කංජිපානි ඉම්රාන්ට නඩු 2 කින් කොන්දේසි මත ඇප

125

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කංජිපානි ඉම්රාන් රුපියල් කෝටියක ශරීර ඇප සහ රුපියල් දෙලක්‍ෂ පනස්දහසක මුදල් ඇපයක් මත මුදා හැරීමට ඊයේ

(20 වැනිදා) කොළඹ අලුත්කඩේ අංක 4 සහ 6 යන මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග කළේය.

දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රඳවා සිටි බූස්ස බන්ධනාගාරයේ සිට රැගෙන විත් මාලිගාවත්ත පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය ගොනු කර තිබූ නඩු දෙකකට අදාළව ඔහු ඊයේ (20දා) අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මාලිගාවත්ත පොලිසිය මගින් ගොනුකර තිබූ නඩුවට අදාළව රුපියල් විසිපන්ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් දෙලක්‍ෂ පනස්දහසක මුදල් ඇපය නියම කෙරුණි. කොළඹ අපරාධ කොට්ඨාසය ගොනු කර තිබූ නඩුවට අදාළව රුපියල් ලක්‍ෂ පනහක ශරීර ඇපයක් නියම විය. එයට අමතරව සැකකරුට එරෙහිව විදේශ ගමන් තහනමක් ද පැනවූ අධිකරණ සෑම ඉරු දිනකම මාලිගාවත්ත පොලිසියේ පෙනී සිටින ලෙස කොන්දේසියක් ද පැනවීය.

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී එරට පොලිස් අත්අඩංගුවට පත්වූ කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් අතර එතැන් සිට ඊයේ දක්වා දීර්ඝ කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment