කට්ටියම කළු අඳිද්දී ෆොන්සේකා සුදු ඇඳගෙන විධායක ජනපති ක්‍රමය ඉල්ලයි

579

ජනතා උද්ඝෝෂණ පවතින තැන්වල කඩාකප්පල් ක්‍රියා සිදුවීමට ඉඩ නොතබන ලෙසත් එවැන්නක් සිදු වීමට ඉඩදිය නොහැකි බැවින් යම් පාලනයක් අවශ්‍ය බවත් ආණ්ඩු පක්‍ෂ සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (21දා) පෙරවරු 10.00ට රැස්විණි.

ප්‍රථමයෙන් නිවේදන වාර්තා ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව වරප්‍රසාද ප්‍රශ්න සිදුකිරීම සිදුවිය. අනතුරුව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හතරක් ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව රට තුළ පවතින තත්ත්වය, පාස්කු ප්‍රහාරය සහ අදාළ බදු පනත් පිළිබඳව පක්‍ෂ විපක්‍ෂ මැති ඇමැතිවරු අදහස් පළ කළහ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර (සජබ)-

රඹුක්කන සිද්ධියේදී පොලිසියට වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කැබිනට් ඇමැතිවරුන් කිහිපදෙනෙක්.

ආණ්ඩු පක්‍ෂ සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග

ජනතාව කුපිතව උද්ඝෝෂණය කරන තැන්වලට හෙල්මට් දාගෙන ඇවිත් කඩාකප්පල් ක්‍රියා කරලා පලා යනවා. මෙවැනි දේ සිදුවීමට ඉඩ දෙන්න බැහැ. යම් පාලනයක් අවශ්‍යයි. මිනිස්සු අවුස්සලා පීඩාවට පත්වෙන ආකාරයට කටයුතු කරන්න එපා.

පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස ඉන්නවා කියපු සාරා ඉන්දියාවට පළාගියා. සාරා මැරිලා නැහැ කියලා ඩී.එන්.ඒ. පරීක්‍ෂණවලින් තහවුරු වී තිබෙනවා. ආණ්ඩුව ඇයව අල්ලන්න ජාත්‍යන්තර වරෙන්තු අරගෙන නැහැ. රිෂාඩ් බදියුදීන්, හිජාස් හිස්බුල්ලා යන අයව පාස්කු ප්‍රහාරයට පටලවන්න හැදුවා. ඒක බැරිවුණා. අධිකරණයෙන් නිදහස් වුණා. සහරාන්ගේ උපදේශකයෙකු නිදහස් කරලා අපේ ආණ්ඩුව ඔහුව රිමාන්ඩ් කළා. සහරාන් සමග හිටි දෙදෙනෙක් නිදහස් කරලා. නමුත් සහරාන් එක්ක කතා කරපු අය රිමාන්ඩ් කරලා. අපේ ආණ්ඩුව මේකේ ඇත්ත තත්ත්වය හෙළි කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මීට වසර තුනකට පෙර ම්ලේච්ඡ, නිහීන, නින්දිත ත්‍රස්ත ප්‍රහාරයකින් අපේ රටේ ආදරණීය ජනතාව ජීවිතක්ෂයට පත්වුණා. පවුල්වලට ස්වාමි පුරුෂයන්, බිරින්දෑවරුන්, දූ දරුවන් ඒ වගේම සහෝදර සහෝදරියන් අහිමි වුණා. මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය නිසා අපට රටක් හැටියට ඉමහත් හානියක් සිදුවුණා.

අපි මේ අවස්ථාවේ අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ට ගෞරවණීය ලිඛිත ප්‍රතිඥාවක් ලබාදෙනවා අපි මේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්, එයට සම්බන්ධ සියලුම කණ්ඩායම් විනිවිදභාවයෙන් යුක්තව වූ ස්වාධීන වූ අපක්ෂපාතී කාර්යක්ෂම පරීක්ෂණයක් හරහා අනිවාර්යයෙන්ම ඒ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එනවා පමණක් නොවේ ඔවුන්ට දෙන්නට පුළුවන් ඉහළම දඬුවම ලබාදීමට අපි පක්ෂයක් හැටියට සන්ධානයක් හැටියට අද දවසේ අද ශෝක දිනයේ ලිඛිතව ලබා දෙනවා එපමණක් නොවේ මම කැමති මේ අවස්ථාවේ ඒ ලිඛිත ප්‍රතිඥාව සහ පොරොන්දුව සභාගත කරන්න. විශේෂයෙන්ම හැන්සාඩ් ගත කරන්න.

කවුරු කැමති වුණත් අකමැති වුණත් පාස්කු ප්‍රහාරය පිටුපස ඒ සිදුවුණු ඒ ක්‍රියාදාමය ඒ සැලසුම් ඒ වැඩපිළිවෙල පිළිබඳව අද දැවැන්ත සැකයක් අවිනිශ්චිත භාවයක් අද කතෝලික ප්‍රජාව තුළත් ගරු කාදිනල් තුමා තුළත් වගේම අපි තුළත් රටේ සමස්ත ජනතාව තුළත් තියෙනවා. තවමත් සත්‍ය හෙළිදරව් වෙලා නැහැ. තවමත් සත්‍ය හෙළිදරව් වෙන්න ඉඩකඩක් නෑ. තවමත් ඇත්ත ඉදිරියට එන්න රජය ඉඩ තබන්නේ නෑ. මෙන්න මේ සැකය බරපතළ විදියට තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. මේ පිළිබඳ පැහැදිලිවම ප්‍රහාරය ක්‍රියාත්මක කරපු කණ්ඩායම් පිළිබඳ ශානි අබේසේකර මැතිතුමා ඒ පරීක්ෂණ කටයුතු කරන කොට එතුමව ඉවත් කළා. මාරුකරලා දැම්මා. එපමණක් නොවෙයි එතුමා ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරපු ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම තුළ වැදගත් කරුණු කාරණා රාශියක් හෙළිදරව් වුණා. ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳව ඒ බිහිවුණු කොමිසමේ ඒ වාර්තා අදටත් මේ රටේ පොදු ජනතාවට විවෘත නෑ. පාර්ලිමේන්තුවේ කොපියක් තියෙනවා පුස්තකාලේ. ඒකත් එක කට්ටලයක් පමණයි. මම යෝජනා කරනවා මේ අවස්ථාවේ ගරු කථානායකතුමාට මේ පාස්කු ප්‍රහාරයේ කොමිසමේ සියළුම වෙළුම් ටික පාර්ලිමන්ට් වෙබ්සයිට් එකට ඇතුල් කරන්න. අඩුම ගානේ ඒ යුක්තිය සාධාරණයවත් ඒ මියගිය, ඒ තුවාල වුණු අපේම රටේ ජනතාවට ඉෂ්ට කරන්නැයි කියලා මම ඉල්ලීමක් කරනවා.

දප්පුල ද ලිවේරා අපේ හිටපු නීතිපතිතුමා බොහොම පැහැදිලිව එතුමාගේ වචනයෙන් කියනව නම් මහා කුමන්ත්‍රණයක් මේ පිටුපස තියෙනවා කියලා ප්‍රකාශයට පත් කළා. මහා කුමන්ත්‍රණයක් මේ පිටුපස තිබෙනවා කියන කාරණාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි මේ රජයට වගකීමක් යුතුකමක් තියෙනවා ඒ සත්‍ය සොයා බලන්න. ඒ යුක්තිය සාධාරණත්වය ඉෂ්ඨ කරනවයි කියන 69 ලක්ෂය ජනවරම තුළ ඉන්පසුව මහ මැතිවරණයෙන් 68 ලක්ෂයක ජනවරම තුළ මේ බිහිවුණු ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ පාර්ලිමේන්තු කණ්ඩායම සංයුතිය තුළ ඔබතුමන්ලාගේ වගකීමක් යුතුකමක් තියෙනවා ඇත්ත හෙළිදරව් කරන්න. ඇත්ත කතා කරන්න. මේ කිසිම කෙනෙකුගේ සැකයට පාදක වන දෙයක් නොකර විනිවිද භාවයෙන් විවෘත භාවයෙන් ඒ වගේම සංවේදිභාවයෙන් මේ කටයුත්තට මුල පුරන්න.

අලුත් පරීක්ෂණයක් පවත්වන්න. ඒ අලුත් පරීක්ෂණයට ප්‍රවීණ රටම පිළිගන්න කණ්ඩායමක් පත් කරන්න. ඒ පරීක්ෂණයට මේ රටේ කතෝලික ප්‍රජාව නියෝජනය වන ආකාරයෙන් අති උතුම් කාදිනල් තුමා නියෝජනය වන ආකාරයෙන් ඒ සාමාජිකයෝ පත් කරන්න. ඒ කතෝලික සභාවත් සම්බන්ධ කරගන්න. මම ඒ අයට නැවත නැවතත් කියනවා සමගි ජන බලවේගය තුළ සමගි ජන බලවේග සන්ධාන ආණ්ඩුවක් තුළ අපි කිසිම කෙනෙක් ආරක්ෂා කරන්න රැකගන්නට යන්නෙ නැහැ. ඉතාමත්ම විනිවිද භාවයෙන් යුක්ත වූ පාරිශුද්ධ පරීක්ෂණයක් පවත්වන්නට අප මුල පුරණවා යැයි මතක් කරමින් ඇත්ත වශයෙන්ම දැඩි ශෝකාකූළ දවසක් ඒ මන්ද ත්‍රස්ත ප්‍රහාරයක් ක්‍රියාත්මක වීම තුළින් අදටත් අපට සත්‍ය සොයා ගන්නට බැරිවෙලා තියෙනවා. අදටත් ඇති තතු රටේ ජනතාවත් විශේෂයෙන්ම විපතට පත්වුණු පවුල්වලට දැනගන්නට බැරිවෙලා තියෙනවා. ඒ නිසා අපි අද අනිවාර්ය පොරොන්දුවක් අනිවාර්ය ප්‍රතිඥාවක් මේ සභාවට ලබා දෙනවා මේ ත්‍රස්ත මොලකරුවන් සොයාගන්නා වැඩසටහන මොනම හේතුවක් නිසාවත් දේශපාලනීකරණය කරන්නෙ නෑ. කිසිම දේශපාලනඥයකුට ඇඟිලි ගසන්නට අපි ඉඩ තබන්නේ නෑ. කිසිම කෙනෙක් බේරන්න කිසිම කෙනෙක් හිතා මතාම වැරදි ආකාරයකට අල්ල ගන්න බොරු චෝදනා දමලා අල්ල ගන්න ඒ වගේ වැරදි ක්‍රියාවන්වලට අපි මුල පුරන්නෙ නැහැ. සත්‍ය වශයෙන්ම යුක්තිය සාධාරණත්වය ඒ ප්‍රහාරයෙන් මියගිය ඒ සියලු දෙනාටම අපේ රජයක් තුළ සමගි ජන බලවේග සන්ධාන රජයක් තුළ අපි ඉටු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර (සජබ)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරනවා. මේ සඳහා විවාද කිරීමට අවස්ථාව ලබාදෙන්න.

අද වනවිට අටදෙනෙක් පෙට්‍රල් පෝලිම්වල මැරිලා. රඹුක්කනදී එක් අයෙක් වෙඩි තියලා මැරුවා. ජනාධිපති ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. ජනාධිපතිට අස්වෙන්න කිව්වම කැබිනට් එක අස්කරලා ටිකිරි කැබිනට් එකක් පත් කරලා.

1994 සිට ආපු හැම ජනාධිපතිවරයෙක්ම ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොරොන්දු වුණා. කවුරුත් ඉටුකළේ නැහැ.

20 සංශෝධනය ගෙනැවිත් විගණන කොමිසම අහෝසි කර හොරකමට ඉඩ දුන්නා. ඒ වගේම මෝඩ තීරණ රැසක් ආණ්ඩුව ගත්තා. ඉන් ජනතාව ඉතා අසීරුවට පත්වුණා.

රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ

පාස්කු ප්‍රහාරය ගැන බොරු කතා කියලා තවත් තලන්න එපා. පාස්කු බෝම්බය පිපිරිලා වසර එකහමාරකට පමණ තමයි ආරක්‍ෂක නිලධාරියන් මේ ප්‍රහාරය ගැන දනගත්තේ. තමුන්ගේ මතය, බොරුව සමාජගත කරන්න එපා කියලා විපක්‍ෂයෙන් ඉල්ලනවා.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාම යන වෙලාවේ කිව්වා කුමන්ත්‍රණයක් කිව්වා. ඔහු තමයි නඩු පැවරුවේ. ඒ නඩුවලට මොකද වෙලා තියෙන්නේ. දප්පුල පාර්ලිමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කිරීමට හැම පක්‍ෂයක්ම එකතු වෙන්න.

පත්කළ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු (සජබ) –

අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් දැඩි විවේචනයට ලක්වූ අයෙක් මම. තාත්තා කියපු ප්‍රකාශය නිසා මට ගැහුවා වටකරගෙන. කථානායකතුමා, මහින්ද රාජපක්‍ෂ මහතාත් දැනුම් දුන්න බව කිව්වා.

පාර්ලිමේන්තුවට වාර්තා දුන්නත් සම්පූර්ණ වාර්තාවක් දුන්නේ නැහැ. පිටු 70,000ක්. සහරාන් පාවිච්චි කරපු වාහනයේ නැගලා යන්න පොලිස් ඇමැතිට ලැජ්ජා නැහැ. ඇමැති පිළිගත්තා. නඩු භාණ්ඩයක් රාජසන්තක වූ පලියට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මිනී මරන්න ප්ලෑන් කරපු වාහනයක ඉඳගෙන යන්න පොලිස් ඇමැතිට හිරිකිත නැද්ද?

රටේ කරපු බොරුව චමුදිතට ගැහුවා තාම හොයා ගන්න බැහැ. බොරැල්ල පල්ලියේ සිද්ධියට අදට අත්අඩංගුවට ගත්ත කෙනෙක් නැහැ. ලංකා හොස්පිටල් එකේ බෝම්බයක් තිබ්බා පරීක්‍ෂණ තවම නෑ. ඔක්කොම නිර්මාණය කරපු තිර රචනයන්. රිෂාඩ් බදියුදීන්ට කරපු දේ බලන්න. මාස 6ක් හිරකර තිබ්බා නඩු නැහැ. අසාද් සාලි හිර කළා නිදහස් වුණා. ගෝඨාභය රාජපක්‍ෂට ගෙදර යන්න වී ඇත්තේ මේ සාපය නිසයි. ධාතුන් වැඩිම ප්‍රමාණයක් තියෙන ස්ථානයක් රුවන්වැලිසෑය. එතන දිවුරුම් දුන්නේ.

හැටනව ලක්‍ෂයක් ඡන්ද අරන් කවුද හිතුවේ වැටෙයි කියලා. මේ ආණ්ඩුවට යන්න කියලයි ජනතාව කියන්නේ. මහනාහිමිවරු ඇතුළු අති විශාල පිරිස ඉල්ලන්නේ ගෙදර යන්න කියලා.

නිලන්ත ජයවර්ධන ගැන අපි කියද්දී ආණ්ඩුව ඔහුව ආරක්‍ෂා කළා. අද ඔහු වැරැදියි කියනවා. තවම වෙන්නෙ ප්‍රෝඩාවක්. දෙවියො ඇත්ත එළියට පෙන්නලා. ඉබ්‍රහිම්ගේ වාහනය සී. අයි. ඩී යට දීලා. අපේ ආණ්ඩුවක් යටතේ වැරදි කරපු අයට දඬුවම් කරමු. අවශ්‍ය තීන්දු ගත්තෙ නැති නිසයි ජනපතිට එය පාරාවළල්ලක් වුණේ.

කවුරුවත් කියන දේ අහන්නේ නැති නම් අපි ඔක්කොම එළියට බැහැලා ගෙදර යන්න කියන්න වෙනවා.

පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් (සජබ)

පාස්කු ප්‍රහාරය නිසා ක්‍රිස්තියානි හා මුස්ලිම් ජනතාව අතර ගැටුමක් ඇතිවෙන්න ගිහින් කාදිනල්තුමා මැදිහත්ව එය වළක්වා ගත්තා. වින්දිතයන්ට යුක්තිය ඉටුකරන්න ලොව පුරා ඉල්ලීම් ඇතිවෙලා. ප්‍රහාරයේ පසුබිම් කතාව ගැන ලොව පුරා වෙන මතයක් පැතිරෙනවා. ඒ නිසා සත්‍ය හැකි ඉක්මණින් හෙළි වේවා.

තම පැවැත්ම මිස ජන ජීවිතය ගැන සැලකිල්ලක් නැති බවට පාර්ලිමේන්තුවට චෝදනා ඇවිත්. ඇයි මෙහෙම වෙන්නේ.

මිනිස්සු පාරට බැහැලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව තම දුක කියන්නයි. එහෙම නැතිව මන්ත්‍රීකම් ඉල්ලන්න නොවෙයි.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි – (සජබ)

පාස්කු ප්‍රහාරයට මුවා වී ආණ්ඩුව බලයට ආවා. අද එහි සාපය වැදී තිබෙනවා.

මේ රටේ දැවෙන අර්බුදයට සාධනීය යෝජනා ලබාදිය යුතුයි.

පාස්කු කොමිසමට එදා විපක්‍ෂය එකඟ වුණේ නැහැ. රාවුෆ් හකීම් කොමිසමේ ඉන්න විට විරුද්ධ වුණා. මෙහි සත්‍ය සෙවීම වසන් කරනවා.

රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු-

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස වෙනත් මතයක් සමග සිටි පිරිසක්. අපේ ආගම අනුව සිදුවිය යුත්තේ වැරදිකරුවන්ට දඬුවම් දීමයි. වෙනම මනස විකෘති කර ඇති නිසා යළි එවැනි දෙයක් ඇති නොවන තත්ත්වයක් ඇති කළ යුතුයි.

ලොව පුරා කතෝලික පල්ලිය හා මුස්ලිම් පල්ලිය අතර ප්‍රශ්න ඇතිවුණා. කාදිනල් හිමියන් අන්තවාදයට උඩගෙඩි දුන් අයත් සමග හිටිමින් වැඩකරනවා දැක්කා. උන්වහන්සේ ගැන ලොකු ගෞරවයක් තියෙනවා. සමහරු පරීක්‍ෂණ ගැන වැරදි දේ කියලා නොමඟ ඇරලා. අද සමහරු පුදුම ලෙස අසත්‍ය පතුරුවනවා. ගෝල්ෆේස් එකේ හඬ නඟන තරුණ පිරිස අතර අන්තවාදය පතුරුවන අය ඉන්නවා. ඇත්ත කාරණය තෝරාගෙන දඬුවම් දිය යුතුයි. දෙමළ වුවත්, මුස්ලිම් වුවත්, සිංහල වුවත් අන්තවාදයට ඉඩදිය යුතු නැහැ. සියලුදෙනා දේශපාලන වාසි ගන්නේ නැතිව බුද්ධිමත්ව කටයුතු කරන්න.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනුෂ නානායක්කාර (සජබ)-

හැමදාම රට බෙදුවේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන්, පුද්ගලික දේශපාලන වාසි ලබාගන්න. දිගනදී 2015 දී ගැටුම් ඇති කළේ ඡන්ද ගන්න. 2019 දී ජනාධිපතිවරණය ගැන සංගණන කළා. එහිදී සජිත් ඉදිරියෙන් සිටියා. ගෝඨාභය හිටියෙත් නැහැ.

පාස්කු ප්‍රහාරයට කිසිදු ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ සම්බන්ධයක් නැහැ කියලා තහවුරු වුණා. ආමි මොහිදින් අත්අඩංගුවට ගත් විට ඔහුව වෙනම පිරිසක් අරගෙන ගියා. හමුදාවේ බුද්ධි පිරිසක් මේ ප්‍රහාරයට සම්බන්ධයි කියලා පේනවා. නිලන්ත ජයවර්ධන සම්බන්ධ බව කලින් අපි කිව්වා දැන් එය තහවුරු වෙමින් පවතිනවා.

මහ මොළකරු සොයාගැනීම අපේ වෑයමයි. සියයට

60 ක් සිංහල ඡන්ද ගැනීමට රහසේ සිදුවූ කුමන්ත්‍රණයක්.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

පාස්කු ප්‍රහාරය ගැන මනුෂ කියපු කාරණා පොලිසියට හෝ එළියට ගිහින් කිව්වා නම් හොඳයි. මේ වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ ඇමැතිකම්වලට සූට් මහගෙන වෙන දේකට. අවංකවම වැරදිකරුවන් හොයන්න ඔවුන්ට වැඩක් නැහැ.

එදා නොගැළපෙන දීගයක් 2015 දී යහපාලනය කරගත්තා. දෙන්නා දෙපැත්තට ඇදගත්තා. මේ ප්‍රහාරය එහි ප්‍රතිඵලයක්. මේ අය එය පිළිගන්නේ නැහැ.

අද අර්බුදයෙන් රට බේරා ගැනීම සමහරුන්ගේ අපේක්‍ෂාව නොවෙයි. ඔවුන්ට ඕන විරෝධයෙන් ඇතිවන ගැටුම්වලින් මියයන අයගේ මිනී මතින් ජනපති වෙන්න, අගමැති වෙන්න. රට වෙනුවෙන් නොවෙයි ඔවුන් කතා කරන්නේ. ජනතාව කුපිත කරවන්නේ පුද්ගලික අවශ්‍යතාවයන් මතයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජයරත්න හේරත්-

අද ඇතිවී තිබෙන දැවෙන ප්‍රශ්නය විසඳීමට පක්‍ෂ විපක්‍ෂ සියලුදෙනාම එකතු වෙමු. පොඩි පොඩි ප්‍රශ්න

ගැන හිතන්න එපා. හදිසියේ මැතිවරණයකට ගියොත් කිසිවක් නොදන්න අය පාර්ලිමේන්තුවට ඒවි. එනිසා දැන් එකට එකතුවී රට ගොඩනඟා පස්සේ මැතිවරණයකට යමු.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර (ශ්‍රීලපොපෙ)-

පාස්කු ප්‍රහාරයට ආණ්ඩුවත් විපක්‍ෂයත් චෝදනා

කරගන්නවා. ඒයින් පීඩාවට පත් අයට සාධාරණයක් වන්නේ නැහැ. කළ යුත්තේ වැරදිකරුවන් සොයා දඬුවම් කිරීම පමණයි.

රටේ අර්බුදය ගැන පාර්ලිමේන්තුව රැස්වී කතා කළත් කිසිම විසඳුමක් ලැබී නැහැ. වියදම් වෙනවා පමණයි. කාලය ගතවෙනවා.

රසායනික පොහොර තහනම් කරන විට අපි කිව්වා අර්බුදයකට ලක්වෙනවා කියලා. අද මුලින්ම එළියට බැස්සේ ගොවියෝ. ආහාර හිඟයක් ඇති වන බව අපි කිව්වා. ආණ්ඩුවේ අය කිව්වා ඒක බොරු කියලා.

රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ-

පාස්කු ප්‍රහාරය නිසා රටේ සංචාරක ව්‍යාපාරය කඩාවැටුණා. පාස්කු ප්‍රහාරයේ ජනාධිපති වාර්තාව අද එළිදක්වා තියෙනවා. ඒ අනුව කටයුතු කළ යුතුයි. විපක්‍ෂය අද වෙන වෙන කතා කියනවා.

ගෝල්ෆේස් ඉන්න තරුණයන් ගැන කනගාටුයි. ඔවුන්ගේ පිටුපස විවිධ කල්ලි ඉන්නවා. රඹුක්කනදී රේල්පාර වැහුවා. මාර්ග වැහුවා. මේවා කරන්නන් හා පිටුපස ඉන්න අය ගැන බැලිය යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා-

අද රට බංකොළොත් කියලා ප්‍රකාශ වෙනවා. ආණ්ඩුවේ ඉදිරිපෙළ කට්ටිය පිටුපසට ගිහින් බී ටීම් එක මැච් එකට දාලා. අපි විපක්‍ෂය ලෙස අභියෝගයට මුහුණ දිය යුතුයි. ජනපති හා අගමැති ධුර තියෙනවා නම් සුළුතර ආණ්ඩුව හරි අපි භාර ගන්න කොන්දක් තිබිය යුතුයි.

පාර්ලිමේන්තු සති දෙකේම මඩ ගහගත්තා විතරයි. විපක්ෂය අභියෝග භාර ගත යුතුයි. රජය පෙරළීමට විශ්වාසභංග ගේන්න යනවා. එය ජය ගත්තත් එහාට යන වැඩපිළිවෙළක් මට පේන්නේ නැහැ.

ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන කතා කරනවා. පාසලක විදුහල්පති, ළමා අපචාරයක් වනවා නම් විදුහල්පති ධුරය අහෝසි කිරීම ද කළ යුත්තේ. ධුර අහෝසි කිරීමෙන් රටට සෙතක් වෙනවා කියලා මට පේන්නේ නැහැ.

මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි. ජනතාව සියයට 60 ක් පමණ ඉන්නේ ඒ මතයෙයි.

රඹුක්කන පොලිසිය සමග ගැටුමක් ඇවිළිලා නැහැ. බවුසරය උද්ඝෝෂකයෝම ආරක්ෂා කරලා. එතැනට ආපු එස්. එස්. පී. තමයි කැරලි මර්දන අංශය දාලා වෙඩි තියලා තියෙන්නේ. වහාම ආණ්ඩුව ඒ ගැන ක්‍රියාමාර්ග ගත යුතුයි.

පොලිසිය හා හමුදාව ජනතාවගේ පැත්තට තුවක්කු හරවන්න එපා. ආණ්ඩුව නොවෙයි, නීතියට අනුව ක්‍රියා කරන්න.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ (ශ්‍රීලපොපෙ)

එදා 2015 දී ජනපති බලය අගමැතිට දුන්නත් තමන්ට වැඩ කරන්න බැරි වුණා කියලා ජනපති කිව්වා. ජනපති බලය අගමැතිට දෙන්න කිව්වාට දැන් වැඩක් නැහැ.

පාර්ලිමේන්තුවේ සිදු කරන දේවලින් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. විදේශ ප්‍රේෂණ එවන අයට විශේෂ වැඩපිළිවෙළක් හදන්න කිව්වා. බලයට ආවම මොළේ නැහැ වගේ තමයි. පිරිවැටුම් බද්ද සියයට 1 කින් වැඩි කරන්න කිව්වාම සමහරු කැමැති වුණේ නැහැ. රට ස්ථාවර කරගන්න සාධාරණ බදු පැනවීමක් ඕන. පාලන මිල ඉවත් කිරීම තුළ කළුකඩ හැදුණා. එය වැරදි තින්දුවක්.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා (සජබ)

තවම පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණයක් ඉටු වී නැහැ. ලංකාව පුරාම දේවමෙහෙයන් තිබ්බා. කාදිනල්තුමා රජයට වගේම සියලු දෙනාට චෝදනා එල්ල කළා. ආණ්ඩුවෙන් වගේම අනෙකුත් හැම අංශයකින්ම පාස්කු වින්දිතයන්ට සාධාරණයක් ඉටු වුණේ නැහැ.

අද ආර්ථිකය අන්තයට කඩාවැටිලා. ජනතාව අසරණ වෙලා. මේ ආණ්ඩුවට කිසිවක් කරකියා ගත නොහැකි බවට පත්වෙලා.

කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් (ශ්‍රීලපොපෙ)

විවිධ අය මොනවා කිව්වත් ගෝඨාභය ජනපති විධායක බලතල අනවශ්‍ය ලෙස කිසිවිටෙකත් පාවිච්චි කර නෑ. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණවලට පූර්ණ ලෙස ඉඩ දුන්නා.

මනුෂ නානායක්කාර පාස්කු ගැන කියන කතා පට්ටපල් බොරු.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විජේදාස රාජපක්ෂ

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට තවමත් සාධාරණයක් ඉටු වුණේ නැහැ. අන්තවාදීන් රට ලේ විලක් කරන්න යනවා කියලා එදා මම කිව්වහම මාව දැඩි ලෙස විවේචනය කළා.

අද අපි ඉන්නේ ඉතා අමාරු තැනක. ආණ්ඩුව මෙහෙයවන්න ජනපති පත්වූ ගමන් පත්කර ගත්තේ පී. බී. ජයසුන්දර. මිලින්ද මොරගොඩ, අජිත් නිවාඩ් කබ්රාල් තනතුරුවලට දැම්මා. ඔවුන්ගේ දූෂණ ගැන දවසක් කියන්න පුළුවන්. ජනපති ගත්ත හැම තීරණයක්ම වැරදියි. එතුමන් අද පිළිගත්තා පොහොර ප්‍රශ්නය වැරදියි කියා. සීනි බදු වංචාව, සුදුලූනු වංචාව කෝටි ගණන් මුදල් නැති කළා. කෝ ජනපතිගේ නීතිය. මැදමුලන රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවක් මේ රටේ ජනතාවත් ජාත්‍යන්තරයත් පිළිගන්නෙ නැහැ. රටට මුදල් එවන්නෙත් නැහැ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර

ජනතාව විවිධ විරෝධතා කරනවා. සාධාරණ ප්‍රශ්න තියෙනවා. ඒවාට විසඳුම් දෙනවා වෙනුවට පාර්ලිමේන්තුව වෙනත් බහුබූත කරනවා. ජනතාවගේ ප්‍රශ්න පිටින් ජනාධිපති ආණ්ඩු පිහිටුවන්න උත්සාහ කරනවා. මෙයින් ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අත්‍යවශ්‍ය දේ ලබාදිය යුතුයි. ඉන් මෙහා වෙන විසඳුම් නැහැ.

පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂය බොරු මත පතුරුවනවා. අද එකදිගට එක මතයක් කීම නිසා සමහර ඒවා ඇත්ත කියලා හිතනවා.

රාජ්‍ය ඇමැති ඩී. වී. චානක

තෙල් මිල වැඩි වීමත් සමග භාණ්ඩ මිල වැඩි වුණා. ඒත් ධීවර ක්‍ෂේත්‍රයේ එහෙම නැහැ. මසුන් ලැබීම අනුවයි මිල තීරණය වන්නේ. ධීවර කර්මාන්තයට තෙල් මිල වැඩිවීම දැඩි ලෙස බලපාලා. ඒ නිසා ධීවරයන්ට මිල ගැලපුම් දීමනාවක් ලබාදීමට කටයුතු කරමින් යනවා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අනුප පැස්කුවල් (ශ්‍රීලපොපෙ)

දුෂ්කර අවස්ථාවකදී ජනතාවගේ හඬට කන්දීලා ප්‍රධාන පුටුවල වෙනස්කම් ජනපති සිදු කළා. දුෂ්කර වේලාවේදී දෙපැත්තට බෙදී ගහගන්නෙ නැතිව ජපානය වැනි රටවල පක්ෂ විපක්ෂ කණ්ඩායම් එකට වැඩ කරන ආකාරය බැලිය යුතුයි. අපි එකට වැඩ කළේ නැත්නම් 225 ම ගෙදර යන සටන් පාඨය තව ශක්තිමත් වේවි. බෙහෙත්, ගෑස්, ඉන්ධනවලට ප්‍රමුඛත්වය දීම අත්‍යවශ්‍යයි. මහ බැංකු අධිපතිගෙන් අවශ්‍ය උපදෙස් ලබාගත යුතුයි.

පාර්ලිමේන්තුව අද (22 දා) පෙරවරු 10.00 ට යළි රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment