ඕ.සී.අයි.සී. ඉතිරි වෙද්දී නැත්තටම නැති වුණු සිංහල චිත්‍රපට සංගම්

100
ලයනල් වෙන්ට්ඩ් කලාගාරය

මුල්ම චිත්‍රපට සමාජය කොළඹ චිත්‍රපට සමාජයයි.

දේශීය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමයකුත් තිබිලා.

ජී. ඩී. එල්. පෙරේරා ගේ සති දෙකේ සිනමා පාඨමාලාවට ගාස්තුව රුපියල් 75 යි.

හැටේ, හැත්තෑව දශක වූ කලී මෙරට සාහිත්‍යය, නාට්‍ය කලාව මෙන්ම චිත්‍රපට ක්‍ෂේත්‍රයන්හි ස්වර්ණමය දශක දෙකක් ලෙස සැලකෙයි. ඉතාමත් උසස් නාට්‍ය, නවකතා මෙන්ම චිත්‍රපට ඇතුළු කලා නිර්මාණ රැසක් එම යුගයේ බිහිවිය.

චිත්‍රපට ක්‍ෂේත්‍රය පිළිබඳව තරුණ පිරිස අතර සුවිශේෂ උනන්දුවක් එම යුගයේ ඇතිවිය.

කලාපෙළ සංස්කෘතික සංවිධානයේ ජී. ඩී. එල්. පෙරේරා, චිත්‍රපටකරණය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කළේ එම යුගයේ ය. හරියටම කිවහොත් හැට අටේ මැයි මස විසිදෙවැනිදා ය. සති දෙකක් පුරා පැවැත්වුණු එම පාඨමාලාවට අයකළ මුදල රුපියල් හැත්තෑපහක් විය. මෙම පාඨමාලාව අවසානයේ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීම, පාඨමාලාවට සහභාගි වූ අය විසින් සිදුකිරීම විශේෂ කාර්යයක් විය.

උසස් චිත්‍රපට නැරඹීම එකල තරුණයන් අතර ඉතාමත් උද්වේගාකාරයෙන් සිදුවිය. සත්‍යජිත් රායිගේ පාතර් පංචාලි, අපූ සංසාර්, මහා නගර් වැනි චිත්‍රපට මෙන්ම පෝලන්ත, චෙකොස්ලෝවෙකියානු උසස් චිත්‍රපට නැරඹීමට එකල තරුණයන් හට බොහෝ විට අවස්ථා සැලසුණි. ඒවා සංවිධානය වූයේ එකල බිහිවූ චිත්‍රපට නරඹන්නන්ගේ සංගම් මගිනි.

එවැනි චිත්‍රපට සංගම් අතරින් අර්නස්ට් පෝරුතොට පියතුමාගේ මූලිකත්වයෙන් ඇරඹුණු, ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදයට (OCIC) හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. අර්නස්ට් පෝරුතොට පියතුමා, පෑලියගොඩ මීසමේ සේවය කරන සමයේ පෑලියගොඩ පල්ලියේ මීසම් ගෘහය ඉදිරිපිට වූ චෙරි ගසක් යට OCIC ආරම්භක රැස්වීම පැවැත්වුණි.

ඕ.සී.අයි.සී. ඉතිරි වෙද්දී නැත්තටම නැති වුණු සිංහල චිත්‍රපට සංගම්
අර්නස්ට් පෝරුතොට පියනම

ඔස්වල්ඩ් ගෝමිස් රදගුරුතුමා, ඈෂ්ලි රත්නවිභූෂණ, සුසන්ත තිසේරා, ලකී වැලිකල ඇතුළු බොහෝ පිරිස් එම ආරම්භක රැස්වීමට සහභාගි වූ වග මගේ මතකයට එන්නේ එහි ආරම්භක රැස්වීමට ලියුම්කරු ද සහභාගි වූ නිසාය. රෙජිනෝල්ඩ් සිල්වා එහි ප්‍රථම ලේකම්වරයා විය. මුල්ම කාලයේ OCIC රැස්වීම් පැවැත්වුණේ පෑලියගොඩ මීසම් ගෘහයේ වුවත්, පසුව එම රැස්වීම් පැවැත්වූයේ කොළඹ කොටුවේ, මල්වත්ත පාරේ හයවන පාවුළු මධ්‍යස්ථානයේ හයවැනි මහලේ ය. එහි කුඩා සිනමාහලක් ද විය. එය හැඳින්වූයේ මාටින් ටිකිරි සිනමාහල යනුවෙනි. සෑම සඳුදා සහ සිකුරාදාම එහි ලෝකයේ උසස්ම තත්ත්වයේ චිත්‍රපට නොමිලේ ප්‍රදර්ශනය විය. ප්‍රංශ, ජර්මන්, චෙකොස්ලෝවැකියානු, පෝලන්ත චිත්‍රපට නොමිලේ සැපයුණි. උසස් මට්ටමේ වෘතාන්ත චිත්‍රපට සිකුරාදා සහ සඳුදා දිනවල සවස පහට එහි ප්‍රදර්ශනය විය. මෙයට අමතරව සමහර දිනක මාටින් ටිකිරි සිනමාහලේදී මහජන ප්‍රදර්ශනය සඳහා පෝලිමේ තිබුණ චිත්‍රපට ද පෙන්වීම සිදුවිය. මේ නිසා සාමාන්‍ය චිත්‍රපට රසිකයන්ට නැරඹීමට නොහැකි වූ අලුත්ම චිත්‍රපට රසවිඳ ගැනීමට මාටින් ටිකිරි සිනමාහලට පැමිණි රසිකයන්ට හැකිවිය. මට මතක ලෙසට එහි චිත්‍රපට නැරඹීමට ආසන පහසුකම් තිබුණේ පනහකට ආසන්න පිරිසකටය.

චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන විට එහි අධ්‍යක්‍ෂවරයා ද එහි සිටීම විශේෂත්වයක් විය. චිත්‍රපට ප්‍රදර්ශනයෙන් පසුව ඒ ගැන සම්මන්ත්‍රණ ආදිය ද පැවැත්වුණි. චන්දන ද සිල්වා, ප්‍රසන්න විතානගේ, සුනිල් මිහිඳුකුල, ගාමිණී විජේතුංග එහිදී එම චිත්‍රපට ගැන නිරන්තරයෙන් අදහස් පළකළ අය අතර ප්‍රමුඛයෝ වූහ. මෙම OCIC මාටින් ටිකිරි සිනමාහල තුළ කාදිනල් කුරේ සිනමා පුස්තකාලය ද මෙරට පිටරට උසස් සිනමා කෘති සංරක්‍ෂණාගාරයක් ද නිර්මාතෘවරුන්ට, ලේඛකයන්ට තම පර්යේෂණ කිරීමට කාර්යාල පහසුකම් ද විය. ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ සුදත් මහදිවුල්වැව එහි ප්‍රයෝජන ලැබූ පසුකාලීන දැවැන්ත චරිතයන් ය.

ඕ.සී.අයි.සී. ඉතිරි වෙද්දී නැත්තටම නැති වුණු සිංහල චිත්‍රපට සංගම්

සිනමා කර්මාන්තය හා නිර්මාණය ගැන තාක්‍ෂණික ප්‍රායෝගික පාඨමාලාවක් ආරම්භ කිරීම ද OCIC මගින් සිදු වූ තවත් සේවාවකි. කතෝලික සිනමා පර්ෂදය වෙනුවෙන් එය මෙහෙයවූයේ ඇන්ඩෲ ජයමාන්න ය. එම පාඨමාලාවට සහභාගි වී අද සිනමා ක්‍ෂේත්‍රයේ සහ රූපවාහිනි ක්‍ෂේත්‍රයේ නිර්මාණ දායකත්වය දැක්වූ ශිල්පීන් විශාලය. මෙම සිනමා පාඨමාලාව අවසානයේ මි. මී. 8, 16 හෝ 35 ප්‍රමාණයේ ස්ව නිර්මාණ නිමාකොට, ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය විය. හොඳම නිර්මාණ අට දොරටවැඩීමේ උත්සවයක් ද මෙම සිනමා පාඨමාලාව හරහා විය.

අන්තර්ජාතික කතෝලික සිනමා පර්ෂදයේ සිනමා උළෙලවලට මෙරට චිත්‍රපට යැවීම OCIC මගින් සිදුවිය. 1970 දී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රන්සළු ද, 1973 දී මහගම සේකරගේ තුන්මං හන්දිය ද එසේ විදෙස් සිනමා උළෙලවලට ද යවන ලද අතර, ඒවා අන්තර්ජාතික
පිළිගැනීමට ද ලක්විය. 1973 දී ටෙහෙරාන් අන්තර් ජාතික සිනමා උළෙලට ‘අහස්ගව්ව’ ඉදිරිපත් කළ අතර, ලංකා කතෝලික සිනමා පර්ෂදය විසින් යවන ලද චිත්‍රපට අතරින් ‘හඳයා’ චිත්‍රපටයට ඉහළම සම්මානයක් හිමිවිය.

OCIC සිංහල චිත්‍රපට රසිකයන් අතර වඩාත් කතාබහට ලක්වූවත් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපට සංගමය බිහිවූයේ 1945 දී ය. ඒ කොළඹ චිත්‍රපට සමාජය ලෙසය. සත්‍යජිත් රායිගේ ‘කල්කටාස් ෆිල්ම් සොසයිටි’ සිනමා සංවිධානයට අනුරූපව බිහිවුණ ‘කලම්බු ෆිල්ම් සොසයිටි’ එකල කොළඹ ආශ්‍රිත ඉංග්‍රීසි උගත් බුද්ධිමත් චිත්‍රපට රසිකයන්ගේ ආනන්දනීය නවාතැන්පළ විය. කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ලෝකයේ විවිධ රටවල උසස් චිත්‍රපට ප්‍රදර්ශනය විය. ලෙස්ටර් ජේම්ස් පීරිස් වැන්නෝ එහි සාමාජිකයෝ වූහ. වරක් ලෙස්ටර් ජේම්ස් පීරිස් පවසා තිබුණේ තමන් ‘සිටිසන් කේන්’ නමැති සම්භාව්‍ය චිත්‍රපටය නැරඹුවේ ‘කලම්බු ෆිල්ම් සොසයිටි’ හරහා බව ය. හැට හැත්තෑව කාලයේ වඩාත් ප්‍රකට සිනමා සංවිධානයක් වූයේ ‘දේශීය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමය’ ය.

සරත් සිල්වාගේ මූලිකත්වයෙන් ඇරඹුන දේශීය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමයේ මංගල රැස්වීම පවත්වන ලද්දේ 1967 සැප්තැම්බර් 18 දින කොළඹ 02, පාර්සන්ස් පාරේ රජයේ ලිපිකරු සේවා සංගම් කාර්යාලයේදීය.

දේශීය චිත්‍රපට රසිකයන්ගේ සංගමය පිළිබඳව මුල්ම විස්තරය සමඟ ඉල්ලුම් පත්‍රයක් පළවූයේ ආතර් යූ. අමරසේනගේ කර්තෘත්වයෙන් ප්‍රකාශනයට පත් වූ ‘විසිතුර’ සිනමා පත්‍රයේ ය. ලංකාව පුරා සාමාජිකත්වය සඳහා ඉල්ලුම් පත්‍ර ලැබුණේ ඒ අනුවය.

දේශීය චිත්‍රපට රසිකයන්ගේ සංගමයේ සභාපති සේන එදිරිසිංහ වූ අතර ප්‍රධාන ලේකම් සරත් සිල්වා විය. ඇතුළත්වීමේ ගාස්තුව රුපියලක් වූ අතර මාසික සාමාජික මුදල ශත පනහක් විය.

කසිකබල් දේශීය චිත්‍රපට වර්ජනය කිරීම, පහත් පෙළ් හින්දි, දෙමළ සහ ඉංග්‍රීසි චිත්‍රපට ගෙන්වීම නතර කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීම, සිනමා ඒකාධිකාරයට විරුද්ධව නැඟ සිටීම, චිත්‍රපට කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීම, දේශීය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමයේ සටන්පාඨ විය.

ඒ කාලේ බස් මඟීන්ගේ සංගම්, දුම්රිය මඟීන්ගේ සංගම් තිබුණා. නමුත් සිනමා රසිකයන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරන්න කිසිම සංවිධානයක් තිබුණේ නැහැ. මකුණන් පිරි ආසන, ලෑලි පුටු, විදුලි පංකා නොමැතිකම, කටු කම්බි ගැසූ පෝලිම්, චිත්‍රපට ශාලාවට පවා දුගඳ හමන වැසිකිළි, හෝල් එක අතුළෙ අධික මිලට බාල ටොෆි, චොක්ලට්, රට කජු වගේ ආහාර වර්ග විකිණීම වගේ ගොඩාක් ප්‍රශ්න චිත්‍රපට නරඹන්නන්ට තිබුණා. ඒවා හරිගස්ස ගන්න කිසියම් සංවිධානයක් අවශ්‍යයි කියලා මට හිතුණා. දේශිය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමය ආරම්භ කිරීමේ අරමුණ සරත් සිල්වා වරක් පැවසීය.

ඔහු පැවසූ ලෙස, එකල සිංහල චිත්‍රපට කොතරම් නිෂ්පාදනය කළ ද, කොළඹ තිබූ වායුසමනය කළ සැවෝයි, ලිබර්ටි, රීගල්, මැජෙස්ටික් වැනි ශාලාවන්හි සිංහල චිත්‍රපට එකක්වත් ප්‍රදර්ශනය නොවීය. ඒවා වෙන්වූයේ බටහිර චිත්‍රපට සඳහා ය.

ඕ.සී.අයි.සී. ඉතිරි වෙද්දී නැත්තටම නැති වුණු සිංහල චිත්‍රපට සංගම්

එකල වැඩිපුර ප්‍රදර්ශනය වූයේ දකුණු ඉන්දියානු චිත්‍රපට ය. එකල පැවැති චිත්‍රපට ප්‍රදර්ශන සමාගම් තුන විසින් ගෙන්වන ලද්දේ ද පහත් මට්ටමේ දකුණු ඉන්දියානු චිත්‍රපටය. සිනමා රසිකයන්ගේ රසවින්දනය ද තිබුණේ පහත් මට්ටමකය. එනිසා සිනමා රසිකයන්ගේ රසවින්දන මට්ටම ඉහළට ඒම ද අවශ්‍ය කරුණක් විය.

මේ සියලුම කරුණුවලට දේශීය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමයේ මූලිකත්වයෙන් පිළියම් සොයා ගැනීම සරත් සිල්වාගේ අරමුණ විය.

වැඩි කාලයක් ගතවීමට පෙර, දේශීය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමය ප්‍රභල සංවිධානයක් බවට පත්විය. ගම්පහ, මොරටුව, බදුල්ල, මහනුවර, ගාල්ල, කළුතර, පානදුර, මීගමු සහ ඇඹිලිපිටිය ආදී නගරවල එහි ශාඛා සමිති බිහිවිය.

දේශීය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමය සහ එහි ශාඛා සමිතිවල රසඥතාව දියුණු කිරීමට දීප ව්‍යාප්ත වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීය. ඔවුන් සංවිධානය කළ, අධ්‍යක්‍ෂණය, රංගනය, තිර රචනය වැඩමුළුවලදී කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, ඩී. බී. නිහාල්සිංහ, තිස්ස අබේසේකර ආදීහු දේශන පැවැත්වූහ.

වේයන්ගොඩ චිත්‍රපට නරඹන්නන්ගේ සංගමය ද එකල එලෙස සක්‍රීයව පැවැති සංවිධානයක් විය. ගාමිණි ප්‍රනාන්දු එහි සභාපති වූ අතර, ලේකම් එච්. රණසිංහ විය.

සංගමයෙහි සාමාජිකත්වය ලබා ගැනීමට රුපියල් පහක මුදලක් අයකෙරුණි. පාසල් ළමුන් සඳහා සාමාජික මුදල රුපියල් දෙකක් විය. වේයන්ගොඩ සීගිරි සිනමා ශාලාවේ දහවල් 10.30 ට සංගමය විසින් ගෙන්වනු ලබන චිත්‍රපට ප්‍රදර්ශනය විය. ප්‍රදර්ශනය වන චිත්‍රපට ගැන විස්තර ඇතුළත් මුද්‍රිත කොළයක් චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර නරඹන්නන් හට ලබාදෙන ලදි. චිත්‍රපට දර්ශනය පැවැත්වූයේ නොමිලයේ ය. තානාපති කාර්යාලවලින්, ඒ රටවල උසස් වෘතාන්ත චිත්‍රපට නොමිලයේ ලබාදෙන ලදි. චාරුලතා, තර්ඩ්පාට් ඔෆ් ද නයිට්, බර්ඩ් වුඩ්, සොලාරි වැනි චිත්‍රපට එහිදී ප්‍රදර්ශනය විය. නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම සිනමා රසික සංගම් එකින් එක නැතිවී ගියේය. එදා එසේ සිනමා ප්‍රේක්‍ෂකයන්ගේ සිනමා රසාස්වාදය ඉහළ නැංවීම සඳහා බිහිකළා වූ සංගම්වලින් අද ඉතිරිව ඇත්තේ තකෝලික සිනමා පර්ෂදය හෙවත් OCIC ය පමණි.

පීටර් කැනියුට් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment