ඖෂධ නැහැ – රෝහල් – රෝගීහු අනතුරේ

152

 ● ශල්‍යකර්ම නිර්වින්දන බෙහෙත්,ඇස් රෝහලේ කාච,රෝහල් රැසක ශල්‍ය උපකරණ

 ●පිළිකා රෝගී ඖෂධ

 ● දරුවන්ගේ ඖෂධ – නැහැ

 ● සායනික රෝගීහු  හිස් අතින් යති

 ● ෆාමසිවලත් බෙහෙත් ගිනි ගණන්


 ශල්‍යකර්මවලදී බහුලව භාවිත කරන නිර්වින්දන ඖෂධ ජාතික රෝහල ඇතුළු රෝහල් පද්ධතියේ උග්‍ර ලෙස හිඟවීම හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්වෙමින් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

 මීට අමතරව ශල්‍ය උපකරණ, වේදනා නාශක, පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ, බෝ නොවන රෝග සඳහා ලබාදෙන ඖෂධ සහ කුඩා දරුවන්ට ලබාදෙන ඖෂධවල ද උග්‍ර හිඟයක් හෝ එම ඖෂධ අවසන් වීමක් මෙරට සමස්ත රෝහල් පද්ධතියේම දක්නට ලැබෙන බව එම සංගමය කියයි.

 එමෙන්ම ඔසුසැල්වල ඖෂධ මිල ගණන් ද පැවැති මිලට සාපේක්ෂව හතර ගුණයකින් පමණ ඉහළ ගොස් පැවැතීම නිසා පිටතින් ඖෂධ ලබාගැනීමට රෝහලින් ලබාදෙන ඖෂධ ලැයිස්තුව මිලදී ගැනීම වෙනුවෙන් රෝගී ජනතාවට විශාල අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව ඇතැයි ද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කර සිටී.

 කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට මෙරටට ඖෂධ ගෙන්වා සාධාරණ මිලකට ජනතාවට ලබාදිය හැකි වූවත් ඔවුන් එය පැහැර හරිමින් වැඩි මිලට ඖෂධ ලබාදීම මේ මොහොතේ ඉතා කනගාටුදායක තත්ත්වයක් බව ද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටී.

 මේ අතර කොළඹ ජාතික රෝහල, ජාතික අක්ෂි රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන පෙළේ රජයේ රෝහල් රැසකම ශල්‍ය වෛද්‍ය උපකරණවල මෙන්ම ඖෂධවල බරපතළ හිඟයක් පවතින බවත්, රෝගී ජීවිත දැඩි අනතුරේ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ‘දිවයින’ට ඊයේ (17 වැනිදා) පැවසීය.

 ශල්‍යකර්ම සිදුකිරීමට පවා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නොමැතිකම හේතුවෙන් ශල්‍යකර්ම පවා කල් දැමීමට සිදු වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

 මෙම තත්ත්වය තුළ රෝගීන් දහස් ගණනින් ඉතා අන්ත අසරණ වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

 රෝහල් තුළ ඖෂධ හිඟයක් පවතින මොහොතක එම ඖෂධ ගෙන්වීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

 ඖෂධ හිඟය හේතුවෙන් රෝහල් තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් මෙන්ම සායන සඳහා පැමිණෙන රෝගීන් ද දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ද ඒ මහතා කියා සිටියේය.

 සෞඛය බලධාරීන්ගේ නිසි කළමනාකරණයක් නොමැතිකම හේතුවෙන් මෙම ඖෂධ හිඟය, ශල්‍ය වෛද්‍ය උපකරණ හිඟය ඔඩුදුවා ඇති බව ද ඔහු කීය.

 රෝහල්වල පමණක් නොව, පෞද්ගලික ඔසුසැල්වල පවා දැඩි ඖෂධ හිඟයක් පවතින බව ද ඒ මහතා කීය.

 කොළඹ ජාතික අක්ෂි රෝහලේ ද අක්ෂි කාච, ඇස් රෝගවලට ලබාදෙන ඖෂධ හිඟයක් පවතින බව ද හෙතෙම කියා සිටියේය.

 මේ හේතුවෙන් අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීමේ ගැටලුවකට මුහුණ පා ඇතැයි ද ඒ මහතා සඳහන් කර සිටියේය.

 මේ අතර, අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් නියම කරන බොහෝමයක් ඖෂධ පෞද්ගලික ඔසුසැල්වලින් මිලදී ගැනීමට සිදුව ඇති බවත්, ඒවා බොහෝමයක මිල ඉතා අධික බවත් එම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීහු කීපදෙනෙක් ම ‘දිවයින’ට පැවසූහ.

 දැඩිසත්කාර ඒකකවලට අවශ්‍ය ඖෂධ රැසක් ද හිඟව පවතින අතර හෘදය ආශ්‍රිත රෝගවලදී රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා භාවිත කරන ඖෂධවල ද හිඟ්‍යක් පවතින බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සුජීව තත්සර, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment