කඩදාසි හිඟයෙන් සා. පෙළ විභාග ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණයත් අවුලක්…..!

304

වැඩිම සිසුන් සංඛ්‍යාවක් පෙනී සිටින ලබන මැයි මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවට කඩදාසි හිඟයෙන් බලපෑම් සිදුවී තිබේ.

2021 දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමූ අතර ලබන මැයි මස 23 දා විභාගය ආරම්භ කිරීමට දින නියම කර ඇත. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් ලක්‍ෂ 6 කට අධික පිරිසක් පෙනී සිටීමට නියමිතය. ගිය වසරේ (2020) සිසුහු 6,22,35 ක් සා.පෙළ විභාගයට පෙනී සිටියහ. පසුගියදා පැවැති උසස් පෙළ විභාගයට අවශ්‍ය ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කර ගැනීමටද විභාග දෙපාර්තමේන්තුව සතුව ප‍්‍රමාණවත් කඩදාසි නොතිබීම නිසා රජයේ මුද්‍රණාලයෙන් කඩදාසි ලබාගෙන එම අඩුව පුරවා ගැනීමට කටයුතු කළ බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඞී. ධර්මසේන මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ කඩදාසිවල අඩුවක් පවතින බවත් විභාගයට පෙර ඒවා ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත්ය.

ඉකුත්දා පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල ලබාදීම අවසාන අදියරේ පවතින බවත් ඒ මහතා කීය.

මේ වසරේ (2020* අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment