ඖෂධ මුල් පුටුවට හොරා කාපු ලොක්කෙක්!

310

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සම්බන්ධයෙන් රට තුළ මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. ඖෂධ ආනයනයේදී අක්‍රමිකතා සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබිණි. එම චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු මෙකී සභාපතිවයාගේ වැඩ තහනම් කරන ලෙස ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කළේය.

මේ කියන සිද්ධිය වී ඇත්තේ 2010 වසරේදීය. මෙකී සභාපතිවරයාට එල්ල වී තිබූ චෝදනාව වූයේ පියයුරු පිළිකා නාශක ඖෂධයක් වැඩි මිලක් යටතේ මිලදී ගන්නට අවසර ලබා දීමය. වෙළෙඳපොළේ පවතින මිලට වඩා වැඩි මිලකට අදාළ ඖෂධය ගෙන්වා රජයට කළ වංචාව සම්බන්ධ විමර්ශනවලදී හෙළි වූයේ අදාළ ඖෂධය ආනයනය සඳහා රුපියල් හාර කෝටි දොළොස් ලක්ෂ අසූ පන්දහසක් යෙදවීම ය. එය දඬුවම් ලැබිය හැකි වරදක් යැයි ජනාධිපති කොමිෂන් වාර්තාවේ දක්වා ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත් කර ඇත. එසේ තිබියදී 2019 වසරේ දී වැඩ තහනම් කළ මෙකී සභාපති, වර්තමාන පාලකයන් විසින් යළිත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති තනතුරට පත් කර ඇත.

කා විසින් කාගේ වුවමනාවට මොහු පත් කළාදැයි දන්නේ උඩ සිටින දෙවියන් පමණකි.

2019 වසරේ දී පියයුරු පිළිකා ඖෂධ මිලදී ගන්නට ව්‍යාජ මිලක් දක්වා ඒවා ආනයනය කළ අදාළ සමාගමට සිදු කළ යුතුව තිබූ අදාළ ගෙවීම් අත්හිටුවීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබිණි.

නමුත් 2019 වසරේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ එම යළි පත්කළ පසු අසාදු ලේඛන (බ්ලැක්ලිස්ට්) කළ සමාගමට අත්හිටුවා තිබූ ගෙවීම් ආපසු ගෙවා දැමීමට පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් කෝටි දහයක පමණ මුදලක් මේ වනවිට ගෙවා ඇතැයිද අනාවරණය වී ඇත.

මේ රට මහ පුදුම රටකි. මේ රටේ හොරකම, වංචාව, දූෂණය, අල්ලස පෙර කිසිම කලක නොවූ පරිදි දැන් සිදු වෙමින් ඇත. මහ බැංකු බැඳුම්කරයෙන් රටට වූ පාඩුව සුළුපටු නැත. සීනි වංචාව සිදුවී තාමත් ඒ හැටි කලක් ගත වී නැත.

ඒ අතින් බලන කල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ලොක්කන් මේ සිදුකර ඇත්තේ රටේ වංචා දූෂණ හා අල්ලස් සම්ප්‍රදාය රැකීම වන්නට බැරිකමක් නැත.

ප්‍රශ්නය වී ඇත්තේ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් මගින් ගෙදර යැවූ සභාපතිවරයෙක් යළි එකී ආයතනයේම සභාපති තනතුරට පත් කිරීමය. මෙම සභාපතිකමට සුදුස්සන් නැති නිසා එසේ කළා දැයි අප දන්නේ නැත. හෙට අනිද්දාට මහ බැංකු අධිපති කමට සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් යළි ගෙනැවිත් වාඩි කළත් එයද පුදුම වන්නට කාරණයක් නොවන බව මේ අනුව යමෙකුට සිතිය හැකිය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මේ තනතුරට නිර්දේශ කළේ කවුරුන්ද? ඊට අනුමැතිය දුන්නේ කවුරුන්ද? කා වෙනුවෙන් ඒ දේ කළේ ද යන්න දැන ගැනීමට මේ රටේ මිනිස්සුන්ට අයිතියක් ඇත. ලියුකේමියාව යන රෝගය සතුරෙකුටවත් නොවැළඳිය යුතු රෝගයකි. පිළිකා රෝගයද එවැන්නකි. නමුත් මේ රටේ ඖෂධ මාෆියාකාරයන්ට වටින්නේ මුදල් පමණකි. “බල්ලෝ මරා හෝ සල්ලි සෙවීම” මේ තක්කඩි සමාගම්වල අරමුණය.

මහරගම අපේක්ෂා රෝහල යනු පිළිකා රෝහලය. මේ රෝහලට ගිය පසු මුළු ජීවිතයම එපාවන බව ඇත්තකි. ලෝකයේ විශාල ම හා සංවිධානාත්මකම ජාවාරම මත්කුඩු හා අවි ආයුධ ජාවාරම නොවන බව කිව යුතුය. ලොව භයානකම ජාවාරම ඖෂධ ජාවාරම බව පැහැදිලිය. රෝගී දරුවන්ට දෙන කැස්පර් එන්නතේ ඖෂධ ඉවත්කර ඊට වතුර දමා රෝගීන්ට දුන් සමාගමට මිනිසුන්ට වෙඩිතබා මරා දැමීම ඒ හැටි කජ්ජක් නොවන බව කිවයුතුය. පියයුරු රෝගී කාන්තාවන්ට ලබා දෙන ඖෂධ වෙළෙඳපොළේ පවතින වටිනාකමට වඩා වැඩි වටිනාකමක් දමා ඒවා මෙරටට ආනයනය කිරීමට සමාගමකට අවසර දුන් අයට කළ නොහැක්කක් නොමැති බව අපට තේරුම් යන දෙයකි.

මවකගේ තන පුඩුවක එල්ලී කිරි උරාබොන ක්ෂීරපායි සතෙක් වන මිනිසා පියයුරු පිළිකා රෝගීන්ට කර ඇති අපරාධය සුළුවෙන් තැකිය හැකි කාරණයක් නොවන බව ඉතා පැහැදිලිය. සියල්ල මුදල් මත තීරණය වන සමාජයක හෙට ගැන ඇත්තේ බියකරු චිත්‍රයකි.

මේ වන විට රට වළපල්ලට වැටී ඇත. රෝහල්වල ඖෂධ නැත. එන්නත් තබා උණට බොන පෙනඩෝල් පෙත්තේ සිට සෑම බෙහෙතක්ම ගිනි ගණන්ය. තුන් වේලෙන් වේලක් දෙකක් කා ජීවිතේ ගැට ගසා ගන්නා මිනිස්සුන්ට බෙහෙත් හේත් සඳහා වැය කිරීමට මුදල්ද නැත. එහෙව් කලක ඖෂධ මාෆියා සමාගම් සමග එක්ව මඩිය තර කර ගන්නා උන්ට හෙණ ඉල්ලනවා හැර වෙන කරන්නට දෙයක් මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට නැත. මේ වන විට goshi නමැති රෝගයක් සඳහා රෝගී දරුවන්ට ලබා දෙන ඖෂධය රට තුළ නැත. වසර දෙකහමාරක පමණ කාලයක් තිස්සේ ඒ ඖෂධය ගෙන්වීමට කිසිම අයකු උනන්දු නොවන්නේ ඉල්ලන අල්ලස ලබා නොදෙන නිසාය. goshi යනු කුඩා දරුවන්ට වැළදෙන රෝගයකි. උදරය විශාල වන මෙම goshi රෝගය වැලඳුණු දරුවන් සැලකිය යුතු පිරිසක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ අනික් රෝහල්වල සිටින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු පවසති. නමුත් ඖෂධ නීතිගත සංස්ථාව එම අත්‍යවශ්‍ය ඖෂධය ආනයනය කර නැත. හේතුව වෙන කිසිවක් නොව පගා කුට්ටිය නො ලැබී තිබෙන නිසාය.

මෙයාකාරයට රට පුරා රෝහල්වල නොමැති අත්‍යවශ්‍ය ඖෂධ සහ එන්නත් වර්ග ලැයිස්තුවක් සඳහන් කළ හැක. ඒ සඳහා පිටු ගණනාවක් අවශ්‍ය බවද සඳහන් කරන්නේ ඒ තරමටම ලයිස්තුව දිගු වන බැවිනි. එදා මෙන් නොව අප කොයි කවුරුත් මෙලොව එළිය දකින්නේ රෝහලක දී ය. එසේ උපදින අප කොයි කවුරුත් ලෙඩවන බව ඇත්තකි. රෝහල්වල නිලධාරීහු මෙන්ම රෝහල් කාර්ය මණ්ඩල බළකායක් ද සිටිති. නමුත් ඖෂධ නැත. ඇතැම් වෛද්‍යවරු ඇතුළු පිරිස්ද ඖෂධ ජාවාරම් පිටුපස සැඟවී සිටින බවද ඇත්තකි. මේ රටේ අහිංසක දුප්පත් ජනතාව බෙහෙතක් ගන්නට යන්නේ රජයේ රෝහලටය. මැති ඇමැතිලා නම් අසනීප සුව කරන්නට යන්නේ සිංගප්පූරුවේ හෝ වෙනත් රටකටය. ඒ ඔවුන්ට ලැබී තිබෙන අසීමිත බලයත් නිසාය.

එනිසා අප එකක් කිව යුතුව ඇත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට එල්ලවූ චෝදනාවක් මත ඔහුව තනතුරෙන් අස්කර දැම්මත් ආයෙමත් එම තනතුරට පත්කර ඇත. අසාදු ලේඛනගතකර තිබෙන මොහොතක එම සමාගමට ගෙවිය යුතු රුපියල් මිලියන 500 ක මුදල දැන් කොටස් වශයෙන් ගෙවීමට පියවර ගෙන ඇත. ඒ පිටුපස සිටින්නේ මේ සභාපතිවරයා නොවන්නටද පුළුවන. පිළිකාවෙන් ලියුකේමියාවෙන් හා වෙනත් රෝගවලින් පීඩා විඳින රෝගීන් ව මරා මුදල් හම්බ කර ඇති ඵලය කුමක්දැයි අපට නම් තේරුම් ගත නොහැකිය. මේ ජාවාරම සිදුකරන උන්ට හා ඊට අනුබල දෙන උන්ට බිරිඳක් සැමියෙක් නැති වන්නට පුළුවන. මවක් පියෙක් සහෝදරයෙක්, ඥාතියෙක් හෝ අඩුම තරමේ හිත මිතුරෙක් වත් සිටින්නට විදිහක් ද නැත. මොකා ඇතත් නැතත් මුන්ට හිතක් පපුවක් නැති බව ඉතා පැහැදිලිය. මිනිසුන් මරා සල්ලි හොයනවට වඩා අසූචි කා ජීවත් වූවා නම් මීට වඩා නම්බුකාර බව සටහන් කර තබන්නේ වෙන මොනා කිව්වත් වැඩක් නොමැති නිසාය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment