කඩවලවැව කාබනික පොහොරින් සාර්ථක කැකිරි වගාවක්

320

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගිරිතලේ මහ ගොවි ජනපද ව්‍යාපාරයට අයත් කඩවලවැව ප්‍රදේශයේ ගොවි මහතකු විසින් අක්කර බාගයක පමණ බිමක වගා කර ඇති සාරවත් කැකිරි වගාවකින් රුපියල් ලක්‍ෂ 05ක් පමණ මුදලක් මේ වනවිට උපයාගෙන ඇති බව කියයි.

ජයන්තිපුර, කඩවලවැව පදිංචි පනස් හය හැවිරිදි එච්.ඒ.ඩී.ශාන්ත ගුණසේකර ගොවි මහතා පවසන්නේ රජරට බිමේ හොඳින් වගා කළ හැකි කැකිරි, අතමිට සරුකරන බෝගයක් බවය.

තම වගාවෙන් මේ වනවිට කැකිරි කිලෝ 10,000ක් පමණ අලෙවිකර තිබෙන බව ද ඒ මහතා පැවැසීය. කැකිරි කිලෝවක තොග මිල රුපියල් 40 සිට 50 දක්වා මිලකට මේ දිනවල අලෙවි වන බව ද කීය.

කඩවලවැව කාබනික පොහොරින් සාර්ථක කැකිරි වගාවක්

කැකිරි වගාවේ අස්වැන්න නෙළා අවසන් නැතිබවත් ඉදිරි කාලයේ තවත් කිලෝ 6000කට වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවනු ඇතිබවට තමන් විශ්වාස කරන බවය. ඒ අනුව මුළුමනින්ම රුපියල් ලක්‍ෂ 08ක් පමණ ආදායමක් මේ වගාවෙන් තමන් බලාපොරොත්තු වන බවද ගුණසේකර මහතා පැවැසීය.

අක්කර බාගයෙක කැකිරි වගා කිරීම සඳහා තමන්ට මුළුමනින්ම වැය වූයේ රුපියල් ලක්‍ෂ එක හමාරක පමණ මුදලක් බව ද ඒ මහතා පවසයි. රසායනික පොහොර යූරියා කිලෝ 40ක් පමණ යෙදූ බවත් ඊට අමතරව ගොම පොහොර සහ කුකුළු පොහොර වැඩි ප්‍රමාණයක් වගාවට යෙදූ බව ද කීවේය.

මෙම කැකිරි වගාවට අමතරව අක්කර බාගයෙක පමණ වට්ටක්කා වගාකර තිබෙන බවත් එයට යෙදුවේ ද වැඩි වශයෙන්ම කාබනික පොහොර බව ද කීය. ඒ වට්ටක්කා වගාවේ ද අස්වැන්න නෙළීමට ආසන්න තත්ත්වයේ පවතින බව ද ගොවි මහතා පැවැසීය.

ජලය නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් මෙවර යල කන්නයේ වී වගා නොකර පුරන්වී ගිය කුඹුරු ඉඩමක් තම හිතවතකුගෙන් ලබාගෙන එහි මේ වගාවන් කරන බවකී ගුණසේකර මහතා මෙම කටයුතුවල දී ප්‍රදේශයේ කිසිම කෘෂිකර්ම නිලධාරියකු හෝ ඊට සම්බන්ධ ආයතනයක උපදෙස් හෝ සහයෝගයක් තමන්ට නො ලැබුණු බවද ඒ මහතා කීවේය.
කරුණාරත්න ගමගේ


 

advertistmentadvertistment
advertistmentadvertistment