කඩාකප්පල්කාරීන්ට හෝ ජාත්‍යන්තරයට මා යටත් වන්නේ නැහැ – මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්

108

අතලොස්සක් කඩාකප්පල්කාරී පිරිස්වලට හෝ ජාත්‍යන්තරයට මා යටත් වන්නේ නැහැ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය

කළුතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය. එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

රටේ නීතිය හා සාමය ආරක්ෂා කරගැනීමට පැවැති විශාලම අභියෝගය මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම්. රටේ ඇතැම් පාසල්වල මෙන්ම සෑම ස්ථානයකම මත්ද්‍රව්‍ය ප්‍රචලිතව පැවතුණා. මෙම තත්වය මැඩ පැවැත්වීම සඳහා දීර්ඝ කාලීන සැලසුමකින් යුක්තව අප කටයුතු කළා. මාස හයක පමණ අධ්‍යනයකින් අනතුරුව ඒ සඳහා වන සැලසුම සකස් කරනු ලැබුවා. එය ක්‍රියාත්මක කිරීම ජීවිතයත් මරණයත් අතර පවතින විශාල අභියෝගයක් බවට පත්වුණා. නමුත් රට වෙනුවෙන්, රටේ අනාගතය බාරගන්නා දූ දරුවන් වෙනුවෙන් ඒ අභියෝගයට මුහුණ දීමට අප තීරණය කළා.

ඒ අනුව ආරම්භ කළ යුක්තිය මෙහෙයුම හේතුවෙන් මේවනවිට රටේ සෑම ප්‍රදේශයකම විශාල වෙනසක් ඇතිවී තිබෙනවා. මේ වෙනුවෙන් නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පොලිසියට, විශේෂ කාර්ය බලකායට ඇතුළු සෑම අංශයකටම මා උපදෙස් ලබාදී තිබෙනවා. විපක්ෂයේ ඇතුළු ඇතැම් පිරිස් මෙය ආරම්භයේදී ප්‍රකාශ කළේ මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවයි. නමුත් මේ වන විට එහි ප්‍රතිඵල ජනතාව අත්දකිමින් තිබෙනවා. රටේ අවසාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාත් අත්අඩංගුවට ගන්නා තෙක්ම මේ මෙහෙයුම කිසිසේත්ම නතර කරන්නේ නැහැ.

එමෙන්ම පාතාල ක්‍රියාකාරකම් වල නිරත වෙන පිරිසටද ආයුධ බිම තබන ලෙස මා දැනුම් දීමක් සිදු කළා. කොතැනක සැඟවී සිටියත් ඔවුන් සොයාගන්නා මෙහෙම අප නතර කරන්නේ නැහැ. ඔවුන් ආයුධ සන්නද්ධව සටනට එළඹෙනවනම් පොලිසිය සහ විශේෂ කාර්ය බලකායද තම ආයුධ එම අවස්ථාවේ භාවිතා කිරීමට පැකිලෙන්නේ නැහැ. කොතැනක වෙඩි තැබීමක් සිදුවුවත් කෙටි කාලයක් තුළ වෙඩි තැබූ අය, උදව් කළ අය, මෙහෙයවූ අය සියලු‍ දෙනා අත්අඩංගුවට ගැනීමට අප කටයුතු කරනවා. පසුගිය සති කිහිපය තුළ සිදුකළ සෑම අපරාදේකම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. එම මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. අල්ලසකට අප යටත් වන්නේ නැහැ. ආරම්භ කරන ලද මෙහෙයුම අවසානය දක්වා රැගෙන යාමට අප කටයුතු කරනවා.

මේ ආකාරයටම දිගින් දිගටම ජනතාවගේ සහයෝගයද අපට හිමිවන්නේ නම් වැඩිකල් නොගොස් පාතාලයෙන් මහපාරේදීම අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙනු ඇති. බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය හරහා මෙම මෙහෙයුම් නතර කරන ලෙස බලපෑම් සිදු කරනවා. ජාත්‍යන්තරයෙන් පවා බලපෑම් එල්ල වනවා. නමුත් අතලොස්සක් කඩාකප්පල්කාරී පිරිස්වලට හෝ ජාත්‍යන්තරයට අමාත්‍යවරයා ලෙස මා යටත් වන්නේ නැහැ. සියලු‍ දෙනා සමග අත්වැල් බැඳගනිමින් මේ කාර්යය නිවැරදි ආකාරයෙන් ඉටුකර නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේද සහයෝගය සෑම අවස්ථාවකම අපට ලැබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, හිටපු පොලිස්පති, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment