ඕමානයේ සුරක්ෂා මැදුරෙහි රඳවා සිටි ගෘහ සේවිකාවෝ 15 ක් යළි දිවයිනට

44

ගුවන්තොටුපළ කාර්ය භාර නිලධාරියා සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ගොරවයි

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ”‍ සුරක්ෂා”‍ මැදුරෙහි රඳවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 15 දෙනෙකු 15 දින අලු‍යම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

ඕමානයේ සුරක්ෂා මැදුරෙහි දැනට ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 117 දෙනෙකු රඳවා සිටින අතර ඔවුන් අතරින් 17 දෙනෙකු ශ්‍රී ලංකාවට එවීම සඳහා ඕමානයේ මස්කට් ගුවන් තොටුපළ වෙත භාර දී තිබූ අතර එයින් මෙම ගෘහ සේවිකාවන් දෙදෙනෙකුගේ ලියැකියවිලිවල පැවැති අඩුපාඩු නිසා ඔවුන් මස්කට් ගුවන් තොටුපළ විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

මෙසේ පැමිණි ගෘහ සේවිකාවන් 15 දෙනා 15 දින අලු‍යම 04.50 ට ඕමානයේ මස්කට් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි. මෙම පිරිස භාර ගැනීම සඳහා මෙම ගෘහ සේවිකාවන්ගේ දෙමාපිය නෑදෑ පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

මෙම සිදුවීම වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් කීප දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත 15 දින අලු‍යම 04.00 සිට පැමිණ සිටියද, ඔවුන්ට ඒ සඳහා ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාවේ ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කවුන්ටරය වෙත යෑමට ගුවන්තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා අවසර ලබා නොදීම නිසා එම ප්‍රවෘත්තිය වාර්තා කිරීමට බාධා ඇති විය.
කටුනායක ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment