගොදුරු වූ අයගෙන් ඉල්ලා සිටී.

විසිට් වීසා මත ඩුබායි රාජ්‍යයට ගෙනැවිත් පසුව ඕමානයට රැගෙන ගොස් ශ්‍රී ලාංකික කතුන් අලෙවි කිරීමේ සිද්ධියේ මහමොළකරු ශ්‍රී ලංකාවේ ප්‍රධාන තැරැව්කරු ඇතුළු සිව්දෙනකු මෙරට පොලිසිය මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ හා ශ්‍රී ලාංකික කාන්තාවකට ලිංගික හිංසන සිදු කළ බවට චෝදනා එල්ල වී සිටින ඕමාන තානාපති කාර්යාලයේ නිලධාරියා තාමත් මෙරටට පැමිණ නැති අතර ඔහු මෙරට පැමිණි වහාම අත්අඩංගුවට ගැනීමට පොලිසිය තීරණය කර ඇත.

මේ වනවිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුයුක්තව ඕමාන තානාපති කාර්යාලයේ සේවයේ නිරතව සිටි අදාළ නිලධාරියාගේ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය අහෝසි කර ඇත.

සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් වෙන වෙනම පරීක්‍ෂණ සිදුකරයි.

නෝමන් පලිහවඩන, ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment