ඕල්ටන් වතුයායේ හොඳම දලු නෙළන්නිය විග්නේෂ්වරී

90

රන් පවුමක් සමග රු.ලක්‍ෂයක් දිනා ගනී

හොරණ වැවිලි සමාගමට අයත් ඕල්ටන් තේ වතුයායේ හොඳම තේ දලු නෙළන්නිය තරගයෙන් ප්‍රථම ස්ථානයට පත් කම්කරු කාන්තාවට එම වැවිලි සමාගමේ කළමනාකාරිත්වය මගින් රුපියල් 178,500 ක් පමණ වටිනා රන් පවුමක් හා මුදලින් රුපියල් ලක්ෂයක් පිරිනැමීම පසුගියදා ඕල්ටන් තේ වතුයායේදී උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි.

ඕල්ටන් තේ වතුයායේ පදිංචි එම්. විග්නේෂ්වරී (34) නමැති වතු කම්කරු කාන්තාව හොඳම තේ දලු නෙළන්නිය ලෙස මෙසේ ඇගයීමට ලක් වූවාය.

නුවරඑළිය, රදැල්ල තේ වතුයායේදී හොරණ වැවිලි සමාගමට අයත් සාමිමලේ හා ලිඳුල ප්‍රදේශවල පිහිටි තේවතු 08ක් නියෝජනය කරමින් පැවති හොඳම තේදලු නෙළන්නිය තරගයෙන් සාමිමලේ, ඕල්ටන් තේ වතුයායට ප්‍රථම ස්ථානයත්, දෙවන ස්ථානය සාමිමලේ, මහනිලු තේ වතුයායේ ජී. පෙරියම්මාටත්, තෙවන ස්ථානය සාමිමලේ, ස්ටොක්හෝම් තේ වතුයායේ වී. ඉදයවානී මහත්මියත් ජයග්‍රහණය කළහ. මෙහිදී දෙවන ස්ථානය ලබාගත් කාන්තාවට රන් පවුම් භාගයක් හා මුදලින් රුපියල් 75,000 ක්ද, තෙවන ස්ථානය දිනා ගත් කාන්තාවට රන් පවුම් භාගයක් සමග රුපියල් 50,00 ක්ද ලෙස මහනිලු හා ස්ටොක්හෝම් තේවතු පාලනාධිකාරීන් මගින් පිරිනමන ලදි.

ප්‍රථම ස්ථානයට පත් ඕල්ටන් තේ වතුයායේ එම්. විග්නේෂ්වරි මහත්මිය රදැල්ල තේ වතුයායේ පැවති තරගයේදී විනාඩි 20ක් තුළ අමු තේ දලු කිලෝ 09 යි ග්‍රෑම්ස් 600 ක් නෙළා ජයග්‍රහණය හිමි කර ගත් බවත්, වතු කම්කරු කාන්තාවන් දිරිමත් කිරීම සඳහා මෙම ඇගයීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් ඕල්ටන් තේ වතුයායේ කළමනාකරු අනුෂ්ක වන්නිආරච්චි මහතා පැවසීය.
මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment