ඕ.අයි.සී.පාට් දැමු හමුදා සෙබළෙකුගේ අනංග රංගනය

1073

කසාදත් බැඳලා

පොලොන්නරුවේ දාහතක තරුණියක් අවුරුදු දෙකක් තිස්සේ කෙළසලා…

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන පොලිසිවලට කතා කරලා ප‍්‍රශ්නත් විසඳලා…

ටී.එන්.අධිකාරි පොලොන්නරුව විලයාය ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පාසල් අධ්‍යාපනය හමාර කළ ඔහු යුද හමුදාවට එක්විය. ඒ සාමාන්‍ය සෙබළකු වශයෙනි. පාසල් යන අවධියේ සිටම මොහු කට්ට කෛරාටික පුද්ගලයකු විය. යුද හමුදා සේවයට එක්වුවත් ඔහුගේ එම ගති පැවතුම් වැඩි වූවා මිස අඩු වූයේ නැත. සමහරු මොහුව හැඳින්වූයේ ළඟින් ගියොත් ඇහැක් නැති පුද්ගලයකු ලෙසින්ය. එලෙස වසර ගණනක් ඔහු යුද හමුදාවේ සේවය කරමින් සිටියේය.

තරුණියන් කිහිපදෙනකු ඇසුරු කළ මොහු අවසානයේ අනුරාධපුරය අරලගංවිල ප‍්‍රදේශයේ තරුණියක් සමග විවාහ විය. විවාහයෙන් පසු එම තරුණියගේ නිවසේ පදිංචි වූ අතර ඔහුන්ට දරුවන් දෙදෙනකු ද සිටියේය. විවාහ වී දරුවන් සිටියත් මොහු තම සල්ලාලකම අතහැරියේ නැත. ලද සෑම අවස්ථාවකම තරුණියන් සමග අනියම් සම්බන්ධතා ඇතිකර ගැනීමට නිතරම මොහු උත්සහා කළේය.

කහටගස්දිගිලිය සිප්පුකුලම යුද හමුදා කඳවුරට අනියුක්තව සාමාන්‍ය සෙබළකු ලෙස මොහු සේවය කළේය. එම හමුදා කඳවුරේ අනෙක් සෙබළුන් පවා මොහුගේ තරම හොඳට දැන සිටියේය. ඒ අතර සමහරු මොහුව හැඳින්වූයේ ‘‘අනංගයා” යන අන්වර්ථ නාමයෙනි.

දිනක් එක්තරා උත්සවයකදී පොලොන්නරුව ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු දහහතක් වයසැති නයනතරා නැමැති රූමත් තරුණියක් හඳුනාගැනීමට මොහුට හැකිවිය. එම තරුණිය දුටු මොහොතේම කෙලෙස හෝ ඇය සමග අනියම් සම්බන්ධතාවයක් ඇති කර ගත යුතු යැයි ඔහු සිතුවේය. එදින ඔහු කෙලෙස හෝ ඇයගේ ජංගම දුරකථන අංකය ද ලබාගත්තේය.

පසුදිනම ඔහු ඇයට දුරකථන ඇමතුමක් දී මෙලෙස පැවසුවේය.

‘‘නංගි කොහොමද? මතකද මාව.”

‘‘කවුද මේ මට හරියට මතක නැහැ.”

‘‘ඇයි නංගී ඊයෙ පාටියේදී හම්බ වුණේ අධිකාරි.”

‘‘දැන් මතකයි.. කියන්න අයියේ. නම්බ එක සේව් වෙලා තිබුනෙ නැහැ.”

‘‘ඉතින් කොහොමද නංගී. නිකන් ගත්තෙ මතක් වෙලා.”

‘‘එහෙමද අයියේ.”

‘‘ඔයා ජොබ් එකක් කරනවද?”.

‘‘නැහැ අයියේ ගෙදරට වෙලා ඉන්නේ.”

එතැනින් නොනැවතුණු ඔහු ඇයගේ පෞද්ගලික විස්තර තව තවත් ඇසුවේය. අවසානයේ ඔහු දුරකථනය තැබුවේ නැවත ඇමතුමක් ගන්නා බව පවසමින්ය.

‘‘කොහොම හරි මෙයත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න ඕනෑ. මේ වගේ ලස්සන කෙල්ලෙක් මම ජීවිතයට දැකලා නැහැ. හැබැයි මම ආමි එකේ කිව්වොත් කැමති වෙන එකක් නැහැ. ඒක නිසා පොලිසියේ ලොක්කෙක් විදිහට රඟපාන්න ඕනා.”

ඒ අනුව ඔහු පසු දිනද නයනතරාට දුරකථන ඇමතුමක් ලබාදී තමා කොළඹ ප‍්‍රදේශයේ පොලිසියක ඕඅයිසී කෙනකු බව පැවසුවේය. තවද තමන් අවිවාහක තරුණයකු බවත් විවාහවීමට තරුණියක සොයන බවත් පැවසුවේය. පොලිසියක ඕඅයිසී කෙනෙක් නිසා ඇයගේ සිතේ ද ඔහුට කැමැත්තක් තිබුණාය. ඒ අනුව දිනපතාම පාහේ දෙදෙනා ජංගම දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත්හ. ඒ සෑම අවස්ථාවකම ඔහු ඇයගේ සිත දිනා ගන්නා ආකාරයට කතාබස් කළේය.

සති කිහිපයක් ගත වෙද්දී නයනතරාට අධිකාරිගෙන් තොර ලෝකයක් නොතිබුණි. ඒ අනුව අධිකාරිගේ චාටු වදන් වලට
රැවටුණු ඇය ඔහුට ආදරය කිරීමට පටන් ගත්තාය. ඔවුන්ගේ ආදරයට මාස කිහිපයක් ගත වුණු තැන ඇය තම නිවසියන්ටද තම පෙම්වතා ගැන මෙලෙස පැවසුවාය.

‘‘අම්මේ දැන් මාස කිහිපයක ඉඳන් අයියා කෙනෙක් මාත් එක්ක කතා කරනවා. එයා කොළඹ පොලිසියක ඕඅයිසී කෙනෙක්. හරි හොඳයි. එයා මාව බඳින්නත් කැමතියි.”

‘‘ඇත්තද කොහොමද ඔයාට හම්බ වුණේ එයාව.”

‘‘අමිතලාගේ මඟුල් ගෙදරදී හම්බුනේ. එදා මගේ නම්බර් එක ඉල්ල ගත්තා. පස්සේ දවස් කිහිපයක් කතා කළා.”

‘‘අනේ මන්දා කරන දෙයක් පරිස්සමෙන්. ඔයා මොකද හිතන්නේ එයා ගැන.”

‘‘මගේ අකමැත්තක් නැහැ.”

ඕ.අයි.සී.පාට් දැමු හමුදා සෙබළෙකුගේ අනංග රංගනය

‘‘මොන දේ කරන්නත් කලින් එයා ගැන හොයලා බලන්න ඕනා. දවසක එහෙනම් අපේ ගෙදර එන්න කියන්න. එතකොට අපිට ඇත්ත නැත්ත බලාගන්න පුළුවන්නේ.”

එදිනම නයනතරා තම පෙම්වතා වන අධිකාරිට තම දෙමව්පියන් පැවසූ දෙය පැවසුවාය. ඒ අනුව ඔහු ඊළඟ නිවාඩුවට ඇයගේ ගෙදර පැමිණ දෙමව්පියන් මුණ ගැසී කතා කරන බවට පොරොන්දු වූයේය.

‘‘නයනතරාගේ ගෙදර නිකන් යන්න බැහැ. ඕඅයිසී කෙනෙක් විදිහටම යන්න ඕනා. ඒක නිසා පොලිස් යුනිෆෝම් එකක් සහ අයිඩින්ටි කාඞ් එකක් හදා ගන්න ඕනා. කොහොමද මම ඒක කර ගන්නේ. ජගත් කියලා මගේ යාලූවෙක් හිටියා ඔය වගේ වැඩ කරන. මිනිහටවත් කතා කරලා බලන්න ඕනා.”

පසු දිනම ඔහු තම මිතුරාට කතා කර අවශ්‍යතාව පැවසුවේය. ඒ අනුව ඔහු එවැනි නීති විරෝධී වැඩකරන පුද්ගලයකු කොළඹ ප‍්‍රදේශයෙන් සොයා දුන්නේය. අධිකාරී ඔහු සමග සියල්ල කතා කර ගත්තේය. ඒ අනුව ඔහු කොළඹ පැමිණෙන ලෙස දිනයක් ලබා දුන්නේය. නියමිත දින අධිකාරි කොළඹ ගොස් එම පුද්ගලයා මුණගැසිණි.

එම පුද්ගලයා අධිකාරිව කොළඹ එක්තරා ස්ථානයකට රැගෙන ගොස් පොලිස් නිල ඇඳුමක් මසා දුන්නේය. එයට අමතරව ඔහුගේ රූපය යොදා පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් ද සකසා දුන්නේය. සියල්ල සාදාගත් පසු ඔහු තම පෙම්වතියගේ නිවස වෙත යෑමට දිනයක් යොදා ගත්තේය.

නියමිත දිනය උදා විය. තෑගි බෝග ද රැගෙන පොලොන්නරුවේ නයනතරාගේ නිවසට ඔහු පැමිණියේය. නිවසියන් ද උණුසුම් ලෙස ඔහුව පිළිගත්තේය. එදින ඔහු තම පෙම්වතියගේ දෙමාපියන්ට තමා කොළඹ ප‍්‍රදේශයේ පොලිසියක ඕඅයිසී කෙනකු බව පවසා ව්‍යාජ පොලිස් නිල හැඳුනුම්පත සහ නිල ඇඳුම ඇඳගෙන සිටින පින්තූර කීපයක් ද පෙන්නුවේය. නයනතරාගේ දෙමව්පියන්ද ඒ සියල්ල බලා ඔහු ඉහළ පොලිස් නිලධාරියකු බව පිළිගත්තේය.

එදින සිට නයනතරාගේ නිවසට ඕනම මොහොතක පැමිණීමේ අනුමැතිය ඔහුට ලැබුණි. ඒ සමගම නයනතරාගේ ඥාතීන් සහ ගම්වාසීන්ද මෙම ඕඅයිසී ගැන දැනගත්තේය. මාස කිහිපයක් ගතවෙද්දී ඔහු ලවා පොලිසියේ වැඩ කර ගැනීමට ද නයනතරාගේ ඥාතීන් මෙන්ම හිතවතුන්ද පැමිණියේය. ඒ අනුව මොහු කිසිදු බියක් සැකක් නොමැතිව පොලොන්නරුව සහ ඒ අවට පොලිස් ස්ථානවලට කතාකර එම මිනිසුන්ගේ ගැටලූ විසඳා දුන්නේය. එතනින් නොනැවතුණු ඔහු ගම්වාසීන්ගේ ගැටලූවලට පවා මෙරට විවිධ පොලිසිය ස්ථානවලට තමා අසවලා යැයි පවසමින් ඇමතුම් ලබා දුන්නේය.

වසර දෙකක පමණ කාලයක් ඔහු ඉතා විශිෂ්ට ලෙස එම ව්‍යාජ ඕඅයිසී ගේ චරිතයට පණ පෙව්වේය. ඒ කාලය තුළ අවුරුදු දාහතක් වයසැති තරුණිය සමඟ අඹුසැමියන් ලෙසද ඔහු හැසිරුණේය. දැනට සති කිහිපයකට පමණ ඉහතදී එක්වරම ඔහු එම තරුණියව මග හැරියේය. සිදුවූයේ කුමක්ද යන්න ඇයට පමණක් නොව දෙමව්පියන්ටද සිතාගැනීමට නොහැකි විය. ඒ අනුව ඔවුහු මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු සොයන්නට පටන් ගත්හ.

ඒ කාලය අතරතුර පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට මෙම ව්‍යාජ ඕඅයිසී පිළිබඳ තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව එම පොලිස් නිලධාරීහු මෙම පුද්ගලයා පිළිබඳ විවිධ අංශවලින් පරීක්ෂණ පවත්වා සොයා බැලූහ.

අගතියට පත් වූ තරුණියගෙන් ද එම පොලිස් නිලධාරීහු ප‍්‍රශ්න කළහ. එහිදී එම තරුණිය මෙම සැකකාර පුද්ගලයාගේ පොලිස් නිල ඇඳුමෙන් සිටි ඡායාරූප සහ උප්පැන්න සහතිකයක් ද ලබා දුන්නේය.

අවසානයේ එම නිලධාරීහු මෙම සැකකරු ගැන සියලූ තොරතුරු සොයා ගත්හ. ඒ අනුව පොලිස් නිලධාරීහු පළමුව ඔහු සේවය කළ කහටගස්දිගිලිය සිප්පුකුලම යුද හමුදා කඳවුර වෙත ගියහ. එහිදී ඔවුන්ට දැනගන්නට ලැබුණේ මෙම සැකකාර යුද හමුදා සෙබළා නිවාඩු ලබාගෙන ඔහුගේ නිවස වෙත ගොස් ඇති බවයි.

එදිනම එම නිලධාරීහු අනුරාධපුර ප‍්‍රදේශයේ පිහිටි සැකකාර සෙබළාගේ බිරිඳගේ නිවෙස වෙත ගියහ. ඒ යන විටත් ඔහු නිවසේ තම දරු දෙදෙනා සහ බිරිඳ සමගින් කාලය ගත කරමින් සිටියේය. වහාම පොලිස් නිලධාරීහු ඔහුව අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගන්නා මොහොතේදී පොලිස් නිල ඇඳුම, ව්‍යාජ පොලිස් නිල හැඳුනුම්පත සහ ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු දෙකක්ද සැකකරු සන්තකයේ තිබී එම පොලිස් නිලධාරීහු සොයා ගත්හ. වයස අවුරුදු 34 ක් වන සැකකාර මෙම හමුදා සෙබළා පොලිස් නිල ඇඳුම් උපයෝගී කරගෙන සහ ව්‍යාජ මුදල් නෝට්ටු භාවිතා කරමින් සිදුකර ඇති තවත් අපරාධ ගැන මෙම ලිපිය ලියන මොහොත වනවිටත් එම නිලධාරීන් පුළුල් පරීක්ෂණ සිදු කරමින් පවතී.

පොලොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතාගේ අධීක්ෂණය මත පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න ජාගොඩ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ගයාන් බුද්ධික පොලිස් සැරයන් රංග (42229) පොලිස් සැරයන් වික‍්‍රමසිංහ (28788) පොලිස් සැරයන් ප‍්‍රසාද් (33869) පොලිස් කොස්තාපල් කුමාර (67605) රාජපක්ෂ (73690) චමින්ද (74394) යන නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment