ඕවල් පිටියේ වර්ෂාවෙන් කාන්තා තරගාවලියේ තැන සහ දින මාරු වේ

176

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේදී ඊයේ (02 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවීම මත තරගාවලියේ ඉදිරි කාලසටහන සහ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල සංශෝධනයක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

තරග තුනකින් යුත් මෙම තරගාවලියේ මූලික සැලසුම වූයේ පළමු තරගය අප්‍රේල් 29 වැනිදා ද, දෙවැනි සහ තෙවැනි තරග මැයි මස 02 වැනිදා සහ 04 වැනිදා පැවැත්වීමටයි.

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී එක්දින තරගාවලියට අදාළ එම සියලු තරග පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

එහෙත් නව කාලසටහනට අනුව පී. සරා ඕවල් ක්‍රීඩාංගණය වෙනුවට කොළඹ එස් සී සී ක්‍රීඩාංගනයේ දී තරගාවලියේ ඉදිරි තරග පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එසේම පන්දුවාර විස්සයි 20 තරගාවලිය සඳහා පුහුණු තරගයක් ලෙස ලබන 07 වෙනිදා සීසීසී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරගය ද එක්දින ජාත්‍යන්තර තරගාවලියේ තෙවැනි තරග දිනය ලෙස තරග පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ ඊයේ දිනයේ දී අපතේ ගිය තරගය වෙනුවෙනි.

තරග තුනකින් යුත් ශ්‍රී ලංකා බංග්ලාදේශ කාන්තා තරගාවලියේ පළමු තරගය පසුගිය 29 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර වර්ෂාව හේතුවෙන් එම තරගයත් පන්දුවාර 36.4 කට සීමා විය. ඒ වන විටත් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කාන්තාවෝ කඩුලු 6 ක් දැවී ලකුණු 152 ක් ලබා සිටියදී තරගය අතරමඟ නතර කර දමන ලදි.

ඊයේ (02 දා) කොළඹ පී. සරා පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගයත් වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවිය.

පෙර දින රාත්‍රියේ සිටම ඇද හැළුණු වර්ෂාව ඊයේ උදෑසන කාලයේ සිටම අඛණ්ඩව පැවැති නිසා තරගය ප.ව. 12.00 ට අතහැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ. මෙම තත්ත්වය මත දෙපිලම තරගය ක්‍රියාත්මක පී. සරා ඕවල් පිටියටවත් පැමිණීමෙන් වැළකී සිටියේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment