කටා රොෂාන්ගේ ඝාතකයන්ට උසාවි යද්දී වෙඩි පිට වෙඩි

1024

ලෙයට ලෙයින් පලිගන්නා දකුණේ නොනවතින කුඩු යුද්ධය

රොෂාන් ද සිල්වා දකුණු පළාත පුරා කූප්‍රකටව සිටියේ ‘කළු රොෂාන්’ යන අන්වර්ථ නාමයෙන්ය. හික්කඩුව කළුපෙ ප්‍රදේශය සිය වාස භූමිය කරගෙන සිටි කළු රොෂාන්ගේ මව පියා ඇතුළු පවුල ම කුඩු පවුලක් යැයි කීවොත් වඩා නිවැරදිය.

කළු රොෂාන්ගේ පියා ලෙස්ටර් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට වැරදිකරුව මරණ දඬුවම ලබා වැලිකඩ ආණ්ඩුවේ බෝඩිමට ගියේ මීට වසර ගණනාවකට පෙරය. වැලිකඩ බන්ධනාගරයේ පැවැති කැරැල්ල අවස්ථාවේ ආරක්‍ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් ලෙස්ටර් අවසන් ගමන් ගියේ මිහිපිටදීම තමන් කළ වැරදිවලට දඬුවම් විඳිමින්ය.

කළු රොෂාන්ගේ මව රුක්මණී මේ වනවිට ජීවත් වන්නේද වැලිකඩ බන්ධනාගාරයේය. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අච්චු විඳිමින්ය. කළු රොෂාන්ට සොහොයුරියන් තිදෙනෙකු සහ එක් සොහොයුරෙකි. ඉන් බාල සොහොයුරිය සිඟිති ය. සුරූපී තරුණියක වූ සිඟිති මේ වනවිට සිය සොහොයුරාගේ අඩිපාරේ යමින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධවී සිටියි.

අනෙක් සොහොයුරිය හික්කඩුවේ කවුරුත් හඳුනන්නේ කෙල්ල කොල්ලා කියායි. ඒ ඇය කෙල්ලක වුවද කොල්ලකු ලෙස හැසිරෙන නිසාය.

කළු රොෂාන් ළාබාල වයසේ සිට ම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී සිටියේය. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට බන්ධනාගාර ගතව සිටිය දී කළු රොෂාන්ට වර්තමාන පාතාලයේ ගෝර්ඩ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ් දැන හඳුනාගන්නට ලැබුණේය. අංගොඩ ලොක්කා ඇතුළු පාතාලයේ කෙළිකාරයන් කීපදෙනෙකුම සිය සමීප මිතුරන් බවට පත්වූයේ කළු රොෂාන්ගේ ජීවිතය උඩුයටිකුරු කරමින්ය. ‘රොෂාන් මල්ලී උඹ අපේ බිස්නස් එකට සෙට් වෙනවා වගේ පේනවා. අපිත් එක්ක වැඩකන්න වරෙන්. මම උඹව ගොඩදාලා දෙන්නම්…’ මාකඳුරේ මධුෂ් කළු රොෂාන් සිය මත්ද්‍රව්‍ය ජාවාරමේ කොටස්කරුවකු කර ගන්නේ ඔහු ඊට දක්‍ෂයකු බව පෙනී ගිය නිසා ය. මුලදී කුඩා ප්‍රමාණයෙන් ව්‍යාපාර කළ ද පසුකාලීනව මධුෂ්ගෙන් ලැබුණු හෙරොයින් තොග පිටින් විකිණීම කළු රොෂාන් ජයට ම කරගෙන ගියේය.

මාකඳුරේ මධුෂ් අංගොඩ ලොක්කා ඇතුළු පාතාලයේ මැරයන් ඇසුරට වැටීමත් සමගම කළු රොෂාන් වෙනස් චරිතයක් බවට පත් වන්නට පටන් ගත්තේය. ගමේ කොල්ලන්ට පහර දෙමින් විවිධ හිංසනයන්ට ලක් කරමින් චණ්ඩියකුගේ චරිතයට පණ පොවන්නට කළු රොෂාන් කටයුතු කළේය. මේ නිසා ම ළඟින් සිටි බොහෝ දෙනෙකු ඔහුගෙන් ඈත්වන්නට පටන් ගත්හ. මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට පමණක් නොව, ඔහුගේ නියෝග මත විවිධ අපරාධවලට ද සම්බන්ධ වන්නට කළු රොෂාන්ට සිදුවිය.

‘රොෂාන් මල්ලී අපේ පොඩි වැඩක් තියෙනවා උඹ සපෝර්ට් එක දෙන්න ඕනේ. උඹ දන්නවනේ සමයං එක්ක අපිට ලොකු ඇරිස් එකක් තියෙනවා ඌව අයින් කරලා දාන්න අපි ප්ලෑන් කරන් ඉන්නේ. මේ වැඩේට හොඳ ෆිට් කොල්ලෝ ටිකක් ඕනේ. අපි උඹවත් මේ වැඩේට සම්බන්ධ කර ගන්නවා.‘

කටා රොෂාන්ගේ ඝාතකයන්ට උසාවි යද්දී වෙඩි පිට වෙඩි
ඝාතනයට ලක්වූවන් පැමිණී යතුරුපැදිය

සමයං ඝාතන සැලසුම ඩුබායි සිට මෙහෙය වූ මාකඳුරේ මධුෂ් කළු රොෂාන්ට දුරකථනයෙන් කතා කර ඔහු ද ඊට සම්බන්ධ කර ගත්තේය. පාතාලයට කෙරුම්කාරයකු වීමේ සිහින දකිමින් සිටි කළු රොෂාන් ඊට එකපයින් කැමැති වුණේය. මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ම ප්‍රතිවාදියකු බවට පත්ව සිටි රණාලේ සමයං ඝාතනයට කළු රොෂාන් සම්බන්ධ වුණේය. කළුතර එතනමඩල දී බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරීම සඳහා අංගොඩ ලොක්ක ඇතුළු පාතාල මැරයන් රැගත් වෑන් රථය පැදෙව්වේ කළු රොෂාන්ය.

බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කර සමයං ඇතුළු 7 දෙනෙක් ඝාතනය කිරීමෙන් පසුව සමයංගේ සිරුර බස් රථයෙන් බිමට ඇද දැමුවේ ද කළු රොෂාන්ය. මෙම සිද්ධියෙන් පසු අංගොඩ ලොක්කා ඉන්දියාවට පළා ගිය අතර කළු රොෂාන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත් වූහ.

දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටි කළු රොෂාන් නැවත හික්කඩුවට එන්නේ පාතාලයේ මහා චණ්ඩියකු ලෙස ය. කාලයක් තිස්සේ තමන් සමග එකට සිටි මිතුරන්ට පවා චණ්ඩි පාර්ට් දැමූ කළු රොෂාන් මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන යන්නට පටන් ගත්තේය. කුඩු චූටි, ප්‍රසන්න මෙන්ඩිස්, ඉසුරු ප්‍රසන්න මෙන්ම කළු රොෂාන් සමීපව ඇසුරු කළ බොහෝ දෙනෙකු ඔහුගෙන් ඈත් වන්නට පටන් ගන්නේ මේ චණ්ඩි පාර්ට් නිසාය.

රොෂාන් දඟලනව වැඩියි. ඌ කවද හරි අපේ බඩටත් ගහලා බිස්නස් එකත් නැති කරනවා. ඒ නිසා ඌට ඔළුව උස්සන්න දෙන්න හොඳ නැහැ. රොෂාන්ට විරුද්ධව කැරලි ගැසූ කුඩු චූටි ඇතුළු පිරිසක් පොලිසියට ඔහු කොටුකර දුන්නේය. හෙරොයින් සමග අත්අඩංගුවට පත්වූ කළු රොෂාන්ට මාස ගණනක් නැවත ආණ්ඩුවේ බෝඩිමේ ලගින්නට සිදුවුණේය.

තමන් පොලිසියට කොටුකර දුන්නේ ගමේ එකට කුඩු බිස්නස් කරන සමීප මිතුරන් බව දැනගන්නට කුඩු රොෂාන්ට වැඩි කාලයක් ගතවුණේ නැත. රොෂාන් බන්ධනාගාරයේ සිටිය ද ඔහුගේ කුඩු ව්‍යාපාරය ඒ අයුරින්ම පවත්වා ගෙන ගියේය. තම බාල නැඟණිය ‘සිඟිති‘ කුඩු ව්‍යාපාරයට සම්බන්ධ කරගෙන සිටි රොෂාන් කුඩු මුදල් පරිහරණය ඇයට භාර කළේය. ඇපමත නිදහස ලබා හික්කඩුවට පැමිණි කළු රොෂාන් තවත් දරුණු වන්නට පටන් ගත්තේය. තමන් පොලිසියට කොටුකර දීමට කටයුතු කළ පිරිසට පාඩමක් ඉගැන්වීමට ඔහු අමතක කළේ නැත.

කළු රොෂාන් සහ කුඩු චූටිගේ පාර්ශ්වය අතර ගැටුම් ආරම්භ වන්නේ එතැන් සිට ය. 2019 වර්ෂයේ සිට ඇතිවූ මේ ආරවුල් ටිකෙන් ටික දුරදිග යන්නට විය.

‘ගමේ උන් දන්නේ නැහැ රොෂාන් කියන්නේ කවුද කියලා. මධුෂ් අයියා අංගොඩ ලොක්කා ඕනෙ වෙලාවක ඉන්නව මාත් එක්ක. මම මේ ගමේ චණ්ඩින්ට හොඳ පාඩක් උගන්වනවා. කළු රොෂාන් තම ප්‍රතිවාදීන්ට දිගින් දිගට ම බැන තර්ජනය කරන්න වුණේය. කළු රොෂාන් විවාහ වී සිටියේ පියුමි සමග ය. මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරියක වූ පියුමි පසුකලෙක රොෂාන්ගේ නීත්‍යනුකූල බිරිඳ වූවා ය. කළු රොෂාන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම ජයට ම කරගෙන ගිය පියුමි කෙටි කාලයකින් ලොකු සල්ලිකාරියක් බවට පත් වූවාය.

කළු රොෂාන්ගේ ජීවිතය කණපිට පෙරළුණු සිදුවීම වන්නේ ඔය අතර තුරදී ය. ඒ මාකඳුරේ මධුෂ් කොළඹ දී ඝාතනයට ලක්වීමත් සමගය. අංගොඩ ලොක්කා ද ඉන්දියාවේ දී මියගිය අතර කළු රොෂාන්ගේ සමීප මිතුරන් වූ පාතාල කෙරුමන් එකා දෙන්නා අවසන් ගමන් ගියහ. මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ හයිය පෙන්වමින් ගමේ තරුණයන් මට්ටු කළ කළු රොෂාන් ඒ වනවිට පස්ස බිම ඇනගෙන සිටියේය. කළු රොෂාන්ගේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටි කුඩු චූටි ඇතුළු පිරිස ඒ වනවිට ක්‍රියාත්මක වෙමින් සිටියහ.

‘රොෂානයාගේ චණ්ඩි පාර්ට් දැන් ඉවරයි. ඌ හිතාගෙන හිටියේ හැමදාම අපිව මට්ටු කරන්න. වැඩි දවස් යන්න ඉස්සර මූට පාඩමක් උගන්වන්න ඕනේ.

කුඩු චූටි ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිස කළු රොෂාන් පරලොව යැවීම පිළිබඳව සාකච්ඡා කළේය. රොෂානයා දන්නවා දැන් මිනිහව ත්‍රෙට් එකක් තියනව කියලා. ඒ නිසා මිනිහා වැඩිය ඇවිදින්න යන්නෙ නැහැ. වැඩේ හරියට ප්ලෑන් කරලා කළේ නැත්නම් රොෂානයා පනිනවා. කළු රොෂාන් මරා දැමීම කළ යුතු ආකාරය ගැන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විවිධ අදහස් පළ කළෝය.

කටා රොෂාන්ගේ ඝාතකයන්ට උසාවි යද්දී වෙඩි පිට වෙඩි

‘රොෂාන්ගේ යාළුවෙක් දම්මලා මිනිහට කතා කරමු. පාර්ටියක් තියෙනවා එන්න කියලා. කොහෙ හරි තැනකට ගෙන්නලා අපි මිනිහට වැඩක් දෙමු. අවසානයේ කළු රොෂාන් ඝාතනය සඳහා සැලසුමක් සකස් කෙරිණි.

2021 වර්ෂයේ දෙසැම්බර් 20 වැනිදා ඝාතන සැලසුම ක්‍රියාත්මක විය. කළු රොෂාන්ගේ මිතුරකු ඔහුට දුරකථන ඇමතුමක් දුන්නේය. මචං අද හවස අපි සෙට් වෙනවා කාලෙකින් උඹත් එක්ක සෙට්වෙන්න බැරිවෙච්ච නිසා අද අමතක නොකර වරෙන්. අපිට කතා කරන්නත් ගොඩක් දේවල් තියෙනවා. තම සමීප මිතුරාගේ ආරාධනය ඉවත දැමීමට කළු රොෂාන්ට සිත් දුන්නේ නැත. තමන් මේ යන්නට සූදානම් වන්නේ අවසන් ගමන් බව ඔහු සිහිනයකින් හෝ සිතුවේ ද නැත.

හික්කඩුව තලාගස්දෙණිය කැලෑ ප්‍රදේශයක සාදය සූදානම් කර තිබුණේය. කළු රොෂාන් සිය යතුරු පැදියේ නැඟී මත්පැන් සාදය වෙත ආවේ තනිවම ය. ඒ වනවිට කුඩු චූටි, ප්‍රසන්න මෙන්ඩිස්, ඉසුරු, ප්‍රසන්න ඇතුළු හය දෙනෙකු මත්පැන් සාදය සඳහා එක්ව සිටියහ. සාදයේ මිතුරන් අතර තම වෛරකාරයන් ද සිටිනු දුටු කළු රොෂාන් තරමක් තැති ගත්තේය. එහෙත් ඒ බවක් ඔහු කිසිවකුටත් පෙන්නුවේ නැත. සාදය ඇරඹී වැඩි වේලාවක් ගත වුණේ නැත. ප්‍රසන්න මෙන්ඩිස්, ඉසුරු ප්‍රසන්න ඇතුළු කීපදෙනෙකු කළු රොෂාන් සමග පැටලුණේය. උඹ අපිත් එක්ක එකට හිටිය එකා. මධුෂ්ලා එක්ක සෙට් වුණාට පස්සේ උඹ අපට ගේම දෙන්න හැදුවා…

කතාව දිග් ගැස්සුණේය. කොහේදෝ සිට එළියට ආ ගල්කටස් තුවක්කුවක් එක්වරම ක්‍රියාත්මක වුණේය. කළු රොෂාන්ගේ පාදයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ඔහු බිම ඇද වැටී දඟලන්නට වුණේය. ඒ සැණින් ක්‍රියාත්මක වූ ප්‍රසන්න මෙන්ඩිස් ඉසුරු ප්‍රසන්න ඇතුළු කීපදෙනෙකු තියුණු ආයුධවලින් කළු රොෂාන්ව නො නවත්වා පහර දුන්හ. විනාඩි කීපයක් ගත වුණේ නැත. කළු රොෂාන්ගේ නිසල සිරුර හික්කඩුව තලාගස්දෙණිය පොළොව සිප ගත්තේය. කළු රොෂාන් ඝාතනය කළ ප්‍රසන්න මෙන්ඩිස් ඉසුරු ප්‍රසන්න් ඇතුළු පිරිස පලා ගියේ කාලයක් තිස්සේ පැවැති මහා හිසරදයක් නිමවූ බවට සැහැල්ලු සිතින්ය. කළු රොෂාන් ඝාතනය කළ පුවත සැලවීමත් සමග හික්කඩුව ගිනි ගත්තේය. කළු රොෂාන්ගේ බිරිඳ, නැඟණිය ඇතුළු ඥාතීන් විලාප නඟමින් කෑ ගැසුවේ ලෙයට ලෙයින් පළිගන්නා බව කියමින්ය. රොෂාන් ඝාතනයෙන් පසු ඔහුගේ බිරිඳ පියුමි, නැඟණිය වන සිඟිති සහ කෙල්ල කොල්ලා එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමට නැවතත් පණ දුන්නේය. කළු රොෂාන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසන්න මෙන්ඩිස්, ඉසුරු ප්‍රසන්න ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට පත්වූහ. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කළු රොෂාන්ගේ බිරිඳ පියුමි ද පොලිසියට කොටු වූවාය.

ඒ වනවිට කළු රොෂාන්ට දාව පියුමිට දරුවකු විය. ඒ දරුවා සිය ඥාතිවරියක සමග කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසයක් කුලියට ගෙන එහි නතර කර තැබීමට පියුමි කටයුතු කර තිබිණි. කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පියුමි බන්ධනාගාර ගත කෙරිණි. කුඩු රොෂාන්ගේ මත්කුඩු ජාවාරම ජයට ම කරගෙන යෑමේ කාර්ය ඒ වන විට භාරගෙන සිටියේ සිඟිතිය. තම සොහොයුරා ඝාතනය කිරීම කෙරෙහි සිඟිති මෙන්ම පවුලේ සාමාජිකයන් සිටියේ දැඩි වෛරයෙන් යුතුවය. බන්ධනාගාර ගතව සිටි පියුමිට අවශ්‍යවී තිබුණේ ද තම සැමියා මරා දැමූ පුද්ගලයන්ගෙන් ලෙයට ලෙයින් වන්දි ගැනීමට ය. බන්ධනාගාරයේ සිටි පියුමි රොෂාන්ගේ නැඟණිය සිඟිතිට නිතර නිතර දුරකතනයෙන් කතා කළා ය.

රොෂාන් අයියා මරපු උන් දෙන්නා එළියට ආව ගමන් උන්ව ඉවරයක් කරලා දාන්න ඕනේ. ඕකුන් මරණ කල් මට නින්ද යන්නේ නැහැ පියුමි සිඟිති සමග මේ ගැන නිතර නිතර කීවාය. ‘හරි අක්කේ උන් ආව ම අපි බලාගමු. මට ඕකුන්ව නැති කරලා දානකල් ඉස්පාසුවක් නැහැ. අපේ අයියා අපිට රජෙක්… උන් අයියව විනාශ කළේ සිඟිති ද පියුමිගේ කීම අනුමත කරමින් කීවාය. මාස 06කට වැඩි කාලයක් බන්ධනාගාර ගතව සිටි ප්‍රසන්න මෙන්ඩිස් සහ ඉසුරු ප්‍රසන්න ඇප මත මුදාහැරීමෙන් පසු නැවත ගම් බිම් බලා ආවෝය. කළු රොෂාන් මරා දැමූ දෙදෙනකු ඇප මත පැමිණි බව සැලවීමත් සමගම ඔහුගේ පවුලේ සාමාජිකයන් කුලප්පු වූහ. බන්ධනාගාරයේ සිටි පියුමි සිඟිතිට දුරකථනයෙන් කතා කළා ය.

සිඟිති අන්න අරුන් දෙන්නා එළියට ආවා. වැඩි දවස් යන්න ඉස්සර උන් දෙන්න අවසන් ගමන් යන්න ඕනේ. මම සේරම ලෑස්ති කරන්නම්. ඔයාට තියෙන්නේ එළියේ ඉඳලා කරන වැඩ ටික කරන්න. පියුමි කීවාය. වෛරය පළිගැනීම ඒ වනවිට සිඟිතිගේ සිත ගිනියම් කර තිබිණි. මුදලට මිනී මැරීම සිය ප්‍රධාන ආදායම් මාර්ගය කරගෙන සිටින කරන්දෙණියේ සුද්දා මේ වනවිට සිටින්නේ කටාර් රාජ්‍යයයේය. කරන්දෙණියේ සුද්දාට හිත මිතුරන් නැත. පාතාල කල්ලියක් ද නැත. මුදල් කොන්ත්‍රාත්තුවක් මත ඕනෑම අයකු ඝාතනය කිරීම මේ පාපතර මැරයාගේ හැටිය. බන්ධනාගාරයේ සිටින පියුමි දැඩි වෙහෙසක් ගෙන කෙසේ හෝ කරන්දෙණියේ සුද්දා සම්බන්ධකර ගත්තා ය. මාකඳුරේ මධුෂ් සමග කාලයක් තිස්සේ තිබූ සම්බන්ධතා නිසා පියුමි කරන්දෙණියේ සුද්දා ද දැන සිටියාය.

‘අයියේ මම කළු රොෂාන්ගේ වයිෆ්. මට තියෙනවා අයියට ලොකු වැඩක් භාර දෙන්න. උන් මගේ මිනිහව තිරිසනෙක් වගේ මරලා දැම්මා. කීයක් ගියත් කමක් නැහැ, මට දෙන්නෙක් ඉන්නවා පරලොව යවන්න. මේ වෙලාවේ මට උදව් කරන්න. පියුමි කරන්දෙණියේ සුද්දා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන කීවාය. මුදලට තම මව පියා හෝ ඝාතනය කරන තත්ත්වයේ අවජාතකයකු වූ කරන්දෙණියේ සුද්දා දෙවරක් නොසිතාම මේ කොන්ත්‍රාත්තුව භාර ගත්තේය.

දෙන්නෙක් නිසා ටිකක් ලොකු ගාණක් ගන්න වෙනවා. නංගිට නිසා මං සාධාරණයක් කරන්නම් ලක්‍ෂ 75කට වැඩේ ඉවර කරමු.

කරන්දෙණියේ සුද්දා කොන්ත්‍රාත්තුව භාර ගනිමින් කීවේය. තම සැමියා ඝාතනය කිරීම පිළිබඳව දැඩි වෛරයකින් පසුවූ පියුමි ඊට දෙවරක් නොසිතාම එකඟ වූවාය. පියුමි එදිනම සිඟිතිට දුරකථනයෙන් කතා කළාය. නංගී ඔන්න වැඩේ සෙට් කළා. අරුන් දෙන්න පරලොව යවන්න සේරම ලෑස්ති කළා. අපට තියෙන්නේ ලක්‍ෂ 75ක් හොයා ගන්න. කොහොම හරි සල්ලි ටික ලෑස්ති කරගන්න පියුමි කීවාය. සොහොයුරා ඝාතනය කළ පුද්ගලයන්ගෙන් පළිගැනීමට ලැබීම ගැන සිඟිති දැඩි ලෙස සතුටු වූවාය. එහෙත් එකවරම රුපියල් ලක්‍ෂ 75ක් හොයන්නේ කෙසේදැයි ඇය දස අතේ කල්පනා කරන්නට වූවාය.

‘අක්කේ අයියා මගේ නමට ගත්ත ඉඩමක් තියෙනවා පොඩි ගේකුත් එක්ක අපි ඒකවත් විකුණලා සල්ලි ටික හොයාගමු. සිඟිති බන්ධනාගාරයේ සිටින පියුමිට කීවාය. ඇයත් ඊට එකඟ වූවාය. කළු රොෂාන් තමන්ගේ නමට මිලදීගෙන තිබූ ඉඩම් කැබැල්ලක් හා නිවසත් විකුණා මුදල් ලබාගැනීමට සිඟිති කටයුතු කළා ය. එහෙත් ඒ නිවස සහ ඉඩම අලෙවි වුණේ රුපියල් ලක්‍ෂ 25කට ය.

අක්කේ ඒ ඉඩම විකුණලා ගන්න පුළුවන් වුණේ ලක්‍ෂ 25 යි. අපි ඉතුරු සල්ලි ටිකත් කොහොම හරි හොයලා දෙමු. මේ දවස්වල බිස්නසුත් වැටිලා සිඟිති සිය නෑනණ්ඩිය වූ පියුමිට කීවාය. ඝාතනයෙන් පසු ඉතිරි මුදල් ලබාදෙන පොරොන්දුව මත රුපියල් ලක්‍ෂ 25ක් කරන්දෙණියේ සුද්දාගේ බැංකු ගිණුමක තැම්පත් කිරීමට සිඟිති කටයුතු කළාය.

කළු රොෂාන්ගේ ඝාතන නඩුව ගාල්ල අධිකරණයේ විභාගයට ගැනීමට නියමිතව තිබුණේ ඔක්තෝබර් 31 වැනිදා ය. එදින ප්‍රසන්න මෙන්ඩිස් සහ ඉසුරු ප්‍රසන්න ගාල්ල අධිකරණයේ පෙනී සිටීමට නියමිතව සිටියහ.

කරන්දෙණියේ සුද්දා සිය ගෝල බාලයන් ඔත්තු බැලීමේ කාර්ය සඳහා යෙදෙව්වේය. අළුගෝසුවන් කුලී පදනම මත ලබාදී මුදල් ඉපයීමේ කාර්යයට ප්‍රසිද්ධ ගණේමුල්ලේ සංජීව නමැති පාතාල මැරයා සම්බන්ධ කරගත් කරන්දෙණියේ සුද්දා කුලී ඝාතකයන් දෙදෙනකු සම්බන්ධ කර ගත්තේය.

දකුණේ මිනිස් ඝාතන සඳහා යොදවා සිටි මැරයන් දෙදෙනකු ගණේමුල්ලේ සංජීව විසින් සුද්දා වෙත භාර දුන්නේය. මුදල් කොන්ත්‍රාත්තුවට පොරොන්දු වෙමින්ය.

ප්‍රසන්න මෙන්ඩිස් සහ ඉසුරු ප්‍රසන්න ඝාතන සැලසුම ඒ ආකාරයට ක්‍රියාත්මක වෙමින් තිබුණේය. ඉසුරු ප්‍රසන්න, ප්‍රසන්න මෙන්ඩිස්ගේ ඥාති පුත්‍රයෙකි. මොවුන් දෙදෙනා ද නිතර නිතර ම කළු රොෂාන්ගේ පහරකෑමේ සහ හිංසනයට ලක් වූවන්ය. මත්ද්‍රව්‍ය ජාවාරම් මුල්කරගෙන මේ දෙපාර්ශ්වය අතර ඇතිවී තිබූ ගැටුම් ඉතාම දරුණු අතට හැරෙමින් තිබුණේය. කළු රොෂාන්ගේ පාර්ශ්වය තමන් ඝාතනය කිරීමට සැලසුම් කරගෙන සිටින බව ප්‍රසන්න මෙන්ඩිස් මෙන්ම ඉසුරු ප්‍රසන්නද හොඳින් දැන සිටියහ.

ඒ වනවිට ප්‍රසන්න මෙන්ඩිස්ගේ ඥාති පුත්‍රයකු ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටියේය. කළු රොෂාන්ගේ බාල සොහොයුරා ද ඒ වනවිට සිටියේ ගාල්ල බන්ධනාගාරයේය. දිනක් ප්‍රසන්න මෙන්ඩිස්ගේ ඥාති පුත්‍රයාට රොෂාන්ගේ සොහොයුරා හමුවුණේය.

‘අපේ අයියා මරාදාපු නඩුව තියෙන්නේ 31 වැනිදා. එදාට හොඳ හොඳ සෙල්ලං බලා ගනිල්ලා. නඩුව දවසෙම උඹලගෙ සෙට් එක පරලොව යවනවා උන්ට කියපං පරිස්සම් වෙලා ඉන්න කියලා… රොෂාන්ගේ සොහොයුරා ප්‍රසන්න මෙන්ඩිස්ගේ ඥාති පුත්‍රයාට කීවේය. මෙය නිකම්ම නිකන් තර්ජනයක් නොවන බව හොඳින් තේරුම් ගත් ප්‍රසන්න මෙන්ඩිස්ගේ ඥාති පුත්‍රයා එදිනම නිවසට පණිවිඩයක් යැව්වේය.

‘අපිට හැමදාම මෙහෙම හැංඟි හැංඟී ඉන්න බැහැ. කළු රොෂාන් ජීවත්වෙලා ඉන්නකල් අපිට ඉන්න දුන්නේ නැහැ. මගේ ලොකු පුතාට ගැහුවා. පොඩි පුතා කපලා කොටලා සදාකාලික අබ්බගාතයෙක් කළා. ඌ මැරිලවත් අපිට සහනයක් නැහැ ප්‍රසන්න මෙන්ඩිස් කෝපයෙන් ගෑ ගැසුවේය.

උසාවි යන්න ඉස්සර හික්කඩුව පොලිසියට පැමිණිල්ලක් දාන්න ඕනේ. නැත්නම් මුන්ගෙන් ගැලවිල්ලක් නැහැ. ඔක්තෝබර් 31 වැනිදා ගාල්ල උසාවියට යෑමට හික්කඩුව පොලිසිය වෙත මතු ආරක්‍ෂාව සඳහා පැමිණිල්ලක් කිරීමට ප්‍රසන්න මෙන්ඩිස් සූදානම් වුණේය. එදින උදෑසන ප්‍රසන්න සහ ඉසුරු යතුරුපැදියේ නැඟී හික්කඩුව පොලිසිය වෙත ගියේ එල්ලවී තිබෙන මරණීය තර්ජන හමුවේ පැමිණිලි කිරීමට ය. ඔය මරණ තර්ජන ගැන මෙහෙ පැමිණිලි කරන්න බැහැ මිටියාගොඩ පොලිසියට යන්න.

හික්කඩුව පොලිසියෙන් ලැබුණේ එවැනි පිළිතුරකි. මිටියාගොඩ පොලිසියට යෑමට වේලාවක් නැත. ගාල්ල අධිකරණයේ විභාග වන නඩුවට ඉදිරිපත් විය යුතුය. එසේ සිතූ ප්‍රසන්න මෙන්ඩිස් සිය ඥාති පුත්‍රයා ද සමග හික්කඩුව පොලිසියෙන් පිට වූහ.

මාරයා තමන් එන තුරු දත් විලිස්සාගෙන සිටින බව මොවුන් දෙදෙනා දැන සිටියේ නැත. හික්කඩුව පොලිසිය පසුකර තිරණගම ප්‍රදේශයට ළඟාවූ යතුරුපැදිය තවත් වේගවත් කිරීමට ප්‍රසන්න මෙන්ඩිස් කටයුතු කළේ හැකි ඉක්මනින් අධිකරණය වෙත යන අටියෙන්ය.

එහෙත් මාරයා ඊට වඩා වේගවත් වුණේය. ප්‍රසන්න මෙන්ඩිස් සහ ඉසුරු ප්‍රසන්න ලුහුබැඳ ආ කුලී ඝාතකයන් දෙදෙනා දෙනෝදාහක් දෙනා බලා සිටියදී ටී 56 අවිය ක්‍රියාත්මක කළෝය. මුළු ප්‍රදේශයම දෙදරුම් කවමින් පිටවූ ටී 56 උණ්ඩ වරුෂාවක් ප්‍රසන්න මෙන්ඩිස්ගේ සහ ඉසුරු ප්‍රසන්නගේ සිරුරු විනිවිදව ගියේය. ගාලු පාර රුධිර ගංගාවක් කරමින් මොවුන්ගේ නිසල සිරුරු බිම ඇද වැටුණේය.

සිය ඉලක්කය නිවැරදිව සපුරා ගත් කුලී ඝාතකයන් දෙදෙනා කිසිම කලබලයකින් තොරව හික්කඩුව ප්‍රදේශයට පළා ගියේය. කළු රොෂාන් ඝාතනයට ලෙයට ලෙයින් පළිගැනීමට හැකිවීම ගැන සිඟිති මෙන්ම පියුමි ද පස්වනක් ප්‍රීතියෙන් සතුටු වූහ. මේ ද්විත්ව ඝාතනයත් සමග ම සිඟිති අතුරුදන් වූවාය.

හික්කඩුව පොලිසිය මෙන්ම ගාල්ල කොට්ඨාස අපරාධ අංශය මේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළහ. එහෙත් ඝාතකයන් මෙන්ම ද්විත්ව ඝාතනය පිටුපස සිටින මහ මොළකරුවන් තවමත් නිදැල්ලේය. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන සැබෑවකි. එහෙත් මේ අවිගත් උන් නිසා මහ පාරේ යන අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට හානිවීම කෙසේවත් අනුමත කළ නොහැක. එසේනම් මහ දවල් මේ ආකාරයට නිරායුධ මිනිසුන් මරා දමමින් අවි සෙල්ලං දමනා පාපතරයන් මට්ටු කළ යුතුය. අවිගත් මේ කාලකණ්ණින් අවියෙන්ම මට්ටු කිරීම හැර වෙනත් මඟක් තිබේ ද?

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment