ඖෂධීය කංසා නිතිගත කර අපනයනයෙන් ශ්‍රී ලංකාවට ආර්ථික අවපාතයෙන් ගොඩ එන්නට හැකිය

1012

කැලිෆෝනියාවේ කන්‍යාරාමයකට අයත් කංසා ගොවිපොළක කංසා නෙළන කතෝලික කන්‍යා සොයුරියන්. නොයෙකුත් රෝගාබාධයන් සුවපත් කිරීමටත් දෛනික හා වාණිජ අවශ්‍යතාවයන් සඳහාත් ඈත අතීතයේ සිටම ආසියාතිකයින් කංසා භාවිතා කොට ඇත. බටහිර විද්‍යාත්මක පර්යේෂණ තුළින් හෙළිකොට ඇති කරුණු අනුවත්, ආයුර්වේද විශේෂඥයින් මත සැලකිල්ලට ගත්විටත් කිසිදු පැකිලීමකින් තොරව කංසා නීතිගත කිරීමට අවශ්‍ය සාක්ෂි සාධක නොඅඩුව රජය සතුව පවතී.

2021 අපේ‍්‍රල් 02 දා Daily Financial Times පුවත් පතේ පළවූ “Sri Lanka Could Overcome the recession by legalizing and exporting Medical cannabis” යන ලිපිය සිංහලට පරිවර්තනය කළේ ආචාර්ය වසන්ත සේන වැලිඅංග විසිනි. එංගලන්තයේ මුලින් ප‍්‍රසිද්ධ කළ මෙම ලිපිය මේ වන විට ඇමරිකාව හා යුරෝපයේ ඖෂධීය කංසා පිළිබඳ ජනප‍්‍රිය සඟරා ගණනාවක පළ වී ඇත.

ඖෂධීය කංසා සඳහා ඇති ගෝලීය ඉල්ලූම පිළිබඳ අන්තර්ජාතික මෙන්ම දේශීය විශේෂඥයින් විසින් ද වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට එත්තුගන්වා ඇත. එම නිසා කංසා අපනයනයෙන් රටේ ආර්ථික අවපාතය 2025 වන විට මඟහරවා සියලූ විදේශ ණය ද ගෙවිය හැකි බව ඔහු මාධ්‍යයට ප‍්‍රකාශ කළේය. එවැනි ආරම්භයක් ලැබී ඇති මොහොතක තවදුරටත් මෙම මහඟු අවස්ථාවෙන් ප‍්‍රයෝජන නොගෙන දිගු කාලයක් තිස්සේ අප රට වැටී ඇති ආර්ථික අවපාතයෙන් ගොඩඑන්නට උත්සාහ නොකරන්නේ ඇයි දැයි දැඩි කතා බහට ලක් වී ඇත.

වසර 2020 අගෝස්තු වන විට රජයේ සමස්ත විදේශ ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 35.3කි. 2021 දී ශ‍්‍රී ලංකාව ඩොලර් මිලියන 6865ක් ආපසු ගෙවීමට කටයුතු කරමින් සිටින බව සම-කැබිනට් ප‍්‍රකාශකයකු වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කර ඇත.

ආසියාවේ දී ගංජා ලෙසත් බටහිර රටවල දී මරිජුවානා ලෙසත් හඳුන්වන කංසා මෑතක් වන තුරුම විෂ මත්ද්‍රව්‍යයක් ලෙස වර්ගීකරණය කර තිබුණේ යටත් විජිත පාලකයින් විසින් ඔවුන්ගේ වාසි සඳහා සම්මත කරගත් නීති සහ පනත් මගිනි. ප‍්‍රාථමික යුගයේ පටන් ආසියාවේ බොහෝ රෝගාබාධ සුව කිරීම සඳහා ගංජා හෙවත් කංසා භාවිත කර ඇත. ශ‍්‍රී ලංකාව ඇතුළු පුරාණ ආසියාවේ ඖෂධ, ආහාර, රෙදිපිළි, විනෝදාස්වාදය වැනි නොයෙකුත් අවශ්‍යතා සඳහා මෙන්ම ලිංගික උත්තේජනය සඳහා ද කංසා භාවිත කර ඇත. එහෙත් මත්පැන් හා අබිං වෙළඳාමෙන් අධිරාජ්‍යයට විශාල ආදායමක් උපයා ගත හැකි වූ නිසා බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරුන් විසින් කංසා හෙවත් ගංජා තහනම් කරන ලදී.

බටහිර රටවල මෑතක දී කරන ලද පර්යේෂණ මගින් ගංජාවල ඖෂධීය වැදගත්කම තහවුරු කළ නිසාත් මත්පැන් සහ දුම්කොළවලට සාපේක්ෂව ශරීරයට ඇති අහිතකර භාවය අල්ප නිසා ඖෂධීය කංසා සහ විනෝදය සඳහා කංසා භාවිතය Recreational Marijuana ලෝකයේ බොහෝ දියුණු රටවල නීතිගත කර ඇත.

බොහෝ ආයුර්වේද ඖෂධවල ගංජා අත්‍යවශ්‍ය සංඝටකයක් වන අතර එමගින් සැලකිය යුතු සෞඛ්‍යමය ප‍්‍රතිලාභ රැසක් ලබා දෙන බැවින් කංසා නීතිගත කරන ලෙස ඉල්ලා ආයුර්වේද විශේෂඥයින් බලකර සිටියි. තව ද කංසා දුම් බීම නිසා ශරීර සෞඛ්‍යයට හානි නොවන බව ඔවුන් ද පවසා ඇත.

CBD රසායනය දරුණු රෝග සුව කරයි

කංසා ශාකයේ ඇති CBD නමැති රසායනය නිස්සාරණය කර ලබා ගන්නා තෛලය බටහිර ඖෂධවලින් සුව කළ නොහැකි දුර්ලභ රෝග තත්ත්ව රැසක් සුවකිරීම සඳහා සුදුසු බව විද්‍යාඥයින් පෙන්වා දී ඇත. වසර 2018 ජුනි මාසයේ දී ඇමරිකාවේ ආහාර සහ ඖෂධ අධිකාරිය විසින් වයස අවුරුදු දෙක සහ දෙකට වැඩි දරුවන්ගේ මීමැස්මොර හෙවත් අපස්මාර Epilepsy ආබාධ තත්ත්වයේ ආකාර දෙකක් සඳහා එනම් Lennox-Gastaut syndrome සහ Dravet syndrome සඳහා බීමට ගන්නා බෙහෙතක් ලෙස CBD අඩංගු Epidiolex ඖෂධය අනුමත කරන ලදී. ඇමරිකාවේ ආහාර සහ ඖෂධ අධිකාරිය විසින් කංසා ශාකයෙන් ලබා ගන්නා රසායනවලින් සාදන ලද ඖෂධයක් සඳහා ප‍්‍රථම වතාවට අවසර දුන්නේ Epidiolex සඳහා ය. තව ද Dravet syndrome නමැති අසනීප තත්ත්වය සඳහා මොනයම් හෝ ඖෂධයක් අනුමත කළ පළමු අවස්ථාව ද මෙය යි.

CBD යනු කංසා ශාකය විසින් ශ‍්‍රාවය කරන ප‍්‍රධාන රසායනික සංඝටකයකි. එමගින් මත්විම හා ආනන්දය “the high” එසේත් නැතිනම් intoxication හෝ euphoria ඇති නොකරයි. CBD යනු මොළයේ ක‍්‍රියාකාරිත්වය ඉහළ නංවන එහෙත් මත්වීම නොදෙන රසායනයකි. එම හැකියාව ඇත්තේ කංසා ශාකයෙන් ලබා ගත් THC හෙවත් ටෙට්රා හයිඩ්‍රොකැනබිනෝල්වලට (Tetrahydrocannabinol) ය. පිළිකා රෝගීන් වෙනුවෙන් සිදුකරන කිමෝතෙරපි chemotherapy ක‍්‍රමය නිසා ඇතිවන වමනය සහ HIV/AIDS රෝගයෙන් පෙළෙන රෝගීන්ට ඇතිවන ආහාර අරුචිය සහ බර අඩු වීම නතර කිරීමට CBD ප‍්‍රත්‍යක්ෂ බව බටහිර පර්යේෂකයින් පෙන්වා දී ඇත. ඊට අමතරව නිදන්ගත වේදනා සඳහා සහ Multiple Sclerosis වැනි අසනීප තත්ත්ව සඳහා සුදුස බව US Department of Health and Human Services ආයතනය විසින් වාර්තා කර ඇත.

THC රසායනයෙහි වේදනා නාශක ගුණ මෙන්ම ආනන්දය ලබා දීමට ද හැකිය. මෙම රසායනික සංඝටක දෙකම ඉතා පහසු ක‍්‍රම හරහා නිස්සාරණය කළ හැකි ක‍්‍රම ද සොයා ගෙන අවසන් ය.

ආයුර්වේදීය කංසා ඉතිහාසය

විශේෂඥයින් පවසන ආකාරයට කංසා ශාකයෙන් මුලින්ම ප‍්‍රයෝජන ගත්තේ චීන ජාතිකයින් විසිනි. කංසා පිළිබඳ පැරණිතම ආසියාතික ලේඛනය හමු වන්නේ ද චීනයෙනි. ක‍්‍රිස්තු පූර්ව 2727 දී චීන අධිරාජ්‍යයා වූ ෂෙන් නුන් විසින් ලියන ලද වාර්තාව ලෝකයේ හමු වූ පැරණිම කංසා පිළිබඳ වාර්තාව ය. ඉන්පසු ග‍්‍රීසිය, රෝමය, අරාබි අධිරාජ්‍ය සහ උතුරු අප‍්‍රිකාවෙන් ද කංසා පිළිබඳ තොරතුරු හමු විය.

වසර 1545 දී බටහිර අර්ධගෝලයට කංසා ශාකය ව්‍යාප්ත වූ අතර ස්පාඤ්ඤ ජාතිකයින් විසින් කෙඳි ලබා ගැනීම සඳහා චිලී රටේ දී කංසා වගා කර එයින් ලණු, කඹ, රුවල්, ඇඳුම් සහ කඩදාසි නිෂ්පාදනය කරන ලදී. ඇමරිකාවේ මුල්ම ජනපද පිහිටු වූ බටහිර ජාතිකයින් එකල සිට කංසා වගා කරමින් රෙදිපිළි හා සේද කර්මාන්තය සිදු කර ඇත.

ඉහත පෙන්වා දුන් සියලූ කරුණු නොතකා හැර මෙම අපූරූ ප‍්‍රතිලාභ දෙන කංසා ශාකය යටත් විජිත යුගයේ සිට වගා කිරීම, භාවිතය, ළඟ තබාගැනීම සහ ප‍්‍රවාහනය තහනම් ය. ඒවා සාපරාධී ක‍්‍රියාවන් ලෙස සලකා දඬුවම් දෙන්නේ රජයේ දුම්කොළ බදු සහ සුරා බදු ඉහළ නංවා ගැනීමට ය. ආරක්ෂක හමුදාවන් සහ විශේෂ කාර්ය සාධක බලකායට කංසා වගාවන් විනාශ කිරීමට අණකර ඇත. අවාසනාවක මහත යටත්විජිත පාලකයින්ට අවශ්‍ය වූ දෙය ඒ අයුරින්ම තවමත් ශ‍්‍රී ලංකාවේ රජය සිදු කරයි.

ඖෂධීය කංසා සඳහා දැවැන්ත ඉල්ලූමක්

කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපය ඇතුළු බටහිර රටවල කංසා නීතිගත කිරීමට දායක වූ විශේෂඥයින්ට සහ පෙරමුණගත් කණ්ඩායම්වලට අනුව බහුජාතික සමාගම් ශ‍්‍රී ලංකාවෙන් මිල දී ගන්නට බලාපොරොත්තු වන්නේ ඖෂධීය කංසා, CBD තෙල් සහ කංසා කුඩු හෙවත් චූර්ණ ය. ඔවුන්ගේ අවශ්‍යතාව පසුගිය වසර (2020) වන විට හතර ගුණයකින් වැඩි වී ඇත.

කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඔස්ටේ‍්‍රලියාව සහ යුරෝපීය රටවල කංසා භාවිත කර ඖෂධ නිපදවීම දැවැන්ත කර්මාන්ත ලෙස පවත්වාගෙන යයි. එම රටවලින් කංසාවලට දැවැන්ත ඉල්ලූමක් ඇත. ශීත දේශගුණයක් ඇති බොහෝ බටහිර රටවල හරිතාගාරවල කංසා වගා කරයි. එහෙත් ස්වභාවිකව හිරු එළිය වැටී වැඩෙන කංසාවල තරම් ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ඉහළ ගුණයක් සහිත CBD රසායනය හරිතාගාර තුළ නිර්මාණය නොවෙයි.

ගුණාත්මක භාවය වැඩි නිෂ්පාදන සඳහා වෙළෙඳ පොළට හඳුන්වා දී ඇති CBD නමැති නිස්සාරණයෙහි බලය (Strength) මිලි ග‍්‍රෑම් 250 ( 2.5%) ත් 1000 ත් (10%) අතර පරාසයක පවතී. යුරෝපයේ හරිතාගාරවල වගා කරන කංසාවල CBD ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක බවින් පහල බැවින් ස්වභාවික හිරු එලිය තුළ වැවෙන කංසාවලින් ලැබෙන CBDවලට විශාල වෙළෙඳපොළක් නිර්මාණය වී ඇත. ඝර්මකලාපීය රටවල වැවෙන කංසාවලින් ලබා ගන්නා CBD ලීටරයක් ඇමරිකන් ඩොලර් 800 සිට 2000 දක්වා මිලකට අලෙවි වෙයි. මේ වන විට ලෝකයේ සිටින ඖෂධීය කංසා වගා කරන ප‍්‍රධාන කලාපයක් වන්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තය යි. එයට හේතුව ඔවුනට කංසා වැවීම සඳහා ඉතා සුදුසු කාලගුණික සාධක ඇති නිසා ය. කැලිෆෝර්නියාවේ ප‍්‍රාන්ත රජය වසරකට ඩොලර් බිලියන 11කට වැඩි ආදායමක් කංසා අපනයනයයෙන් උපයා ගනු ලබයි. ශ‍්‍රී ලංකාවේ පවතින ඝර්ම කලාපීය කාලගුණ තත්ත්වය කංසා වගාවට අතිශයින්ම හිතකර බැවින් කැලිෆෝර්නියාවට සමාන වෙළෙඳ පොළක් මෙහි පහසුවෙන් ප‍්‍රතිනිර්මාණය කළ හැකිය.

අගය වැඩිකළ නිෂ්පාදන (Value – added Products) ඖෂධීය CBD කංසා, කොළ, ඇට විවිධ ප‍්‍රමාණවලින් මිශ‍්‍රකොට බිස්කට්, චොකලට්, අයිස්ක‍්‍රීම් සහ වෙනත් රසකැවිලි නිෂ්පාදනය කිරීම දියුණු රටවල ආරම්භ කර ඇත. සිසිල් බීම වර්ග සහ අනෙකුත් ශක්තිජනක පානයන් සඳහා ද කංසා කොළ චූර්ණ, කංසා ඇටවලින් ලබා ගන්නා පිටි සහ CBD මිශ‍්‍ර කිරීම ද ආරම්භ කර ඇත.

කංසා ඇටවලින් තෙල් ලබා ගත්තාට පසු ඉතිරිවන කොටස අඹරා පිටි නිෂ්පාදනය කරයි. එම ඇට පිටි හෙවත් (Hemp Powder), ප්‍රෝටීන් ගුණායෙන් අධික ය. එබැවින් මාංශ පරිභෝජනය නොකරන සමාජයක් සහ ඒ වෙනුවට කංසා පිටි සමග බැඳුණු සමාජයක් බිහිවෙමින් පවතී. එම පිටිවලින් සාදන කිරි පෝෂණ ගුණයෙන් අනූන ය. සත්ත්ව ආහාර සඳහා ද කංසා ඇට පිටි භාවිත කරයි. වේලන ලද කංසා කොළවලින් තේ නිෂ්පාදනය සහ තේ බීම ද ජනප‍්‍රිය වෙමින් පවතී. අතිරේක ආහාරයක් ලෙස කංසා තෙල් සහ කංසා පත‍්‍ර භාවිත කර පෙති වර්ග සහ කැප්සියුල් ද නිෂ්පාදනය කරයි. මුහුණේ ඇතිවන රැලි සහ කුරුලෑ අඩු කරන රූපලාවන්‍ය නිෂ්පාදනය සඳහා ද CBD තෙල් සහ කංසා යුෂ භාවිත කරයි.

විවෘතව ඇති ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථාවන් ලෝකයේ බොහෝ රටවල් සමග සසඳා බලන විට කංසා වගා කිරීම සඳහා පරිපූර්ණ දේශගුණික තත්ත්වයක් සහ සරු පසක් ශ‍්‍රී ලංකාව සතු ය. අපට පමණක් නොව ආසියාවේ මෙන්ම අප‍්‍රිකාවේ සහ ඇමරිකාවේ ද එවැනි පරිසර තත්ත්ව සහිත ප‍්‍රදේශ ඇත. මේ වන විටත් එම රටවල් කංසා වගාව හා නිෂ්පාදන අතින් බෙහෙවින් ඉදිරියෙන් සිටියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ රජය ගෝලීය කංසා වෙළෙඳපොළ ආකර්ෂණය කර ගැනීම සඳහා විචක්ෂණ තීන්දුවක් ගත යුතුය. කංසා ව්‍යාපාරය ඉදිරි දස වසර තුළ දී ඩොලර් ටි‍්‍රලියනකට වඩා වටිනාකමනට භාජනය වෙයි.

කංසා නීතිගත කිරීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ පිළිබඳ ව විශේෂඥයින්ගේ අදහස් නොසලකා ශ‍්‍රි ලංකා රජය එය සිදු කිරීමට මැලිකමක් දක්වන්නේ රජයට ආදායම් ලබාගත හැකි හොඳම ප‍්‍රභවය මත්පැන් සහ දුම්වැටි අලෙවිය නිසා විය යුතුය. නීතිමය මත්පැන් සහ දුම්කොළ භාවිතය නිසා හෘදයාබාධ, අක්මා ආබාධ සහ පිළිකා වැනි අසාධ්‍ය රෝග ඇති කරන බව ඉතා පැහැදිලි කරුණකි.

කංසා පිළිබඳ විශේෂඥයින්ගේ අදහස්, පර්යේෂණ වාර්තා සහ ආයුර්වේදීය දැනුම තුළ කංසා නීතිගත කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි, සාධක අවශ්‍ය තරමටත් වඩා තිබෙන බව කංසා නීතිගත කිරීම වෙනුවෙන් පෙනී සිටින සමාජ කණ්ඩායම් විසින් ද පෙන්වා දෙයි. එබැවින් අන්තර්ජාතික වෙළඳ අවස්ථා අහිමි වීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකාව සහ එහි වසන ජනතාව වෙනුවෙන් ඉතා බුද්ධිමත් තීරණය ගත යුතුව ඇත.

ඉන්දියාව සහ තායිලන්තය වැනි රටවල් මේ වන විටත් අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.

ඖෂධීය කංසාවලට අමතරව විනෝදාත්මක අරමුණු සඳහා භාවිත කරන කංසා වගාකර අපනයන කිරීම කෙරෙහි ද රජය අවධානය යොමු කළ යුතුය. මේ වන විට බොහෝ රටවල ආස්වාදය හෝ විනෝදය පිණිස කංසා භාවිත කිරීමත් නීතිගත කර තවදුරටත් එය අපරාධ ක‍්‍රියාවක් ලෙස නොසැලකීමට තීරණය කර ඇත. කංසා ගොවිතැන සහ නිෂ්පාදන අයථා ලෙස භාවිතය වැළැක්වීමට නවීන තාක්ෂණය සහ නිරීක්ෂණ පද්ධති ඉතා සාර්ථකව භාවිත කළ හැකිය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2020 ඔක්තෝබර් 7 වැනි දින පාර්ලිමේන්තුවට අදහස් දකවමින් කියා සිටියේ ‘‘කංසා නීති ගත කිරීම සඳහා වන ඉල්ලීම අපගේ රජය විසින් සලකා බලමින් සිටිනවා” යනුවෙනි. රජය එය සලකා බැලීමට ප‍්‍රමාණවත් තරම් කාලයක් ගත කර ඇති අතර ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නම් ඖෂධීය කංසා වගාව නීතිගත කිරීම තවදුරටත් කල් දැමිය යුතු නැත.

රාජසිංහ බංඩාර

advertistmentadvertistment
advertistmentadvertistment