කටුනායක සම්පත් ගලවාගෙන යාපනයට දෙන්න යනවා – දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය

415

කටුනායක ගුවන් තොටුපළේ භෞතික සම්පත් ගලවා ගෙන ගොස් යාපනය ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සහ යාපනය ගුවන් තොටුපළ ජාත්‍යන්තර සිවිල් ගුවන් ගමන් සඳහා විවෘත කිරීම මගින් රටට සිදුවන පාඩුව සම්බන්ධයෙන් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම්, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමුකර ඇත.

මේ වනවිට සිවිල් ගුවන් තොටුපළක් බවට පරිවර්තනය කර ඇති පලාලි ගුවන් තොටුපළ ජූනි 30දා සිට ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට කටයුතු සිදුවන බව තමන්ට දැනගැනීමට ලැබී ඇති බවත් ලැබෙන තොරතුරුවලට අනුව යාපනය ගුවන් තොටුපළේ මගී මෙහෙයුම් සිදු කිරීමේදී මගීන් පරීක්ෂා කිරීමට අවශ්‍ය එක්ස් කිරණ යන්ත්‍ර පවා ප්‍රමාණවත් පරිදි සවිකර නොමැති අතර ඒ වෙනුවට කටුනායක ගුවන් තොටුපළේ තිබෙන එක්ස් කිරණ යන්ත්‍රයක් ගලවා ගෙන ගොස් යාපනය ගුවන් තොටුපළේ සවිකිරීමේ සූදානමක් පවතින බවට තමන්ට වාර්තා වන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ සඳහන් වේ.

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ඔස්ටේලියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට එවීමට අදාළව එරට රජය කටුනායක ගුවන් තොටුපළේ ඇති ආරක්ෂක විධිවිධාන පිළිබඳව වෙනම සමීක්ෂණයක් කර තිබේ. එම සමීක්ෂණ වාර්තාවලට අනුව ඔස්ටේ්‍රලියානු සංචාරකයන්ගේ ආරක්ෂාව සැලසීමට අවශ්‍ය ප්‍රමාණයට ආරක්ෂක උපකරණ කටුනායක ගුවන් තොටුපළ සතුව නොමැත. එවැනි තත්ත්වයක් තුළ කටුනායක ගුවන් තොටුපළ සතු සම්පත් රැගෙන ගොස් යාපනය ගුවන් තොටුපළ හදිසි කර්තව්‍යයක් ලෙස ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමේ තර්කානුකූලභාවය පැහැදිලි නැත.

ඊට අමතරව කොපමණ ගුවන් යානා ප්‍රමාණයක් යාපනය ගුවන් තොටුපළෙන් මෙහෙයවීමට අපේක්ෂිතද යන්න සහ කටුනායකින් මෙහෙයවීම් සිදු නොකර යාපනය ගුවන් තොටුපළ හරහාම එම මෙහෙයුම් සිදු කරන්නට පෙළඹීමක් ඇති වීමට හේතු වූ කාරණා පැහැදිලි නැත. එම නිසා දෙමළ ඩයස්පෝරාවට මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීමට ඇති බාධාවන් ඉවත් කිරීමට සමාන්තරව මෙම හදිසි තීන්දුව ගනු ලැබූ බව පෙනීයයි. එසේම යාපනය ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා ඉන්දියානු රජය දැඩි ඉල්ලීමක් සිදු කළ බවද පසුගිය දිනවල වාර්තා විය. ඒ අනුව බාහිර බලපෑම් මත මෙම හදිසි ක්‍රියාමාර්ග ගනු ලබන බවට සාධාරණ සැකයක් මතුවේ.

ඒ සියල්ලට අමතරව ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සඳහා විකල්ප ගුවන් තොටුපළක් ලෙස මත්තල ගුවන් තොටුපළ භාවිත කිරීම මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානාවල ඉන්ධන ඉතිරිවීම මගින් රටට ලැබෙන ප්‍රතිලාභය ඉතා ඉහළය. එහෙත් යාපනය ගුවන් තොටුපළ, කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් යානාවලට විකල්ප ගුවන්තොටුපළක් ලෙස හෝ යොදා ගෙන ප්‍රතිලාභයක් ලබා ගැනීමට නොහැකි බව සිවිල් ගුවන් සේවා විශේෂඥයන්ගේ මතයයි.

වසරකට අධික කාලයක් රත්මලාන ගුවන් තොටුපළින් ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු පාලනාධිකාරිය විසින් සිදු කළ මහජන මුදල් නාස්තිය තවමත් ගණන් බලා නැත. ලාභ ලබමින් තිබූ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම අද පාඩු ලබන තත්ත්වයට පත්ව තිබෙන බව ඔබතුමාද දන්නා කාරණයකි. එවැනි තත්ත්වයක් තුළ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම මේ වන විට ගුවන් තොටුපළේ නඩත්තුවට අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ මිලදී ගැනීම් පවා නවතා ඇති බවද දැනගන්නට තිබේ.

ඒ අනුව සුදු අලියකු බවට පත්වීමට නියමිත සහ ජාතික ආරක්ෂාවටද තර්ජනයක් විය හැකි මෙන්ම ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ දැනට පවතින අලාභය තවදුරටත් තීව්‍ර වන ලෙස යාපනය ගුවන් තොටුපළ අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සඳහා විවෘත කිරීමට ගන්නා උත්සාහය වැළැක්වීමට පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

ප්‍රභාත් විතාන සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment