කඩවත කෝටිපතියා මැරුවේ තිස්ලක්ෂයක කොන්ත්‍රාත්තුවකට – ව්‍යාපාරිකයකු අල්ලන්න විමර්ශන

720

ඝාතකයාට දී ඇත්තේ දසලක්ෂයයි

පානදුර පිංවත්තේදී ධනවත් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා රුපියල් තිස්ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන තවත් ධනවත් ව්‍යාපාරිකයකු සහ ඔහුගේ සමීපතමයකු අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම ධනවත් ව්‍යාපාරිකයා අදාළ කොන්ත්‍රාත් මුදලින් ඝාතකයාට ලබාදී ඇත්තේ රුපියල් දසලක්ෂයක් පමණක් බවත් ඉතිරි මුදල ඝාතනය කිරීමෙන් පසුව ලබාදීමට පොරොන්දු වී සිටි බවත් විමර්ශනවලින් හෙළිවී තිබේ.

එහෙත් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් පසු ඉතිරි මුදල වූ රුපියල් විසිලක්ෂය ඝාතකයාට ලැබී නැති බව ද හෙළිවී ඇත. ඝාතකයාට ලැබුණු ලක්ෂ දහයක මුදලින් ලක්ෂ 2 ක් යතුරුපැදිය පැදවූ පුද්ගලයාට ලබාදී තිබූ බව ද විමර්ශනවලින් හෙළිවී තිබේ.

සම්පත් කුඩාගොඩ නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඉකුත් 28 වැනිදා උදෑසන සිය දරුවා පාසලට ඇරලවා පානදුර පිංවත්තේ ඉදිකරන නව නිවස වෙත යමින් සිටියදී මෙසේ ඝාතනයට ලක්විය.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කළුතර අපරාධ කොට්ඨාසය, කුලී ඝාතකයා සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා තෙලිකඩ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් අතර වෙඩි තැබීමට යොදාගත් පිස්තෝලය ද සොයාගෙන තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මීට පෙර වෙනත් අපරාධ කිසිවකට සම්බන්ධවූවන් නොවන බව ද විමර්ශනවලින් හෙළිවී ඇත.

සැකකරුවන් දෙදෙනා පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කළුතර අපරාධ කොට්ඨාසය විමර්ශන පවත්වයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment