ඖෂධ හිඟයෙන් දුප්පත් ජනතාව කබලෙන් ලිපට වැටෙනවා

109

අප සියලු දෙනාම දන්නව මේ අවස්ථාවේදී අප රටේ දරුණු විදේශ විනිමය හිඟයක් තියෙන බව. ඒක හේතු කොටගෙන මම වෛiවරයෙක් හැටියට දුක් වෙනවා සත්‍ය තත්ත්වය අනුව බෙහෙත් හේත් රජයේ රෝහල්වල නැති මට්ටමකට පහළ බැහැල තියෙනවා. රෝගීන්ට ගිනි ගණන්වලට ෆාමසිවලින් බෙහෙත් ලබා ගැනීමට සිදුවීම අතිශය කනගාටුවට කරුණක්. මේ ප්‍රතිපත්තිවලට මේ සම්බන්ධව කිසිම යෝජනාවක් ඇතුළත් කර නොමැත. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය දශක ගණනාවක් තුළ රජයේ ඖෂධ හිඟය නැතිකර, අඩු මිලට හොඳ ගුණාත්මකභාවයක් ඇති ඖෂධ ලබා ගැනීමට හැකි විය. තොග වශයෙන් ලෝක මට්ටමේ ටෙන්ඩර් කැඳවීමෙන් ඖෂධ නාමය පදනම් කරගෙන අනෙකුත් රටවල්වලට වඩා දක්‍ෂ ලෙස අප රටට රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ලබාගැනීමට හැකි විය. අපට පේන හැටියට එතුමා ඇතිකළ රජයේ ඖෂධ සංස්ථාව තුළ සේවය කරන අයට නිසි දැනුම, අවශ්‍ය අවංකභාවය හා කැපවීම ද මෙරට ඖෂධ හිඟයට හා බෙහෙත් මිල ඉහළ යෑමට හේතුව වන්නේ යැයි කියා මම විශ්වාස කරනවා. ප්‍රතිපත්ති වෙනස් වීමක් නෙවෙයි මේ අඩුපාඩු විසඳීමට සුදුසු අයයි පත් වීමට සුදුසු වන්නේ. දුප්පත් ජනතාවට බෙහෙත් හිඟය බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. මේ හිඟය නිසා පිට ෆාමසිවලින් ඖෂධ ගැනීමට සිදුවී ඇත. ෆාමසිවලින් ගිනි ගණන්වලට බෙහෙත් විකිණීමෙන් විශාල ලාභයක් පුද්ගලික ෆාමසි වෙළෙඳුන් ලබාගනී. තුන් හාරසිය ගුණයක්, ප්‍රතිශතයක් හැටියට පුද්ගලික ෆාමසි අධික ලෙස බෙහෙත් විකිණීම නිසා මේ සඳහා පාලනයක් අත්‍යවශ්‍යයි. මෙය පාලනය කිරීම සඳහා කිසිම වැඩපිළිවෙළක් අයවැයේ සඳහන් කර නැත.

මේ විදේශ විනිමය හිඟය ඇතිවෙලා තියෙන්නේ එක පැත්තකින් අප රටේ ඩොලර් බිලියන 52කට වඩා වැඩි ගණනක් අවුරුදු පතා බිලියන 07 ට වඩා වැඩි ගණනක් ගෙවන්න වෙලා තියෙන්නෙ. මෙම තත්ත්වයෙන් ගොඩයෑමේ කිසිම සැලැස්මක් හා මේ අයවැයෙන් මේ තත්ත්වය ගැන විධිමත් සංවිධාන සංවර්ධන වෙනත් පියවරක් නැති නිසා කනගාටු වෙනවා. අනෙක් පැත්තෙන් නැව් එනවා පිටරටවල එම එන නැව්වලට ප්‍රමාද ගාස්තු විශාල ප්‍රමාණයක් වැය කරමින් මේ වෙනුවෙන් අප මුදල් නාස්ති කරනවා. මේ වගේ තත්ත්වයකට තමා රට ගෙනැල්ලා තියෙන්නේ. අපේ මේ ඩොලර් හිඟය මේ ආකාරයට වැඩිවෙලා තිබීම නිසා අපට මේ පිටරටින් අත්‍යවශ්‍ය දේවල් වුණත් මා මුලින් පැවසූ පරිදි බෙහෙත් වාගේ දේවල් ලබාගන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා.

දැන් මේ විදේශ විනිමය හිඟය පියවීම් පිළිබඳ ගැටලු ඇති වුණේ අප විසින් ගන්නා ලද අධික ණය නිසා. මෙම තත්ත්වය උඩ තව තවත් ණය ගන්නයි යන්නේ. එක පැත්තකින් IMF එකට, ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට විටින් විට ණය ගැනීම සඳහා යනවා. මේ නිසා ප්‍රපාතයෙන් ප්‍රපාතයට රට වැටෙනවා. මොකක්ද අප මේ යන ගමනේ තේරුම. මේක වෙනස් කිරීමේ කිසිම වැඩපිළිවෙළක් මේ අයවැයේ නැහැ. දැන් මේ එක්කම බැලුවහම සාමාන්‍ය ජනතාවගේ තත්ත්වය එන්න එන්නම දරුණු තත්ත්වයකටයි වැටිල තියෙන්නේ. මහජනතාවගේ බඩු මිල අහස උසට නැඟලා තියෙනවා. වෙළෙන්දන්ට ක්‍රීඩා පිටියක් ඇති කරලා තියෙනවා. බඩුවලට ඕන ගාණක් අය කරල පොහොසත් වෙන්න. මැද මිනිහාගේ ගසාකෑම, එක පැත්තකින් ගොවියාගේ, නිෂ්පාදකයාගේ නියම මිල ලැබෙන්නේ නැහැ. පාරිභෝගිකයන්ට බඩු ගන්න විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. උද්ධමනය වැඩි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ආණ්ඩුව මුදල් නෝට්ටු රුපියල් ටි්‍රලියන ගණන් මුද්‍රණය කිරීම නිසාය.

ඉතින් මේ තත්ත්වය උඩ අපේ රටේ ජනතාවගේ ආදායම වැඩි වෙලත් නෑ. පඩි වැඩි වෙලත් නෑ. ඉතින් මේ තත්ත්වය හරහා ජනතාවට මොනවද සිද්ධ වෙලා තියෙන්නේ. මට කනගාටුයි කියන්න වෛi පර්යේෂණ ආයතනයේ සමීක්‍ෂණයක් තුළින් 65%කට වඩා දරිද්‍රතා රේඛාවට වඩා අඩු ආදායම් ලාභීන්, ඒගොල්ලන්ට නියම ආහාර වේලක් ලැබෙන්නේ නැහැ. දැන් මන්දපෝෂණය වැඩිවෙලා 20% ක් ඉක්මවන තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ අනුව අවුරුදු 05 ට අඩු දරුවන්ගෙන් එක් දරුවෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මේ දරුවන්ගේ ශාරීරික දියුණුව පමණක් නොව මානසික දියුණුවත් නෑ. සියලුම දරුවන්ට මේ තත්ත්වය බලපානවා. මොන වගේ අනාගත පරම්පරාවක් ද ඇතිවෙන්න යන්නේ. අපේ රටේ ඉතින්, මේ ආකාරයට අපි බැලුවහම බඩගින්න වැඩි වෙනවා. එක් පැත්තකින් මන්දපෝෂණය වැඩි වෙනවා. මේ තත්ත්වයත් එක්ක වැඩි කාලයක් යන්නට පෙර අපේ රටේ ජනතාව සාගින්නෙන් මියයන තත්ත්වයක් ඇති වෙයි. ඉතින් මේවා ගැන මේ අයවැයේ කිසිම දෙයක් නැහැ. මේවා තමා දරුණු ප්‍රශ්න. මේ ප්‍රශ්නවලට විසඳුම් කිසිවක් පෙනෙන්න නෑ මේ අයවැයෙන්. අපි මේ රටක් හැටියට මෙවැනි තත්ත්වයකට මුහුණ දීලා අනාගතයේ රටේ මොන වාගේ තත්ත්වයක් ද ඇති වෙන්නේ.

මේ රසවත් වචනවලින් අවුරුදු 10 ක් 20 ක් 40 ක් වෙනකොට ඇතිවෙන සෙතක් ගැන කතා කළාට, අද තියෙන තත්ත්වය ගැන මේ අයවැයෙන් කතා නොකර කොහොමද මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ. මහජනතාවගේ එදිනෙදා ප්‍රශ්නවලට මේ අයවැයෙන් නිසි වැඩපිළිවෙළක් දක්නට නැහැ. මෙරටේ ජනතාවගේ බඩගින්න අඩු කිරීමට, මන්දපෝෂණය අඩු කිරීමට, බෙහෙත් නැතිකම මේ පිළිබඳ අවධානයක් යොමු කිරීමක් තියා අඩුම ගාණේ ගැලවීමේ මාර්ගයක්වත් නෑ. මේ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරනවා. මේ අයවැයෙන් අපට කියනවා අලුත් ගමනක් යන්න මාවතක් ඇති කරනවා කියලා. මේකෙන් සිද්ධ වෙන්නෙ රටක් හැටියට අප වැටෙන එකයි.

අපේ රටේ සංවර්ධනය කිරීමට නම් මුදල්වලට වඩා වැදගත්ම සම්පත වන්නේ මිනිස් සම්පතයි. මේ සම්පත අපේ විශ්වවිද්‍යාල තුළින් දියුණු වුණාට එම සම්පත නිසි ලෙස තබාගෙන රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවන්නේ නෑ. ඒ සමගම බුද්ධිගලනය නතර කිරීමට කිසිම පියවරක් ගන්නේ නැහැ. මේ අයවැයෙන් එම අඩුපාඩුව පෙනෙන්න තියෙනවා.

ප්‍රධාන වශයෙන් බුද්ධිගලනය සිද්ධ වෙන්නේ තමන්ගේ දැනුම උපයෝගි කරගෙන සුදුසු රැකියාවක් කිරීමේ වාතාවරණයක් නැතිකම. එම අය නිසි සැලකිල්ලක් නොදැක්වීම, අවශ්‍ය පහසුකම් පවා නොලැබීම. මේ අයවැයෙන් කිසිම අවධානයක් මේ බුද්ධි ගලනය නතර කර ගැනීම සඳහා කටයුතු යොදා නැහැ.

බුද්ධිගලනයට ප්‍රධාන හේතුවක් වන්නේ බදු දැලට කලින් රුපියල් 400000 වඩා වැඩි ආදායම් ලාභීන්ට සීමාකර තිබූ බදු ගෙවීම්, වර්තමානයේ රුපියල් 100000කට අඩු කිරීම තදින් බලපා ඇත. ඒ සමග සමාජය තුළ අස්ථාවරභාවයක් පවතී. අනාගතය ගැන පැහැදිලි බවක් නොමැතිවීම වැදගත් හේතුවක් බව අප තේරුම්ගත යුතුයි. මේ බුද්ධිගලනය නිසා ඇතිවන ගැටලුවක් වන්නේ දීර්ඝකාලීන අධ්‍යාපනයක්, විශේෂ පුහුණුවක් සහ අත්දැකීම් පදනම් කරගත් බුද්ධිමතුන්ගෙන් හිස්වන ස්ථානයන්ට නැවත එවැනි බුද්ධිමතුන් නිර්මාණය කර ගැනීමට මේ සඳහා සෑහෙන්න කාලයක් ගතවේ. මේ හිස්තැන පිරවීමට යන කාලය දීර්ඝ වන නිසා අනාගත පරම්පරාවේ දියුණුවීමටත් මෙය තදින් බලපායි.

වර්තමාන ආණ්ඩුවත් අයවැයෙන් බදු බර කෝටිපතියන්ට නොදා බදු බර සාමාන්‍ය ජනතාවගේ කරපිට පටවයි. මේ රටේ මුළු බදු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ වක්‍ර බදුවලිනි. මෙය දුප්පත් ජනතාවටම බර පැටවීමක්ය. නමුත් පොහොසත්, කෝටිපති පන්තියට සෘජු බදු වැඩි කිරීමක් නැත. මේ ගැන කිසිවක් සඳහන් නොකිරීමෙන් අපට හිතන්නට පුළුවන් වන්නේ කලින් තිබූ ආකාරයටම උපරිමය 24% ක් හැටියටත් ලොකු සමාගම්වලට 30% ක් හැටියටත් වෙනස් නොකර පවතින බවයි. මධ්‍යම පන්තියේ විශේෂයෙන් බදු බර වැඩිවී තිබේ. මේ ප්‍රතිපත්ති නිසා බුද්ධිමතුන් රට අත්හැර යෑමට තවත් හේතුවක් වන්නේය.

විරැකියාභාවය උග්‍ර ප්‍රශ්නයක් වීමට රජයේ අලුතින් සේවකයන් බඳවා නොගැනීම එක් හේතුවක් විය. නමුත් පුද්ගලික අංශය ද කඩාවැටීම නිසා ප්‍රශ්නය බැරෑරුම් මට්ටමකට උග්‍ර වී ඇත. මුදල් ඇමැතිතුමා පුද්ගලික අංශය දියුණු කිරීම ගැන කතා කළාට, ඇඟලුම් ක්‍ෂේත්‍රයේ පවා මෙරට කර්මාන්ත 30%කට වඩා අත්හැර පිටරට ඇඟලුම් කර්මාන්තවල ආයෝජනය කිරීම සිදුවී ඇත. මේ ආකාරයට පුද්ගලික අංශයත් කඩාවැටීම මේ ප්‍රශ්නයට තදින් බලපා ඇත. මේ විරැකියාභාවය තරුණ ශ්‍රම බළකායට ද මධම පන්තිය තුළත් මතුවී ඇත. මේ විරැකියා භාවය වැඩි වන්නට වන්නට සමාජයේ කඩාවැටීම ද හේතුවක් වී ඇත. මත්ද්‍රව්‍ය අලෙවිය වැඩි වීමත්, සමාජ අපචාර වැඩි වීමත්, ගණිකා වෘත්තියේ වර්ධනයත් දක්නට ඇත.

රජයේ පරිපාලන සේවය ද අක්‍රමිකතාවන්ට පත්වීගෙන යයි. ජනතාවට ලැබෙන සේවය දුර්වල වෙයි. මේ තත්ත්වය නිසා දූෂණ වංචා වැඩිවී ඇත. යමක් කර ගැනීමට නම් ලොකු මුදලක් ගෙවීමට සිදුවේ. මෙසේ මුදල් ගෙවීමට නොහැකි දුප්පත් ජනතාවට තදබල ප්‍රශ්න මතුවී ඇත. මේ තත්ත්වය උඩ අනවශ්‍ය කාලයක් තම කාර්ය ඉටුකර ගැනීමට දැරීමට සිදුවීම නිසා කාර්යක්‍ෂමතාව අඩුවී ඇත.

මේ අයවැයෙන් පුද්ගලික අංශය මුල්කරගෙන රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමට කිසිම ක්‍රමවේදයක් දක්නට නොමැත. අවැය සම්පූර්ණයෙන්ම අසාර්ථක තත්ත්වයට පත්ව ඇත. ඉදිරි වර්ෂය රට සංවර්ධනය කර පොහොසත් රටක් වීමට නම්, මේ අයවැය කිසිදු පදනමක් බලාපොරොත්තුවක් තබාගත නොහැකි අයවැයක් බවට පත්ව ඇත.

රජයේ ආයතනවල ක්‍රියාකාරීත්වය පහළ බැසීමට පිළියමක් හැටියට එම ආයතන පුද්ගලීකරණය කිරීම අයවැය යෝජනාවේ සඳහන් කර ඇතත් පාඩු නොලබන සාර්ථක ආයතන ද පුද්ගලික අංශයට විකිණීමට (රක්‍ෂණ සංස්ථාව වැනි ආයතන ද) තීන්දු කර ඇත. පාඩු ලබන ආයතන පුද්ගලික අංශයට භාර දීමෙන් පහළ ජනතාවගේ උවමනාවන් නොලබා වැඩි මුදලට පොහොසත් ජන කොටසට පමණක් ප්‍රයෝජනය ලැබේවි. රජයේ ආයතනවල පාඩුවලට ලෝකය තුළ ක්‍රියාත්මක කරන සහයෝගිතා සංකල්පය තමා නියම විසඳුම. එම සංකල්පය විවිධ රටවල්වල සාර්ථක වී ඇත. අප රටේ පාඩු ලබන ආයතන අතර මුල් තැනක් ගන්නේ වතුකරයයි. විශේෂයෙන් තේ වතුවලට මෙය උග්‍ර ප්‍රශ්නයක් වී ඇත. නමුත් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ටාටා සමාගමට අයත් වූ හෙක්ටෙයාර් 63000 ක් පාඩුවීම හේතුව හැටියට දක්වා සේවකයන්ගේ බලාපොරොත්තු වුණු පඩි වැඩිවීම ප්‍රතික්‍ෂේප කළා. කේරළ ප්‍රාන්තයේ වමේ ආණ්ඩුව දැන් ආපසු තම අයිතියට පවරා මේ සහයෝගිතා සංකල්පය ක්‍රියාත්මක කර තිබේ. ලංකා සමසමාජ පක්‍ෂයේ කෘෂිකර්ම කොමටියේ සාමාජික බුද්ධි ජයසූරිය සහෝදරයා එහි තත්ත්වය සොයා බලා මේ ක්‍රමය තුළින් දැන් ඉතාමත්ම ඵලදායී තත්ත්වයට පත්ව ඇති බව සඳහන් කරන ලදී. ලංකාවෙත් එම සතුටුදායක ප්‍රතිඵල ලබාගැනීමට ද මෙවැනි පියවරක් තුළින් හැකිවෙයි.

රජයේ ආදායමෙන් 90% ක් පමණ ලැබෙන ආයතන 03 අතර (ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව) නිසි ලෙස ප්‍රතිව්‍යූහගත කරමින් අයවැය පරතරය පියවීමේ මට්ටමට නැංවීමට විසඳුම් මම පාර්ලිමේන්තුවේ කෝපා ආයතනයේ සභාපති හැටියට මුදල් ඇමැතිතුමාට ඉදිරිපත් කරන ලදි. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අවුරුදු 05කට වඩා රටේ ප්‍රධාන පෙළේ සමාගම් සහ එක් බැංකුවක් බදු ගෙවීම් නිසි පරිදි කර නැත. අවුරුදු 05 ක් ප්‍රමාදවීම් පිළිබඳ විමර්ශනය සිදුකිරීම තුළින් වංචාව සිදුකරන්නේ අභියාචන මණ්ඩල 03කට දැමීම තුළිනි. මෙය වෙනුවෙන් එක් අභියාචන මණ්ඩලයක් ප්‍රමාණවත් යෝජනාවක් ලෙස කෝපා කමිටු සභාපති ලෙස මාස 6 කින් තීන්දුව ලැබීමට කටයුතු කිරීම මාගේ යෝජනාවකි. ඒ සමගම බදු ගෙවීම් 60% ක් නියම දිනයේදී ගෙවා ඉතුරු ගණන සම්බන්ධයෙන් මණ්ඩලය තීන්දුවකට ආ යුත්තේය. ද්විත්ව කාර්යයන් සඳහා ගෙන්වනු ලබන වාහනවලට ආදාළ බදු ඇතුළත් කරමින් සුඛෝපභෝගී වාහන ද ඒ ගණයට ඇතුළත් කරමින් උදාහරණ ලෙස ගිලන් රථ එකක් ලෙස අඩු බදු ගෙවා විශාල බදු ගෙවීම් පැහැර හරිනු ලබයි.

මෙම වංචාවන්වලට අදාළව මා කෝපා කමිටුවේ සභාපති ලෙස වාර්තා කර ඇතිමුත් අද වන තෙක් මහජනතාවට හිමි විය යුතු බදු ආදායම පැහැර හරිමින් තවමත් මේ බදු වංචාවල් සිදුවනු ඇත. වර්තමාන මුදල් ඇමැතිතුමාගේ අවධානයට මෙම කෝපා කමිටු යෝජනා නැවතත් ඉදිරිපත් කරනු ඇත.

(අය වැය දෙවැනිවර කියැවීමේ විවාදයෙනි.)

ඖෂධ හිඟයෙන් දුප්පත් ජනතාව කබලෙන් ලිපට වැටෙනවා

● මහාචාර්ය තිස්ස විතාරණ

advertistmentadvertistment
advertistmentadvertistment