කච්චතිවු අයිතිය හා ගලවා හදපු නාලන්ද ගෙඩිගෙය

260

මෙහි මුල් කොටස 22 වැනිදා පළවිය

දැන් මුල් ක්‍රියාකාරකමෙහිදී වෘත්තයේ කොටසක් කපා ඉවත්කළ පසු ඉතිරි වූ වෘත්තාකාර කඩදාසිය සමතුලිත කළ අවස්ථාව සිහියට ගන්න. නාලන්ද ගෙඩිගේ ලංකාවේ මධ්‍ය ලක්‍ෂ්‍යය මත පිහිටන විට ඩෙල්ෆ්ට්, ඉරනතිව් සහ මුලින් සඳහන් කළ කච්චතිව් යන දූපත් ද අනිවාර්යෙන්ම ලංකාවට අයත් වේ! මෙහිදී කිසිදු සීමා නිර්ණය කිරීමේ කමිටුවක් අප විසින් පත් කර ගනු නොලැබූ අතර ස්මාට් දුරකථනයේ තිරය දීප්තිමත් කිරීම සඳහා වැයවූ විදුලිය ද සැලකිල්ලට ගත් විට ව්‍යාපෘතිය සඳහා වැය වූ මුළු මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 10 කටත් වඩා අඩු විය.

1970 දශකයේ දියත් වූ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදිවන බෝවතැන්න ජලාශයට නාලන්ද ගෙඩිගෙය පිහිටි ප්‍රදේශය යටවීමට නියමිත වූ හෙයින් ගෙඩිගෙය සහ එම පරිශ්‍රයේ ඇති අනෙකුත් සියලුම ඉදිකිරීම් කැණීම් සිදුකර මුළුමනින්ම ගලවා ඉවත් කර තිබේ. අනතුරුව ගෙඩිගෙය පිහිටි භූමිය පුරවා එහි මතුපිට අඩි 27 ක් ඉහළට ගෙන, මාලකයක් ආකාරයෙන් සකසා, එහි තිබූ ගෙඩිගෙය, ස්තූපය සහ අනෙකුත් පුරාවස්තු එම ස්ථානයන්හි පෙර තිබූ අයුරින්ම, තවදුරටත් සංරක්ෂණය කර, ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ. මේ වන තෙක් නිශ්චිත කාලනිර්ණයක් නොමැති නාලන්ද ගෙඩිගෙය ශ්‍රී ලංකාවේ හරිමැද පිහිටුවා තිබීම මගින් බොහෝ ඈත අතීතයේ සිට අපේ රට ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් ලෙස පැවත ඇති බව තහවුරු වේ. ඒ අනුව අඛණ්ඩ භාරතයට ශ්‍රී ලංකාව අයත් නොවන බව ද පෙනී යයි. මේ අතර දේශසීමා සම්බන්ධයෙන් වාර්තා වූ අලුත්ම සිදුවීම වන්නේ චීන ඉන්දියා දේශසීමා ඇතුළත් නව චීන සිතියමක් සම්බන්ධයෙන් ඉන්දියාව සිය විරෝධය පළ කිරීමයි. ඉන්දියාව සහ චීනය වර්තමානයේ දී ලෝකයේ බලවත් රාජ්‍යයන් වන බැවින් එම රටවල් අතර කිසිදු ගැටුමක් අපි අපේක්ෂා නොකරන්නෙමු. රටක මධ්‍ය ලක්‍ෂ්‍යය මත ස්මාරකයක් ඉදිකිරීම සඳහා එම රට දූපතක් ම විය යුතු නොවේ. දේශසීමා නිරවුල්ව පවතින ඕනෑම රාජ්‍යක මධ්‍ය කේන්ද්‍රය මත තම රටේ අනන්‍යතාවයන් නිරූපණය වන පරිදි අභිමානනීය ස්මාරකයක් ඉදිකරන්නේ නම් රටේ සමස්ත ජනතාව එම රටේ එකම මධ්‍ය ස්මාරකය වටා රොක්වන බැවින් එය ගලවා වෙනත් ස්ථානයක සවිකිරීමට ඔවුන් යොමු නොවනු ඇත. එහි අනෙක් අර්ථය වන්නේ එම රටට අලුතින් කොටසක් එක් කල විට හෝ රටින් කොටසක් වෙනත් රටකට පැවරුව හොත් රටේ මධ්‍ය ලක්‍ෂ්‍යය නොඑසේ නම් මධ්‍ය ස්මාරකය වෙනස් වන බැවින් ඔවුන් එවැනි වෙනසක් කරා යොමු නොවීමයි. එහෙයින් මෙම මධ්‍ය ස්මාරක සංකල්පය බෙදුම්වාදයට මෙන්ම අධිරාජ්‍යවාදයට ද නැවතීමේ තිතක් වනු ඇත. ඉහත සඳහන් කළ තත්ත්වයන් තුළ ලෝකයේ සියලුම රටවල් මෙවැනි ස්මාරකයන් ඉදිකළ විට, දේශසීමා අර්බුද අවම වීමෙන් අපගේ ලෝකය වඩාත් සාමකාමී වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. අපේ රටේ පිහිටි නාලන්ද ගෙඩිගෙය ලෝකයට ලබාදෙන පණිවිඩය එයයි.

ශ්‍රී ලංකාවේ මධ්‍ය කේන්ද්‍රය කුමක් ද යන්න නිල වශයෙන් තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත මා විසින් මේ වන විටත් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බැවින් නාලන්ද ගෙඩිගෙය ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍යය බව ඉදිරියේදී නිල වශයෙන් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඒ සඳහා, ලංකාවේ ගොඩබිම් පෙදෙස් පමණක් සැලකීම මගින්, ඉහත භාවිත කරන ලද මූලික සරල ක්‍රමවේදය වඩාත් දියුණු ආකාරයෙන් භාවිත කළ හැකිය. ඉහත පරිදි ලංකාවේ මධ්‍ය ලක්‍ෂ්‍යය තහවුරු කිරීම සඳහා Google Map යෙදවුම අප විසින් භාවිතා කරන ලදී. Google Map, Google Earth වැනි යෙදවුම් නිර්මාණය සහ භාවිතය සඳහා වැදගත් වන තාක්ෂණයන් අතර චන්ද්‍රිකා තාක්ෂණය, ගුවන්යානා තාක්ෂණය හා පරිගණක තාක්ෂණය ප්‍රමුඛ වේ. ඒ අනුව ඉහත පරිදි ලංකාවේ මධ්‍ය ලක්‍ෂ්‍යය නිර්ණය කිරීමේ දී ද ඉහත දැක් වූ තාක්ෂණික ක්‍රම ඔස්සේ ලැබෙන තොරතුරු සහ දත්ත භාවිත ව ඇති බව පැහැදිලි ය. එසේ නම් නාලන්ද ගෙඩිගෙය ලංකාවේ මධ්‍ය ලක්‍ෂ්‍යයේ හි ඉදිකිරීම සඳහා එහි අතීත නිර්මාණකරුවන් විසින් ද එවැනි දියුණු තාක්ෂණයන් භාවිතයට ගනු ලැබ තිබිය යුතු වේ. කෙසේ වුවත්, නාලන්ද ගෙඩිගෙය ඉදිකර ඇත්තේ විද්‍යාත්මක පදනමක් තුළ යම් සුවිශේෂ අරමුණු සහ කාර්යයන් ඉටු කරගැනීම වෙනුවෙන් වන බවට දැන් පැහැදිලි සාක්ෂි සාධක පවතී. ‘මහාවංශය‘ මගින් කියවෙන ගත වූ අවසන් වසර 2500 ක පමණ කාලය තුළ ඉහත සඳහන් ආකාරයේ දියුණු තාක්ෂණයන් පිළිබඳව කිසිදු සඳහනක් නොමැත. එසේනම් නාලන්ද ගෙඩිගේ ඉදිකර ඇත්තේ මහාවංශ ඉතිහාසයෙන් ඔබ්බෙහි වූ අප මෙතෙක් විද්‍යාත්මක ලෙස තහවුරු කර නොමැති පුරාවෘත්තයන්ට සහ ජනප්‍රවාදයන්ට සීමා වූ පූර්ව ඉතිහාසය තුළ ද? එම පූර්ව යුගයන්හි දී ගුවන් යානා තාක්ෂණය වැනි දියුණු තාක්ෂණයන් භාවිත කර තිබේද? ඒ පිළිබඳව අපි මීළඟ ලිපියකින් කතා කරමු.

එම්. උදිත සඳරුවන්
නවෝත්පාදක, ස්වාධීන පර්යේශක

advertistmentadvertistment
advertistmentadvertistment