ඖෂධ දත්ත මැකීම පරිගණක ක‍්‍රියාකරුවකුගේ අත්වැරැද්දක් බවට ලඝු කරලා

142

මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාලසීමාවකදීම අතුරුදන් වීම බරපතළ තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු වී ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (21දා* පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ ප‍්‍රශ්නයක් නගමින් පැවසීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු අධි සංවේදී දත්ත ගොනු ලක්ෂ 11කට ආසන්න ප‍්‍රමාණයක් අතුරුදන්වීම හා එහි සම්පූර්ණ වගකීම් එක් පෞද්ගලික ආයතනයක පරිගණක ක‍්‍රියාකරුවකුගේ අත්වැරැුද්දක් බවට ලඝු කිරීම තුළින් රටේ මහජන ආරක්ෂාව ද දැඩි අවදානමකට ලක් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

එහිදී විපක්ෂ නායකවරයා විසින් අසන ලද ප‍්‍රශ්නය මෙසේය.

රට තුළ අලෙවිය සඳහා ඇති ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සහතික කරමින්, මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාලසීමාවකදීම අතුරුදන් වීම බරපතළ තත්ත්වයක් නිර්මාණය කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු අධි සංවේදී දත්ත ගොනු ලක්ෂ 11කට ආසන්න ප‍්‍රමාණයක් අතුරුදන්වීම හා එහි සම්පූර්ණ වගකීම් එක් පෞද්ගලික ආයතනයක පරිගණක ක‍්‍රියාකරුවකුගේ අත්වැරැුද්දක් බවට ලඝු කිරීම තුළින් රටේ මහජන ආරක්ෂාව ද දැඩි අවදානමකට ලක් කර ඇත. විවිධ එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබාදීම, ඖෂධ සඳහා අනුමැතිය ලබාදීම, එන්නත් සහ ඖෂධ ආනයනය සම්බන්ධ විවිධ විවේචන සහ ආන්දෝලනයන් ඇති වූ මෙම කාලවකවානුව තුළම මෙවන් සිදුවීමක් ඇති වීම විශාල සැකයකට තුඩු දෙන කාරණයක් බව පැහැදිලිය.

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලූවක් වශයෙන් සලකා පහත සඳහන් ප‍්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය අතුරුදන් වීම කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් ප‍්‍රකාශ කර තිබේ. ඒ අනුව, මෙය සැලසුම් සහගතව මෙරට ඖෂධ මාෆියාව විසින් සිදු කරන ලද ක‍්‍රියාකාරීත්වයක් බව රජය පිළිගන්නේ ද? විෂයභාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නේද? එසේ නොමැතිනම්, ඖෂධ නියාමන අධිකාරියේ තොරතුරු පමණක් මෙසේ අතුරුදන් වීමක් සිදු වූයේ කෙසේද? මෙවන් අවස්ථාවක ICTA උපදේශන සේවා සහ ක්ලවුඞ් පහසුකම් ලබාගත් අනෙකුත් සියලූ රාජ්‍ය ආයතනවල දත්ත සහ පද්ධති පවතින්නේද අනතුරුදායක තත්ත්වයක නොවේ ද? නොඑසේනම්, ඒ සඳහා රජය මේ වන විට ගෙන ඇති ක‍්‍රියාමාර්ග කවරේද?

මේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති ආකාරයට දත්ත මැකී ගොස් තිබෙන්නේ කෙසේ ද? CERT ආයතනය ඒ සම්බන්ධව ලබා දී ඇති වාර්තාව සභාගත කරන්නේ ද? මේ අතර ආණ්ඩුවේ පසුපෙළ මන්ත‍්‍රීන් පිරිසක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ගොස් ඒකපාර්ශ්වීය ප‍්‍රකාශ නිකුත් කිරීම පරීක්ෂණ වෙනත් අතකට යොමු කිරීමේ වෑයමක් නොවේ ද?

ICTA ආයතනය ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය ආරක්ෂා කිරීමට ගෙන තිබූ ක‍්‍රියාමාර්ග මොනවාද? දත්ත පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය, Epic Lanka Technology ආයතනය සමග අත්සන් කළ ගිවිසුමෙහි, දත්ත පද්ධතියේ Backup හා ක්ලවුඞ් ගතකිරීම වෙනුවෙන් නිශ්චිත වගන්ති ඇතුළත් කර ඇත්ද? ඒවා ICTA ආයතනයේ උපදේශනය යටතේ ඇතුළත් කළ කොන්දේසිද? එසේනම්, එම ගිවිසුම හා අදාළ වගන්ති සභාගත කරන්නේ ද? ඒවා නිශ්චිතවම ක‍්‍රියාත්මක කළේද යන්න පිළිබඳව ICTA ආයතනය විසින් පසු විපරම් සිදු කළේද? නොඑසේ නම්, Disaster Recovery පද්ධතියක් නොමැති ක්ලවුඩයකට දත්ත ක්ලවුඞ් කරන ලෙස හෝ අවම ආරක්ෂණ ක‍්‍රමවේදයක්වත් අනුගමනය නොකරන Epic Lanka Technology ආයතනයට උපදෙස් ලබා දුන්නේ කුමන පදනමින් ද?

මෙවන් පද්ධති බිඳ වැටීමක දී හෝ දත්ත මැකී යෑමකදී ලංකා ආණ්ඩු ක්ලවුඩයේ හෝ ICTA ආයතනය සතුව, දත්ත හෝ පද්ධති නැවත ප‍්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක් නොමැති ද? ඒ මන්ද? ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය සුරක්ෂිත කිරීමේ උපදේශන ආයතනය ලෙස ක‍්‍රියා කරනු ලබන ICTA ආයතනය රජය, රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු වූ මෙම කැළලට සෘජුවම වගකිව යුතු නොවේද? රාජ්‍ය ආරක්ෂාව සහ මහජන සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළමින් සිදු වූ මෙම ව්‍යසනයට සාමූහික වගකීමකින් යුතුව මුහුණ දී කඩිනමින් නිවැරදි කිරීමේ ක‍්‍රියාමාර්ග නොගෙන ICTA අධ්‍යක්ෂ මණ්ඩලය සියලූ වගකීම් පෞද්ගලික ආයතනයක් වෙත පමණක් පවරන්නේ කවර පදනමින් ද?

මෙම දත්ත අතුරුදන් වීම මගින් බාල ඖෂධ හෝ විවිධ ක‍්‍රියාකාරකම් හේතුවෙන් අසාදු ලේඛනගත කර තිබූ ඖෂධ වෙළෙඳපළට නිකුත් කිරීම් මෙන්ම, එකම ඖෂධය විවිධ වෙළෙඳ නාමවලින් ආනයනය කරනු ලබන සමාගම්වලට සිය අභිමතය පරිදි ඉහළ මිල ගණන්වලට ඖෂධ අලෙවි කිරීමේද අවදානමක් පවතින හෙයින් එම තත්ත්වය වළක්වාලීම සඳහා රජය ගෙන ඇති ක‍්‍රියාමාර්ග කවරේද?

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment