කඨීශූල සහ සයිටිකා නිසා මතුවන කොන්දේ වේදනාවට ආයුර්වේද ප්‍රතිකාර

671

කඨීශුලතා රෝග සහ සයිටිකා රෝග තත්ත්වයන් සඳහා සැත්කම්වලින් තොරව භෞතචිකිත්සාව සහ ඖෂධ ප්‍රතිකාර මගින් ඉතා සාර්ථකව ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතී.

කොන්දේ වේදනාව (back pain) ඇතිවීමට බලපාන හේතු රැසක් ඇත. අධික බරක් එකවර එසවීම, කාන්තාවන් අඩි උස පාවහන් නිතර පැළඳීම, සිරුරේ සමබරතාවය බිඳීයෑමෙන් ඇදවැටීම සහ ක්‍ෂණික ක්‍රියාකාරකම් නිසා කොඳුඇට පෙළ ඇදීමට ලක්වීම ආදී හේතු බහුලවම දැකිය හැකිය.

ඊට අමතරව වයසට යන විට කොඳුඇට පෙළෙහි ඇතිවන දුර්වලතාවන් නිසා ද කොන්දේ වේදනාව හටගනී.

මෙලෙස ඇතිවන කොන්දේ වේදනාවට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව කඨීශූලය ලෙස පවසයි.

කඨීශූලය තත්ත්වය සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සැත්කම්වලින් තොරව ප්‍රතිකාර කර සුව කිරීමේ සුවිශේෂී ප්‍රතිකාර ක්‍රම රැසක් ඇත.

මෙම කඨීශූල රෝග තත්ත්වයේදී බහුලවම මතුවන රෝගයක් වනුයේ ඇවිදීමේ අපහසුතා ඇතිවන සයිටිකා (sciatica) නමැති රෝග තත්ත්වයයි. මෙහිදී ස්නායු ඇදීමට හෝ තෙරපීමට ලක්වීම නිසා ඇවිදින විට හෝ සිරුරේ ඉරියව් වෙනස් කරන විට කොඳුඇට පෙළ අතරින් දැඩි වේදනාවක් හටගනී.

මෙහිදී සිදුවන්නේ කොඳුඇට පෙළෙහි ඇති අස්ථි බිඳීමකට ලක්වීම හෝ පිහිටීමේ ඇතිවන වෙනස්කමක් නිසා ඒ අතරින් ගමන් කරන ස්නායු තෙරපුමට ලක්වීමය.

මෙම රෝග නිවැරදිව එක්ස් රේ පරීක්‍ෂාවන් මගින් තහවුරු කරගෙන රෝග තත්ත්වයට හේතුව නිවැරදිව හඳුනාගෙන සැත්කම්වලින් තොරව සාර්ථකව ප්‍රතිකාර කිරීමේ නවීනතම ප්‍රතිකාර ක්‍රම ආයුර්වේදයේ වර්තමානයේ භාවිතා කරනු ලබයි.

මෙහිදී වයස් භේදයකින් තොරව මතුව ඇති රෝග තත්ත්වයට හේතු හඳුනාගෙන ප්‍රතිකාර කළ හැකිය. මෙම ප්‍රතිකාර සිදු කිරීමේදී ඖෂධීය ප්‍රතිකාර සහ භෞතචිකිත්සක ප්‍රතිකාර මූලික කරගෙන රෝගියාට ප්‍රතිකාර ලබා දේ.

විශේෂයෙන්ම සයිටිකා රෝග තත්ත්වයේදී භෞතචිකිත්සක ප්‍රතිකාර සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙනු ලබයි. ඊට අමතරව කසාය වැනි ඖෂධ වර්ග ද ලබා දේ. මෙම ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ වර්ග සහ පහසුකම් වර්තමානයේ ආයුර්වේද රෝහල් හි සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල පවතී. එනිසා කසාය වර්ග සාදා ගැනීමට භෞතචිකිත්ස ප්‍රතිකාර සිදුකර ගැනීමට දුෂ්කරතා මතු නොවේ. අවශ්‍ය සියලු පහසුකම් ඉතා පහසුවෙන් ලබාගත හැකිය.

කඨීශුලතා රෝග සහ සයිටිකා රෝග තත්ත්වයන් සඳහා සැත්කම්වලින් තොරව භෞතචිකිත්සාව සහ ඖෂධ ප්‍රතිකාර මගින් ඉතා සාර්ථකව ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතී. එවැනි රෝගීන් දහස් ගණනක් සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබා දී සුවපත් කිරීමේ අත්දැකීම් අප සතුව ඇත. ඇතැම් රෝගීන් පැමිණෙන්නේ ඇවිදීමට නොහැකිවය. තවත් රෝගීන් රෝද පුටුවේ පැමිණේ. එම සියලු රෝගීන් වයස් භේදයකින් තොරව ප්‍රතිකාර සඳහා යොමුකර සති කිහිපයකින් සුවපත් කර යළි දෙපයින් ඇවිදීමේ හැකියාව ලබා දී ඇත.

කඨීශූල සහ සයිටිකා නිසා මතුවන කොන්දේ වේදනාවට ආයුර්වේද ප්‍රතිකාර

වැඩි විස්තර සඳහා දුරකථන අංක 071 4473560 ඇමතිය හැකිය.
රාජගිරිය ආයුර්වේද ශික්‍ෂණ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි (නේවාසික)

වෛද්‍ය ඊ.වී.පරාක්‍රම හේමචන්‍ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment