ඖෂධ හිඟයට විසඳුම් නොදී රජය ජීවිත අනතුරේ දාලා

76

වෛද්‍ය සංගමයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලිපියක්

ඖෂධ හිඟයට, උපකරණ හිඟයට සහ ඖෂධ මිල පාලනයට පියවර නොගෙන රජය ජනතාවගේ සෞඛ්‍ය අනතුරේ හෙළන බව කියමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලිපියක් යැවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

මේ පිළිබඳව මහජන පෙත්සමකට අත්සන් ගැනීම ඊයේ (23 දා) සිට ආරම්භ කළ බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත අදාළ ලිපිය මෙම සතියේ යැවීමට කටයුතු කරන බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘දිවයින’ ට ඊයේ පැවසීය.

මෙරට රෝහල්වල මේ වන විට ඖෂධ, උපකරණ, රුධිර පරීක්‍ෂණ ද්‍රව්‍ය සහ විකිරණ ද්‍රව්‍යවල බරපතළ හිඟයක් ඇති බවත්, පැරසිටමෝල්, ඇස්ප්‍රීන්, වේදනා නාශක, දියවැඩියා සහ හදවත් රෝගීන්ට ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධවල විශාල හිඟයක් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් රුධිර පරීක්‍ෂණ සහ සාමාන්‍ය ශල්‍යකර්ම, විශාල ප්‍රමාණයක් කල්දමා ඇති බවත්, පිළිකා, ළමා සැත්කම් සහ සිසේරියන් සැත්කම් සීමා කොට ඇති බවත් පැවසූ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පිළිකා, හෘද රෝග සහ වකුගඩු රෝග සඳහා ලබාදෙන ඖෂධ රැසක් රෝහල්වල ඖෂධ ගබඩාවල නොමැති වීම නිසා ඒවා පිටතින් ලබා ගැනීමේදී රුපියල් 10,000 සිට 34,000 දක්වා මුදල් වැය කිරීමට ජනතාවට සිදුව ඇතැයි ද පැවසීය.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අක්‍රමිකතා, වංචා දූෂණ සහ අවිධිමත් ටෙන්ඩර් පටිපාටි හේතුවෙන් මෙරට රෝහල් මෙසේ අසාධ්‍ය තත්ත්වයකට පත්ව ඇති බව ද මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයට කරුණු දැක්වීමට තීරණය කළ බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ

සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment