ඖෂධවේදියෝත් අද සිට සටනට

133

ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ නිලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති ඉල්ලීම් ලබා දීමට කටයුතු නොකළහොත් අද (05දා) සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා පවසයි. ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති 13ක් පෙරේදා (03දා) උදෑසන සිට පූර්ව දැනුම් දීමකින් තොරව ක‍්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ හා සායනවලින් රෝගීන්ට බෙහෙත් නිකුත් කිරීම, සී. ටී. ස්කෑන්, එම්. ආර්. අයි. ස්කෑන්, එක්ස් රේ ඇතුළු විකිරණ පරීක්ෂණ සිදු කිරීම, ලේ හා මුත‍්‍රා ඇතුළු රසායනාගාර පරීක්ෂණ කටයුතු සිදු කිරීම ඇනහිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ සායනවල බෙහෙත් නිකුත් කරන කවුළුද වර්ජනය හේතුවෙන් වසා දමා තිබීම හේතුවෙන් බාහිර රෝගීහු දැඩි අපහසුතාවකට පත්ව සිටින බව රෝහල් අංශ පවසයි.

මෙම වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල සිදු කෙරෙන ඊසීජී සහ ඊඊජී වැනි පරීක්ෂණ කටයුතුද අඩාල වී ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ක්ෂේත‍්‍රය තුළ සිදු කරනු ලබන පිරික්සීම් කටයුතුද ක‍්‍රියාත්මක නොවන බව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති පවසයි.

මේ අතර පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ සේවාවට අයත් වෘත්තිකයන් මෙම වර්ජනයට සහභාගී වීම හේතුවෙන් අද සිට රජයේ රෝහල්වල සිදු කෙරෙන සාමාන්‍ය විකිරණ පරීක්ෂණ හා රසායනාගාර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කරගැනීමට සිදු වනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම වර්ජනය සඳහා බොරැුල්ල රිජ්වේ ආර්යා ළමා, මහරගම පිළිකා, බොරැුල්ල ද සොයිසා කාන්තා, කාසල් වීදීය කාන්තා, පේරාදෙණිය ළමා යන රෝහල් ඇතුළු විශේෂිත ඒකකවල සේවය කරන පරිපූරක වෛද්‍ය වෘත්තික හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තිකයන් සහභාගි නොවන අතර වර්ජනය ක‍්‍රියාත්මක වන රෝහල්වල හදිසි සේවාවන් සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක කෙරෙන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

ඒමන්ති මාරඹේ සහ නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment