ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර “ගෝ ගෝඨා ගෝ” සුපර් මාර්කට් එකක්

432

ශ්‍රී ලාංකිකයකුගේ අලුත් වැඩක්

දෛවය විසින් එක් දොරක් වසන විට තවත් දොරක් විවර කරන බව කියමනක සඳහන්ව ඇත.

දැනට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ජීවත්වන ශ්‍රී ලාංකික තරුණයකු වූ චම්පික හේවාමද්දුමගේ මෙතෙක් පැමිණි ගමන් මග පිළිබඳ විමසිලිමත්වීමේදී ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් ඉහත සඳහන් කියමන සැබෑවක් බවට පත්ව අවසන්ය. පරිවර්තනීය වෙනසක් මගින් සිය ජීවිතය යහපත් දිශානතියක් වෙත මෙහෙයවීමට ඔහු සමත් වන අතර එහි ප්‍රතිඵලය බවට පවත්වන්නේ තරුණ ව්‍යවසායකයකු ලෙස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ‘ඇඹුල’ නමින් ආහාර අලෙවි ව්‍යාපාරයක් ආරම්භ කරන ඔහු එහිම දිගුවක් ලෙස (Go Gota Go) “ගෝ ගෝඨා ගෝ” නමින් තවත් ව්‍යාපාර කටයුත්තක් ඉකුත් දිනක ආරම්භ කර ඇත.

මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය ආශ්‍රිතව ගණකාධිකාරිවරයකු ලෙස වසර 10ක් කටයුතු කර චම්පික 2014 වර්ෂයේදී එම වෘත්තියට සමුදී රැකියාවක් පිණිස ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත. එතැන් සිට මේ දක්වා ඔහු පැමිණි ගමන් මඟ බොහෝ දෙනෙකුට පරමාදර්ශයක් ලෙස ගත හැකි බැවින් පහත පළවන්නේ ඔහුගේ කතාව ඔහුගේම වචනයෙන්ය.

මම වසර 10ක පළපුරුද්දක් සහිත ගණකාධිකාරිවරයෙක් ලෙස මාසයකට ලංකාවෙ මුදලින් ලක්‍ෂ එකහමාරක, දෙකක විතර වැටුපක් ගත්ත අයෙක්. ඒ වගේම මගේ බිරිඳ හෙද නිලධාරිනියක ලෙස රජයේ රැකියාවක් කළ කාන්තාවක්. ඒ පසුබිම තුළ ලංකාවෙ අපට හොඳ ජීවිතයක් ගත කිරීමේ පුළුවන්කම තිබුණ. නමුත් 2014 වර්ෂයේදී අපි තීරණයක් ගන්නව ඕස්ට්‍රේලියාවට එන්න. එතකොට මගේ පුතාට අවුරුදු දෙකහමාරයි. 2014.04.12 වෙනිදා ලංකාවෙන් පිටත්වෙන අපි ඕස්ට්‍රේලියාවට එනව. ඒක හරි තීරණාත්මක තීන්දුවක් මත ආව ගමනක්. මොකද ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ තමයි අපි තෝර ගන්න රැකියාව මොකක්ද කියල තීන්දු වෙන්න නියමිතව තිබුණේ.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර "ගෝ ගෝඨා ගෝ" සුපර් මාර්කට් එකක්

ඒ ඇවිත් දෙවනි දවසෙ මගේ සුදුසුකම් සඳහන් රැකියා අයදුම්පතක් අරගෙන නගරයට ගියාට පස්සේ එක්තරා රෙස්ටොරන්ට් එකක ඇබෑර්තුවක් තිබුණා. එහි හිමිකරු ශ්‍රී ලාංකිකයෙක්. එදා තමයි ඔහුත් මමත් මුල්වරට මුණ ගැසෙන්නේ. මගෙත් එක්ක කතාබහ කරපු ඔහු පහුවෙනිදම මට රැකියාවක් දුන්න. එතන එකවුන්ටන් විදිහට එදා ඉඳල මම රැකියාව කරන්න ගත්ත. ඔහොම රැකියාව කරන අතරේ එක්තරා දවසක කලින් දැනුම්දීමකින් තොරව ඒ රෙස්ටොරන්ට් එකේ අරක්කැමිය හදිසි නිවාඩුවක් ගන්නවා. ඒ පාර මම තීරණය කරනවා දිවා ආහාරය සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ව ආපසු හරවල යවන්න බැරි හින්ද මගේ අතින් දිවා ආහාරය සකසන්න. ඉවුම් පිහුම් පිළිබඳ යම් අවබෝධයක් මා සතුව පැවතීම හේතුවෙන් ඒක මට අපහසු කටයුත්තක් බවට පත් වුණේ නැහැ. එදා දිවා ආහාරය ගත්ත බොහෝ දෙනෙක් මගේ බොස්ට කතා කරලා කියලා තිබුණ ආහාර වේලේ වෙනදාට නැති රසයක් පවතිනව අලුත් අරක්කැමියෙක්ව ගත්තද කියලා. අන්න ඒ අගය කිරීම මත තමයි මම එකවුන්ටන් රස්සාවට ආයුබෝවන් කියලා ව්‍යාපාරිකයකු වෙන්න තීරණය කරන්නෙ.

කල් නොගොස් එම තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන චම්පික සතියක් පමණ කාලයක් ගතවීමත් සමග කල්බදු ක්‍රමය යටතේ ලබාගත් ගොඩනැගිල්ලක් තුළ “ඇඹුල” නමින් තමන්ගේම ආහාරපාන අලෙවි සලක් ආරම්භ කරන අතර “ඇඹුල” උද්ධෘත පාඨය බවට පත්වන්නේ “ගෙදර වගේ බෙදන් කන්න” යනුවෙන්ය. එය ඔහුගේ ව්‍යාපාර දිවියේ ආරම්භය විය.

මෙල්බර්න්වල ඒ වෙද්දි දිනපතා බුෆේ ක්‍රමයට කෑම කන්න තැනක් තිබුණේ නෑ. සති අන්ත අවන්හල් පමණයි බොහෝ විට දකින්නට තිබුණේ. ඒ හින්දා මගේ තැන වේගයෙන් ජනප්‍රිය වෙන්න ගත්ත. ලංකාවේ දන්සැලකට කෑම කන්න එනව වගේ පිරිභෝගික පිරිස එන්න ගත්ත. ශ්‍රී ලාංකික ආහාරවල ස්වභාවික රසය ඒ ආකාරයෙන්ම රස විඳින්න පුළුවන් තැනක් කියලා ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා.

ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතියේ රස, සුවඳ පෝෂණය ඒ ආකාරයෙන්ම ලබාගැනීම පිණිස “ඇඹුල” වෙත පැමිණෙන පාරිභෝගිකයන් අතර ඔස්ට්‍රේලියානු ජාතිකයන් බහුල වීමත් සමඟ ශ්‍රී ලාංකික නොවන කෑම වර්ග පිණිසද “ඇඹුල” තුළ ඉඩ පහසුකම් වෙන්කරන චම්පික තම ව්‍යාපාරික කටයුත්ත දිනෙන් දින සාර්ථක කරගනු ලබන්නේ උත්සාහය, කැපවීම සහ වගවීම යන සාධක මුල්කර ගනිමින්ය. ඔහොම කාලයක් යනකොට මෙල්බර්න්වල බෙරික් කියන ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් තවත් ශාඛාවක් ආරම්භ කරන්න මට පුළුවන්කම ලැබුණ. ඒ ප්‍රදේශය කියන්නේ ශ්‍රී ලාංකිකයන් හා ඉන්දියානුවන් බහුලව ජීවත්වන පැත්තක්. ඒක නම් කරන්නේ “ඇඹුල බෙරික්” කියන නමින්. එයත් කෙටි කාලයක් ඇතුළත බෙහෙවින් ජනප්‍රිය වෙන්න ගත්ත. එහෙම වැඩ කරගෙන යන අතරතුර තමයි පාරිභෝගික ප්‍රජාව විසින් මගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලාංකික නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් සුපර්මාර්කට් එකක් ආරම්භ කරන්න කියලා.

ඒ අනුව තම ව්‍යාපාරික ජාලයට අලුත් මුහුණුවරක් එක් කිරීම පිණිස තීරණය කරන චම්පික සුපර්මාර්කට් එකක් ආරම්භ කරන අතර එය නම් කරනු ලබන්නේ :Go Gota Go)“ගෝ ගෝඨා ගෝ’ නමින්ය. සිය ව්‍යාපාරය සඳහා එවැනි නමක් තැබීම පිළිබඳව චම්පික තුළ පවතින්නේ වෙනස්ම මතයක්ය. එය ඔහුගේම වචනයෙන් පවසන්නේ නම් මේ ආකාරයෙන්ය.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර "ගෝ ගෝඨා ගෝ" සුපර් මාර්කට් එකක්

මට දේශපාලන පක්‍ෂයක් පාටක් නැහැ. යම් දේශපාලන පක්‍ෂයක් එහෙමත් නැත්නම් කණ්ඩායමක් මගේ රටට හොඳක් කරනව නම් ඒක හොඳයි කියන්නත් නරකක් කරනව නම් ඒ දේ නරකයි කියන එකත් මගේ හැටියක්. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාව බලයට ගේන්න ලාංකිකයො වශයෙන් පිටරට ජීවත්වන අපි ලොකු වැඩ කොටසක් කළා. එතුම පිළිබඳ අපි ලොකු බලාපොරොත්තු තබා ගත්ත. එතුම ජයග්‍රහණය කරපු දවසෙ “ඇඹුල හැලම්” කියන මගේ අවන්හලේ කිරිබත් උයල මම ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට කන්න දුන්න. නමුත් අපි බලාපොරොත්තු වූ රට හදන්න එතුමට බැරිවුණා. ඒකට රටේ මිනිස්සුත් වග කියන්න ඕන. ශ්‍රී ලාංකික ජනතාවගේ සිතුම් පැතුම් ආකල්ප වෙනස්නොවන තාක් කවුරු ජනාධිපති වුණත් අපේ රට හදන්න බෑ. රටක් සංවර්ධනය වෙන්න නම් පාලකයො වගේම ජනතාවත් කැප කිරීම් කරන්න ඕන. ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ එහෙමයි. තිස් වසරක යුද්ධයෙන් රට ආපස්සට ගියා. ඒ වගේම 88, 89 යුගය ගත්තොත් ඒ දෙයම වුණා. දැන් ලංකාවෙ ඔය කරන අරගලයෙන් වෙන්නෙත් ඒකයි. ඒකෙ ප්‍රතිඵලය තව වසර දෙක තුනක් යනකොට දැක ගන්න පුළුවන් වේවි. ඒ කොහොම වුණත් මගේ අලුත් ව්‍යාපාරය “ගෝ ගෝඨා ගෝ” නමින් නම් කරන්න මම තීරණය කළේ ව්‍යාපාරික පැත්තෙන් යම් ආකර්ෂණයක් ඒ හරහා ලැබෙයි කියන අපේක්‍ෂාවෙන් පමණයි.

ගණකාධිකාරවරයෙකු වශයෙන් වෘත්තීය ජීවිතය අරඹන චම්පික හේවාමද්දුමගේ මේ වනවිට ව්‍යාපාරිකයකු ලෙස පමණක් නොව සංකල්පමය වශයෙන්ද පොහොසත් පුද්ගලයෙකු බවට පත්ව ඇත. ඔහුගේ අලුත්ම ව්‍යාපාර කටයුත්ත “ගෝ ගෝඨා ගෝ” නමින් නම් කරනු ලබන්නේ එබැවින්ය. ඔහු පවසා සිටින්නේ එය කිසිවෙක් කෙරෙහි පවතින අකමැත්ත ප්‍රකාශ කිරීමට යොදා ගත් වෙළෙඳ නාමයක් නොවන බවය. ගතානුගතික සමාජ ක්‍රමයක් වෙනස් කිරීම පිණිස පාලකයන් මාරු කරීම පමණක් ප්‍රමාණවත් නොවන බව පවසා සිටින ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අධ්‍යාපන බීජයේ ඵලය විය යුත්තේ රැකියාවන් පිණිස මිනිසුන් නිර්මාණය කිරීම නොව කළ යුතුව ඇත්තේ වැඩි වැඩියෙන් ව්‍යවසායකයන් නිර්මාණය කළ හැකි අධ්‍යාපනයක් රට තුළ ඇති කළ යුතු බවත් තමන් ඒ සඳහා එක් උදාහරණයක් පමණක් බවත්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment