කට හරක්; මොළය වෘක

1542

කුප්‍රකට කුඩු වෙළෙන්දකු වූ නඳුන් චින්තක හෙවත් හරක් කටා ඩුබායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමත් සමගම ශ්‍රී ලංකාවේ අපරාධ කර්මාන්තය අඩි සීයක් උඩට විසි වී බිම වැටුණු අතර එහි කොඳු ඇට කිහිපයක් ඩැමේජ් විය. මේ අත්අඩංගුවට ගැනීම සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක පොලිසිය ඩුබායි ගුවන් තොටුපළේ රැක සිටි බව දැනගන්නට තිබේ. හරක් කටා අත්අඩංගුවට ගන්නා විට සිය බිරිඳ සමග මැලේසියාවට පැන යෑමට සූදානමින් සිටියේය. මීට පෙරද ඔහු ව්‍යාජ ගමන් බලපත්‍ර මගින් රටවල් කිහිපයක සැරිසරමින් හැංගිමුත්තන් ඔපරේෂන් එකක් ගෙන ගියේය. ඔහු මැලේසියාව, සිංගප්පූරුව, සී ශෙල්ෆ් සහ මාලදිවයින යන රටවල මත්ද්‍රව්‍ය විකිණීම භාරව සිටි පුද්ගලයෙකි. ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රධාන පුද්ගලයන් කිහිපදෙනකු අත තිබේ. ඉන්දියාවේ ඩාවුඩ් ඊබ්‍රාහිම් ඉන් එකෙකි. ඩාවුඩ් ඊබ්‍රාහිම් ගේ ඉන්දියානු මෙහෙයුම හජිමස්ථාන් නමැති කුඩු බෙදුම්කරු විසින් සිදුකරන ලදී. සාමාන්‍යයෙන් කුඩු ජාවාරම ඉතා ඉහළින් කරන කණ්ඩායම් වෙනත් ව්‍යාපෘති සඳහා ද මුදල් වැය කරති. උදාහරණයක් වශයෙන් හජිමස්ථාන්, ස්වකීය ප්‍රධානියා වන ඩාවුඩ් ඊබ්‍රාහිම් වෙනුවෙන් අලෙවි කරන කුඩුවලින් උපයන ආදායමින් කොටසක් ඉන්දියාවේ බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය සඳහා ආයෝජනය කළේය. මේ නිසා තව ඩිංගෙන් ජනප්‍රිය ඉන්දියානු නළු නිලියෝ කිහිපදෙනෙක්ම හිරේද යන්නාහ. මෙය හැම රටකම මේ ආකාරයෙන්ම සිදුවේ. කොලොම්බියාවේ පැබ්ලෝ එස්කොබාර් නමැති බිලියනපති කුඩු ව්‍යාපාරිකයාද තමන් උපයන මුදලින් විශාල කොටසක් සමාජ සේවා කටයුතු සඳහා වැය කළේය. එවැනි යෝධ මත්ද්‍රව්‍ය ව්‍යාපාරික චරිත අතර හරක් කටා යනු ක්ෂුද්‍ර ජීවියෙකි. මාකඳුරේ මධුෂ් ද ක්ෂුද්‍ර ජීවියෙකි.

කොස්ගොඩ තාරක ද ක්ෂුද්‍ර ජීවියෙකි. වෙලේ සුදා මදුරුවෙකි. වෙලේ සුදාට මදුරුවා යැයි කී විට ඔහු හෝ මදුරුවා අපහාස නඩුවක් කීම පිණිස උසාවි යා යුතු නැත. මෙය නිදසුනක් පමණි.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාව තරමටම පැරණිය. මේ රටේ මුල්ම මත්ද්‍රව්‍ය වන්නේ අරක්කු, කසිප්පු, රා සහ ගංජාය. අරක්කු මෙරටට පුරුදු කරන ලද්දේ යටත්විජිතවාදීන් විසිනි. කසිප්පු යනු අරක්කුවලම මිල අඩු කොලිටිය අඩු ස්කාගාරයක නොව වත්ත පහළ පෙරන මත්ද්‍රව්‍යයකි. ගංජා පිළිබඳ ඉතිහාසය අවුරුදු 2500 ටත් වැඩිය. එහෙත් කොකේන්, හෂීස්, අයිස් කාණ්ඩයට වැටෙන මත්ද්‍රව්‍යවල ඉතිහාසය අවුරුදු 50 ට වඩා අඩුය. අපගේ මතය නිවැරදි නම් ලංකාවේ පළමුවන හෂීෂ් තොගය 1977 දී අත්අඩංගුවට ගන්නා ලදී. මෙම තොගය අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී එයට අදාළ විද්‍යාත්මක අර්ථ නිරූපණය ලබා දීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවා දැන සිටියේ නැත. මීළඟට සිදුවූයේ ප්‍රාතිහාර්යයකි. එක තැනකින් කුඩු එක තොගයක් අත්අඩංගුවට ගන්නා විට තවත් තැන් සියයකින් වෙළෙඳපොළට කුඩු පැමිණියේය. කුඩු විකිණීම හොර අරක්කු විකුණන්නාක් මෙන් සිල්ලරට කළ හැකි ලාභ වැඩක් නොවේ. මෙහිදී කුඩු ජාවාරම්කරුට විශාල වශයෙන් contact තිබිය යුතුය. එසේම වෘකයකුට තිබිය යුතු කෲර සහ කපටි මොළයක් ද තිබිය යුතුය. මේ දෙකම නැති විට මේ කර්මාන්තය තුළ පැවතීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අවස්ථාවක් නොලැබේ. මොළය නැති එවැනි ජාවාරම්කරුවන්ට සිදුවන්නේ කසිප්පු පෙරන උදවියට මෙන් නිතරම පොලිසියට බඩ ගෑමටය. මුලින්ම ඔවුහු පොලිසියට බඩගාති. දෙවනුව පොලිසිය තුළදී බඩගාති. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග පොලිසියේ ඇතැම් නිලධාරීහු ද ඇතැම් දේශපාලනඥයෝද සම්බන්ධය. එවැනි හයියක් නැතිව මේ බිස්නස් එක පවත්වාගෙන යෑමට නොහැක.

රාජපක්ෂ ආණ්ඩුවේ 2010 – 2015 අතර කාලයේ අවසන් කොටසේදී මේ රටේ කුඩු ව්‍යාපාරය කොටස් වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකි ව්‍යාපාර තරමටම දියුණු වී සාර්ථක ලෙස පැතිරෙන්නට පටන් ගත්තේය. එවිට එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ විසින් එස්.ටී.එෆ්. එක යොදවා එකී කුඩු ජාවාරම ෆ්ලැට් කර දමන ලදී. ඉන්පසු එම ජාවාරම නැවත මතුවන්නේ යහපාලන ආණ්ඩුවේ මැද හරියේදීය. යහපාලන ආණ්ඩුවට කුඩු ව්‍යාපාරයේ නැඟීම පිළිබඳව එතරම් අවබෝධයක් නොතිබිණ. ඒ නිසා ඊළඟ ජනාධිපතිවරණය වන විට කුඩු ව්‍යාපාරය ඉතා දරුණුවට හිස ඔසවා තිබිණ. මෙහිදී යහපාලන ආණ්ඩුවේ කුඩු මර්දන ව්‍යාපාරය කිසිසේත්ම අවතක්සේරු කිරීමට අප සූදානම් නැත. එම කාලයේදී ද දරුණු කුඩු ව්‍යාපාරිකයන් කිහිපදෙනක් අත්අඩංගුවට ගන්නා ලද නමුත් ගෝඨාභය කුඩු ෆ්ලැට් කළ විදිහට කටයුතු කිරීමට එම ආණ්ඩුවට හැකියාව තිබුණේ නැත. ඉන්පසු හටගත් කොරෝනා සමය තුළ නැවත වතාවක් මේ ජාවාරම ව්‍යාප්ත විය. අද වන විට මත්ද්‍රව්‍ය පාතාලයට විරුද්ධව නැඟීසිටීමට තරම් ශක්තියක් පොලිසියට ආරූඪ වී තිබේ. කිසිම රටක් කුඩු වලින් විනිර්මුක්ත කළ නොහැක. එහෙත් ඒ හැම රටකම කුඩු ජාවාරම අවම කළ හැකිය. ඒ අවමයද අවමයක් කිරීමෙන් සහ ඒ කියන අවමයද තවදුරටත් අවම කිරීමෙන් කුඩු ජාවාරම සැලකිය යුතු ප්‍රමාණයකට අඩු කළ හැකි බව අපි විශ්වාස කරමු. මේ සඳහා රජයේ නිලධාරීන්ට සහය දැක්වීම සිවිල් ජනතාවගේ ප්‍රමුඛ වගකීමකි. අපි සාමාන්‍යයෙන් වගකීම් පැහැර හැරීමට පුරුදුව සිටින ජාතියක් වෙමු. ඒ ලක්ෂණය නිසා අපත් රටත් යන දෙකම කුඩුකාරයන් මෙන් කටයුතු කරන බව පෙනේ. හරක් කටාට තිබුණේ වෘකයකුගේ බුද්ධියකි. ඒ නිසා ඔහු ලෝකයේ ප්‍රධාන රටවල් ගණනාවකම කුඩු වික්කේය. අද වන විට ඉතිරිව ඇත්තේ හරක් කටාගේ කුඩු පරම්පරාව කුඩුකර දැමීම පමණි. වෙන කිසිම විකල්පයක් අපට නැත.

advertistmentadvertistment
advertistmentadvertistment