ඖෂධ ආනයනයෙන් ගසාකන ටෙන්ඩර් මගඩි

129

හදිසි මිලදී ගැනීම් නිසා MSD ගහන ගැහිල්ල

මහාචාර්ය සේනක බිබිලේ මහතාට එරෙහි වූ ඖෂධ ජාවාරම මෙරටත් මෙරටින් පිටතත් ක්‍රියාත්මක වන්නේ මෙය ලොව තිබෙන හොඳම ජාවාරම බවට පත්කර ගනිමිනි.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ඒ මහතාට ලෝක සෞඛ්‍ය සංවිධානයේද පැසසුම ලැබුණ අවස්ථා අපමණය.

වර්තමානයේ ශ්‍රි ලංකාව තුළ ඇති වී තිබෙන දරුණු ආර්ථික අර්බුදයද මෙකී ඖෂධ මාෆියාකරුවන් වාසියට හරවාගෙන ඇත. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ විදුලි මාෆියාවද, ඉන්ධන මාෆියාවද, මිනිස් වෙළෙඳාමද, මත්කුඩු ජාවාරමද, වකුගඩු ඇතුළු මිනිස් සිරුරේ කොටස් අලෙවි කරන ජාවාරම්කරුවන් ඇතුළු බොහෝ පිරිසක් බොර දියේ මාළු බාන බව නොරහසකි. තුන්වේල සොයාගත නොහැකිව සිටින ජනතාව මෙකී විවිධ ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව සිටිති.

මෛත්‍රිපාල සිරිසේන යනු මේ රටේ හයවැනි ජනපතිය. ඔහු හිටපු සෞඛ්‍ය ඇමැතිවරයෙකි. ඉකුත් අඟහරුවාදා (29 වැනිදා) හිටපු ජනාධිපති පාර්ලිමේන්තුවේදී කී කතාවේ මෙසේද තිබිණි.

ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩර් ඉතා දූෂිතයි. මේ තුළ දූෂණය විශාල ලෙස තිබෙනවා. මේක වෙනස් කළ යුතුයි. මේ දූෂිත ටෙන්ඩර් ක්‍රියාවලිය පිටුපස ඉන්නේ ඇමැතිවරුද, නිලධාරීන්ද, නොමැති නම් ඖෂධ සමාගම්ද? මේ දූෂිත ක්‍රම වෙනස් කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ඒ කළ අදහස් දැක්වීමෙන්ම ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය පිටුපස සිටින මාෆියාව ගැන ඉතා පැහැදිලිය.

වත්මන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල නම් ඊට පසුදින කීවේ රෝහල්වල කිසිම ඖෂධයක හිඟයක් නොමැති බවයි.

චීනය ලබාදුන් අමරිකානු ඩොලර් කෝටි තුනක මුදලින් අත්‍යවශ්‍ය ඖෂධ 14 ක් මිලදී ගත් බවත් ඉන්දීය ණය ක්‍රමය යටතේ මෙරටට ලැබුණු මුදලින් ඉතිරි මුදලත් ඖෂධ ගෙන්වීම සඳහා යොදවන බවයි. ඇත්තටම රෝහල්වල ඖෂධ හිඟයක් නොමැතිද? සේලයින් හිඟයක් නොමැතිද? එහි ඇත්ත නැත්ත කුමක් වුවත් රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට පුද්ගලික ෆාමසිවලින් බොහෝ දේ මිලදී ගන්නට සිදුව තිබෙන බව සත්‍යයකි. පිළිකා රෝහලේ පවා අත්‍යවශ්‍ය ඖෂධ හිඟය. රජයේ රෝහල්වල වෛද්‍යවරුන් පවා කියා සිටින්නේ ඖෂධ හා වෛද්‍ය උපකරණවල බරපතළ හිඟයක් පවතින බවය. බෙහෙත් බොනවිට මොන තරම් තිත්ත වුවත් තිත්ත ඇත්තත් ඒකය.

මේ අල්ලපනල්ලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට (MSD) බරපතළ චෝදනා රැසක් එල්ල වී ඇත. ඕස්ටේ්‍රලියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් පිරිසක් එක්වී මහරගම අපේක්‍ෂා රෝහලට එවා තිබූ අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයක් මාසයක් තිස්සේ වරායේ තිබිණි. මාධ්‍ය මගින් ඒ පිළිබඳව හෙළිකරන තුරු වෛද්‍ය සැපයුම් අංශය ඒවා නිදහස් කර ගැනීම දිගින් දිගටම පමාකර තිබිණි.

මේ අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියෙක් හා වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් දෙතුන් දෙනෙක් එක්වී හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ මහා සටනක් අරඹා ඇත. ඒ සඳහා විවිධ උපක්‍රම භාවිතා කරමින් විධිමත් නොවන ටෙන්ඩර් පටිපාටිවලට යමින් එම පිරිස බොරදියේ මාළු බාන්නට කටයුතු කරමින් සිටින බවද හෙළි වී තිබේ. මෙහි කූටප්‍රාප්තිය සිදුවෙමින් තිබෙන්නේ මේ වනවිට හිඟ යැයි සැලකෙන ඖෂධ හා උපකරණ මිලදී ගැනීමට යෑමෙනි. ජාතික ඖෂධ නියාමන අධිකාරියද නොමග යවමින් මෙම නිලධාරීන් පිරිස මේ උත්සාහ කරන්නේ ආර්ථික අර්බුදයට මුවාවී ජාවාරමක යෙදීමට බවට තොරතුරු හෙළි වී ඇත. මේ දිනවල මාධ්‍ය මගින් හෙළිකළ එක් සිද්ධියක් මීට උදාහරණයක් ලෙස දැක්විය හැක. ඉන්දියන් ණය ක්‍රමය යටතේ යැයි කියමින් රුධිරයේ සීනි මනින ග්ලූකෝමීටර් තොගයක් මිලදී ගන්නට ඉකුත්දා ටෙන්ඩරයක් කැඳවා ඇත. ඉන්දියන් ණය ක්‍රමයට අනුව එම තොගය මිලදී ගත යුත්තේ ඉන්දියාවෙනි. ටෙන්ඩර් කැඳවීමේදී ඊට මිල ගණන් ඉදිරිපත්කර ඇත්තේ එක් ඉන්දීය සමාගමකි. එය මෙරට ලියාපදිංචි වී නොසිටියත් ටෙන්ඩර් පටිපාටියට අනුව එම සමාගමට එය පවරා ඇත. ඒ වන විට ඩොලරයේ මිල රුපියල් 260 ට පමණ නියම වී තිබිණි. මේ වන විට ඩොලරය 370 ක් පමණකි. මෙම ග්ලූකෝමීටර් තොගය අදාළ
සමාගමෙන් මිලදී ගැනීමේදී ඒ සඳහා වැයවන මුදල කෝටි 38 ත්, රුපියල් කෝටි 70 ත් අතර වනු ඇත. දේශීය සමාගම් හතකින් රුපියල් 12 සිට රුපියල් 32 ක මිලකට එක් ග්ලූකෝ මීටරයක් ලබාදීමට මිල ගණන් ඉදිරිපත් කර තිබියදී මෙකී ඉන්දීය සමාගමට එක් ග්ලූකෝමීටරයක් සඳහා රුපියල් 38 ක් ගෙවීමට නියමිතය. ඉදිරි මාස 10 ක් සඳහා මෙම තොගය මිලදී ගන්නට සැරසුනත් අදාළ මීටර් වර්ගය ඉන්දියාවේ හෝ භාවිතා නොකරන ප්‍රමිතියෙන් තොර ඒවා බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු කියා සිටිති. මෙම ටෙන්ඩරය ඉදිරි මාස 20 කට දික් කිරීමටද සැලසුම් කර ඇත. මෙම ටෙන්ඩරයට අදාළ ලියකියවිලිවලට අත්සන් නොකළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්‍ෂවරියකද මාරුකර යවා ඇත. එම තනතුරට පත්කර ඇති වත්මන් නිලධාරියා හරහා අදාළ කටයුතු කරගෙන යෑම සැලසුමයි. මෙම අවිධිමත් ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයද විපරම් කර තොරතුරු විමසූ පසු විවිධ පැලැස්තර දමමින් මූලික ටෙන්ඩර් ක්‍රියාපටිපාටියද ඒවායේ අඩංගු රෙගුලාසිද වෙනස් කරමින් අදාළ ටෙන්ඩරය හිමි සමාගමට නොව නිෂ්පාදන සමාගමට මුදල් ලබාදෙන පරිදි ගනුදෙනුව කනපිට හරවමින් තිබෙන බවද හෙළි වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සිටින නිලධාරීන් සියලුදෙනා දූෂිතයෝ නොවනවා සේම සියලුදෙනා අදූෂිතයෝද නොවන බව සැබෑය.

මේ රටේ රෝහල්වල වේදනා නාශක ඖෂධ හිඟය. සේලයින් හිඟය. මහරගම පිළිකා රෝහලේ රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ නැත. ඒ අනුව බලන කල ඖෂධ හිඟයක්ද රට තුළ ඇති වී ඇත. ඊට ඩොලර් හිඟය හරස්වී ඇතිවා සේම වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාවද හේතු විය හැකිය. මීට අමතරව බරපතළම ගැටලුව වී ඇත්තේ මේ ඖෂධ ආනයනය කිරීමේදී සිදුකරන ටෙන්ඩර් විනිවිදභාවයෙන් තොරවීමයි. ගනුදෙනු යනු මුදල් ගැවසෙන තැනකි. අතයට ගනුදෙනු සිදුවන ගනුදෙනුය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙන්ම හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න හෙළි කළ තොරතුරු අලුයම ඉවතලන කෙළපිඩක් සේ බැහැර කළයුතු නැත. පාර්ලිමේන්තුවේදී ඒ දෙපළ කළ ප්‍රකාශ හුදු ප්‍රකාශ නොවන බව පැහැදිලිය.

මැති ඇමැතිවරුන්ට හොරා හොරා හොරා කියා ඇතැමුන් දොස් කීවත් මේ හොරු අතර ඇතැම් රාජ්‍ය නිලධාරීන්ද සිටින වග තේරුම්ගත යුතුය. ටෙන්ඩර් කමිටුවලට පත්කර සිටින ඇතැමුන්ද මේ මාෆියාවට යටවී සිටිය හැක. එනිසා කළ යුත්තේ වෛද්‍ය සැපයුම් අංශයට :MSD) එල්ල වන මෙකී චෝදනා පිළිබඳ සොයාබැලීමය. විධිමත් නොවන ආකාරයට ඖෂධ මිලදී ගන්නේ නම් එම නිලධාරීන්ට එරෙහිව පරීක්‍ෂණ කර යම් පියවරක් ගත යුතුය. අදූෂිත නිලධාරීන් ඒ තැන්වලට පත්කළ යුතුව ඇත. විධිමත් විවෘත ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කර පිළිගත් ප්‍රමිති සහිතික, ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ මෙරටට ගෙන ඒමට දැන්වත් පියවර ගත යුතුව ඇත. මන්දපෝෂණයෙන් බැටකන දරු පරපුරක් සැකසෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් දැන් ආහාර ගන්නේ වේලක් හැර වේලක් බැගිනි. ඒ ආහාර වේල පෝෂණ මට්ටමින් හීනය. බිත්තරයක් ආහාරයට එක්කර ගැනීමත් අභියෝගයක් වී ඇති සමයක රෝගී වන ජනතාව පැටව් ගසන සමාජයක්ද නිර්මාණය වී ඇත. රජයේ රෝහල්වල උණට දෙන පෙත්තත් නැති වී යන කලක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ ඇතැම් දූෂිතයන් තවත් දුෂිතයන් පිරිස් හා එක්ව ඖෂධ හා වෛද්‍ය උපකරණ ආනයනයත් ජාවාරමක් බවට පත්කරගෙන තිබේ නම් රටටම අබසරණමය. එනිසා මේ නිලධාරීන්ගේ ඉදිරියෙන්ම සිටින පිරිසත්, පිටුපසින් සිටින පිරිසත් පන්නා දැමීම වගකිවයුතු අයගේ වගකීමකි. ඖෂධ මාෆියාව අති ප්‍රබලය. මේ රටේ සෑම මිනිසෙකුම විටක රෝගීන් බවට පත්වන බව සහතිකය. ලෝකයේ උතුම්ම සතුට නිරෝගීකමය. ආරෝග්‍ය පරමාලාභා සන්තුෂ්ටි පරමං දනන් කියා බුදුන් දෙසූ හැටි මතකය.

බරපතළ ආර්ථික අර්බුදයක ගිලී සිටින මේ මොහොතේ ඖෂධ ජාවාරම්කරුවන් සමඟ යම් පිරිසක් බොරදියේ මාළු බාන්නේ නම් ඔවුනට එරෙහිව වහ වහා පියවර ගත යුතුය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment