ඕ.අයි.සී. තෑගි මල්ල

1650

(දැනටමත් අනූ හතර දෙනකුට ලැබිලා)

දැනට ජනාධිපති ධුරයේ නැති ගෝඨාභය රාජපක්ෂ ගැන කතා කිරීමේ අවශ්‍යතාවක් අප තුළ තවදුරටත් නැත. එහෙත් පොහොට්ටුව ආණ්ඩුවේ ඉහළම සිටි කට්ටිය ගෝඨාභයගේ අනුදැනුම ඇතුව හෝ නැතුව බලය අයුතු ලෙස පාවිච්චි කළහ. මේ සඳහා ගත හැකි ආසන්නම උදාහරණය ඥාණා අක්කාගේ හෝටලයයි. ආධ්‍යාත්මික යතිවරියක ලෙස ප්‍රසිද්ධව සිටි ඇය හෝටලයක් හදන්නට ඇත්තේ ජීවිතය අවසාන සමයේදී සිය ආධ්‍යාත්මික බලය අතුරුදන්ව නන්නත්තාර වනු ඇතැයි යන කල්පනාවෙන් විය හැක. එවැනි අවස්ථාවක් එළඹුණොත් හෝටලය ඇසුරු කරගෙන ටුවරිසම්වලට යොමුවීමට ඇය කල්පනා කරන්නට ඇති. ඇගේ හෝටලය සාදන ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රමයෙනි. ඒ අනුව ඇයට බඩු කුලියක් මිස වැඩ කුලියක් ගොස් නැත. හිටපු ජනාධිපතිතුමා ඥාණා අක්කාගේ බැතිමතකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි බැවින් රජයේ ඉහළ නිලධාරීන් පවා ජනාධිපතිට වඩා ඥාණා අක්කාට බිය විය. මෙය ආණ්ඩුවෙන් පඩි ලබන රාජ්‍ය සේවකයන්ගේ ශ්‍රමය සූරාකෑමට යොදාගත හැකි එක් ක්‍රමයකි. මෙතැන් සිට අපි ඒ පීල්ල උඩින්ම තවත් අලුත් කෝච්චියක් තබන්නෙමු. ඒ කෝච්චියේ ගමන පිළිබඳ කතාව මෙසේය.

උසස් පොලිස් නිලධාරීන්ට තෑගි බෝග දීම සඳහා මුදල් එකතු නොකරන ලෙසට නියෝගයක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. එහෙත් ඒ බව නොතකා පොලිස් ලොක්කන්ට තෑගි භාණ්ඩ අරන්දෙනු පිණිස රාළහාමිලාගෙනුත් මුදලාලිලාගෙනුත් සල්ලි එකතු කිරීමට ඕ.අයි.සී. මහත්තයලා නොපැකිළෙති. අපේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් වරක් කියනු ලැබූ පරිදි නීතිය නොකඩා නැවිය හැකිය. පොලිස් ඕ.අයි.සී. ලා මෙම මුදල් එකතු කිරීම ගැන කල්පනා කරන්නට ඇත්තේත් මෙය නීතිය නැවීමක් ලෙසය. දැන් එසේ සල්ලි එකතු කළ ඕ.අයි.සී. ලා 94 ට කෙළවී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් ගැන විමර්ශනයක් පවත්වා ඇති අතර ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න තීරණය කර තිබේ. සාමාන්‍යයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති පරිදි පොලිස් ඕ.අයි.සී. ලා සල්ලි එකතු කරන්නේ පහත සඳහන් කාරණා වෙනුවෙන්ය.

  1. පොලිසිවල පැවැත්වෙන වාර පරීක්ෂණවලට සහභාගී වීමට එන පොලිස් ලොක්කන්ට සංග්‍රහ කිරීම සඳහා කෑම බීම මිලට ගැනීමට.
  2. පොලිස් ස්ථාන ලස්සන කිරීමට.
  3. අලුත් අවුරුද්ද, නත්තල වැනි ජාතික උත්සව අවස්ථාවලදී පොලිස් ලොක්කන්ට තෑගි වව්චර් අරන්දීම සඳහා මුදල් එකතු කිරීම.
  4. ස්ථාන මාරු ලබා වෙනත් පළාත්වලට යන පොලිස් ලොක්කන්ට තෑගි මිලට ගැනීම සඳහා මුදල් රැස් කිරීම.

ඉහත සඳහන් අරමුණු වෙනුවෙන් රුපියල් 3000 සිට 10000 දක්වා මුදල් තමන් යටතේ සිටින රාළහාමිලා, සාජන්ලා එස්.අයි.ලා සහ අයි.පී.ලාගෙන් එකතුකර ගැනීමට පෙරකී ඕ.අයි.සී.ලා 94 දෙනා කැත නැතිව කටයුතු කර ඇත. ඇතැම් පොලිස් ලොක්කන්ට තෑගි භාණ්ඩත් තවත් පොලිස් ලොක්කන්ට රුපියල් ලක්ෂ දෙක තුන බැගින් වූ සල්ලි බන්ඩල් ලබා දීමටත් මේ ඕ.අයි.සී. ලා කටයුතු කර ඇත. පොලිසිය යනු ලොක්කන්ට ගෙඩිත් පොඩ්ඩන්ට කොළත් ලැබෙන වෘක්ෂයකි. ඕ.අයි.සී. ලා විසින් මෙහෙම සල්ලි එකතු කළාට පොලිස් රාළහාමිලා යනු අතේ සතේ නැතුව අපා දුක් විඳින කණ්ඩායමකි. මේ මිනිසුන් පගා ගහන්නේත් ඒක නිසාමය. පෙරකී අරමුණු වෙනුවෙන් පමණක් නොව වෙනස් අරමුණු උදෙසා ද පොලිස් ලොක්කෝ රාළහාමිලා යොදවා විවිධ අයුතු දේ කරති. උදාහරණයක් මෙසේය. කිසියම් ප්‍රදේශයක සිටින එස්.එස්.පී. කෙනෙක් හෝ ඒ.එස්.පී. කෙනෙක් ගෙයක් හදනවා යැයි කියමු. තමා ගෙයක් හදන බවත් එය සිදුකරන්නේ ඉතාම අමාරුවෙන් බවත් එස්.එස්.පී. හෝ ඒ.එස්.පී හෝ ඕ.අයි.සී. ලාට කියයි. සමහරවිට ඒ කියමන මෙසේ විය හැකිය. “දැන් බලනවා ඕයි… මම මේ ජීවිතේ මුල් වතාවට ගෙයක් හදනවා. හරිම අමාරුයි. අතේ සතේ නැතිව වැඩේ කරන්නේ. අපි දන්න කව්රුවත් නෑනේ මේකට සපෝට් එකක් ගන්න…” මෙය හිතට ගන්නා ඕ.අයි.සී. සිය පොලිසියේ කාර්ය මණ්ඩලය කැඳවා මෙසේ කියයි. “එස්.එස්.පී. මහත්තයා මේ දවස්වල ගෙයක් හදනවා. ඌට සල්ලි නැතිලු. තමුසෙලට තියෙන්නේ ඕකට සල්ලි ටිකක් එකතු කරලා දීලා ඌව බාගන්න එකයි. තමුසෙලගෙ මාරු, ප්‍රොමෝෂන් ඔක්කොටම මේකෙන් උත්තරයක් හොයාගන්න පුළුවන්…” ඒ මොහොතේ සිට පාරට බහින රාළහාමිලාත්, සාජන්ලාත්, ඉන්ස්පෙක්ටර්ලාත් දන්න සෑම මුදලාලි කෙනකුගෙන්ම සල්ලි ගන්නට පටන් ගනී. ඇතැමුන්ගෙන් සල්ලි වෙනුවට ගොඩනැඟිලි ද්‍රව්‍ය ලබාගත හැකිය. මේ සියල්ල ඕ.අයි.සී.ට ලැබෙන අතර ඉන් කොටසක් තම සාක්කුවට දමා ගන්නා ඔහු ඉතිරිය තම පුද්ගලික ධනය සේ ගෙනගොස් එස්.එස්.පී. ට පරිත්‍යාග කරයි. මාස කිහිපයකට පසු ඒ ඕ.අයි.සී. ට හොඳ පොලිසියකට මාරුවීමක් ලැබේ. මාරුවීම් සහ උසස්වීම් අපේක්ෂාවෙන් ඔහුට සල්ලි එකතුකර දුන් රාළහාමිලාත්, සාජන්ලාත්, එස්.අයිලාත්, අයි.පීලාත් ස්වකීය ප්‍රශ්න පත්තර සාක්කුවේ දමාගෙන ඔවුන්ගේම මුදලින් ඕ.අයි.සී.ට සමුදීම සඳහා සංවිධානය කළ උත්සවයකින් පසු පගා ගැසීම සඳහා පාරට බසිති.

රාජ්‍ය ආයතනයක් නිකන්ම දූෂණය වන්නේ නැත. ඒ දූෂණය පිටුපස දීර්ඝ කතාවක් ඇති බව අප මතක තබාගත යුතුය. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැලට හසුවී සිටින ඕ.අයි.සී. වටු කුරුල්ලන් පිරිස සිය ජීවිත පටන් ගත්තේත් රාළහාමිලා සාජන්ලා ලෙස නම් ඔවුන්ට මේ කතාව අමුතුවෙන් තේරුම් කර දිය යුතු නැත.

advertistmentadvertistment
advertistmentadvertistment