කටුනායක – මීගමුව ද්විත්ව දුම්රිය මාර්ගය ජනතා අයිතියට

183

අලුතින් මිලදීගත් දෝෂ සහිත මැදිරි සහ එන්ජින්
අලුත්වැඩියා කර ධාවනයට යොදවනවා – ප‍්‍රවාහන ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි

පසුගිය යහපාලන කාලය තුළ මිලදී ගත් සමහර දුම්රිය මැදිරි සහ එන්ජින්වල දෝෂ ඇති බවත්, එම දෝෂ නිවැරැදි කර කඩිනමින් ධාවනය සඳහා යොදවන බවත් ප‍්‍රවාහන අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

අමාත්‍යවරිය මෙම කරුණු අනාවරණය කළේ කටුනායක සිට මීගමුව දක්වා අලූතින් ඉදිකළ නව ද්විත්ව දුම්රිය මාර්ගය ධාවනයට භාරදීම සඳහා මීගමුව දුම්රිය ස්ථානයේදී පෙරේදා (16 දා) පැවැති උත්සවයකදි ය.

එම මිලදී ගැනීම් පිළිබඳව සියලූ විස්තර වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

මෙහිදී තවදුරටත් කරණු දැක්වූ අමාත්‍යවරිය මෙසේද කීවාය. කටුනායක මීගමුව ද්විත්ව මාර්ගයේ සියලූ තාක්ෂණික උපදෙස්, ඉදිකිරීම්, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු අපේ සහෝදර ශ‍්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ වීම අපට මහත් ආඩම්බරයක්. ඔවුන් ඉතාමත් මැනවින් එම කාර්යය ඉටුකර තිබෙනවා. මෙම කටුනායක, මීගමුව ද්විත්ව මාර්ගය ඉදිවීම තුළින් දුම්රිය සේවාවන් දෙගුණයක් දක්වා වැඩිකිරීමට හැකි වී තිබෙනවා. එමෙන්ම කොළඹ සිට මීගමුව දක්වා ධාවන කාලය විනාඩි 40 කින් අඩු කිරීමට පුළුවන්කම ලැබී තිබෙනවා.

මෙම නව සේවාව තුළින් කාර්යාලයීය සේවාවන්හි නියුතු ජනතාවට ප‍්‍රබෝධමත් දුම්රිය සේවාවක් ලබා ගැනීමට හැකිවෙනවා. මෙහි වායුසමීකරණය කළ මැදිරියක්ද සම්බන්ධ කර තිබෙනවා.

ඉදිරියේදි මෙවැනි දුම්රිය සේවාවන් කිහිපයක් කළුතර – කොළඹ, වේයන්ගොඩ – කොළඹ, අවිස්සාවේල්ල – කොළඹ යන නගර අතර යෙදවීමටද දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා මීගමුව නගරාධිපති දයාන් ලන්සා, ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර, පෞද්ගලික ලේකම් කංචන ජයරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment