කටාර් ගොඩනැඟිල්ලක් කඩාවැටී එක් ශ්‍රී ලාංකිකයෙක් මියයයි: තවත් අයෙක් අතුරුදන්!

151

කටාර් රාජ්‍යයේ, බින්ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැඟිල්ලක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් එක් ශ්‍රී ලාංකිකයකු ජීවිතක්‍ෂයට පත්වී තිබෙන අතර තවත් ශ්‍රී ලාංකිකයකු අතුරුදන් වී තිබේ.

මියගිය පුද්ගලයා 56 හැවිරිදි නිශ්ශංක සිල්වා නම් අයෙකි. ඔහුගේ පුත්‍රයා විසින් සිරුර හඳුනාගෙන තිබේ. අබ්දුල් රසාක් ජමීල් නම් 60 හැවිරිදි පුද්ගලයකුද මෙම අනතුර හේතුවෙන් අතුරුදන්ව සිටින බව, කටාර්හි සේවය කරන ඔහුගේ පුත්‍රයා විසින් තානාපති කාර්යාල නිලධාරීන්ට දැනුම් දී ඇත. මෙම පුද්ගලයන් දෙදෙනා කටාර්හි සේවයට ගොස් එම

ගොඩනැඟිල්ලේ නවාතැන් ගෙන සිට ඇත.

මෙම අනතුර පිළිබඳව වැඩිදුර කරුණු සොයා බැලීමට කටාර් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් මේ වන විටත් එම ප්‍රදේශයට පිටව ගොස් තිබේ.

කඩාවැටුණු ගොඩනැඟිල්ලේ සුන්බුන් අතරින් පවුල් දොළහකට අයත් සාමාජිකයන් බේරා ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්වී තිබේ. තුවාලකරුවන් නවදෙනකු මේ වනවිට කටාර් හි හමාද් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

කටාර් රාජ්‍යයේ විදේශ ශ්‍රමිකයන් වැඩි පිරිසක් සේවය කරන අතර, 2023 වසරේදී ශ්‍රී ලාංකිකයන් 13,042 දෙනකු කටාර්හි රැකියාව සඳහා පිටව ගොස් ඇත. ලක්‍ෂයකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ වන විට කටාර්හි

රැකියාවේ නිරත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment