කඩියන්ලෙන ඇල්ල

164

නාවලපිටිය තලවකැලේ මාර්ගයේ කඩියන්ලෙන ගම්මානයේ පිහිටි කඩියන්ලෙන ඇල්ල හෙවත් කැටඹුලා ඇල්ල නාවලපිටිය නගරයේ ප්‍රධාන මාර්ගය යටින් ගලාගෙන ගොස් මහවැලි නදියට එක්කාසු වන්නාවූ අතිශය රමණීය දිය ඇල්ලකි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ, නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 10 ක් පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව, කඩියන්ලෙන ගම්මානයට පැමිණ, කඩියන්ලෙන කඩමණ්ඩියේ සිට මීටර් 200 ක් පමණ කැටඹුලා තේ වත්ත මැදින් ගමන් කරද්දි මෙම දිය ඇල්ල හමුවනු ඇත. දිය ඇල්ල පිහිටා ඇති ගම්මානයේ නාමයෙන් කඩියන්ලෙන ඇල්ල යන නාමය ලැබී ඇතැයි සැලකිය හැකිය. එමෙන්ම අසලින් පිහිටි තේ වත්තේ නාමයෙන් කැටඹුලා ඇල්ල යන නාමය ලැබී ඇති බව සඳහන් කළ හැකිය.

කඩියන්ලෙන ඇල්ල හෙවත් කැටඹුලා ඇල්ල කඩා හැලෙන්නේ අදියර තුනක් ලෙසිනි. දිය ඇල්ලේ තෙවන කොටසට ඉහළින් ආරුක්කු තුනක් සහිත පාලමක් ඇති අතර ඒ මතින් නාවලපිටිය තලවකැලේ මාර්ගය පිහිටා ඇත. එබැවින් මාර්ගයේ සිට බලන කෙනෙකුට දිය ඇල්ලේ දැකගත හැකි වන්නේ, දියඇල්ලේ මාර්ගයෙන් ඉහළ කොටස් දෙක පමණය. නමුත් පාලමට අඩි 100 ක් පමණ ඉදිරියට වන්නට ඇති අඩි පාරේ ගමන් කිරීමෙන් මාර්ගයෙන් පහත සිට දිය ඇල්ලේ සම්පූර්ණ දර්ශනය දැක ගත හැකිය. ඇල්ලේ උඩ කොටසට යෑමට පඩි පෙළක් ආකාරයෙන් මඟක් සකස් කර ඇති අතර එම ස්ථානයේ නෑමට ද හැකිය. මෙහි බොහෝ දෙනා දිය නෑමට කටයුතු කළද, එම ස්ථානය ලිස්සනසුලු ය. ඒ නිසා එම ස්ථානයේ දිය නෑමද භයානක බව සඳහන් කළ යුතුය. තවද මෙම ස්ථානයේ දිය නෑම සුදුසු නොවීමට තවත් හේතුවක් වන්නේ, දිය ඇල්ලේ දිය දහරාව හිටිහැටියේම වැඩිවන අවස්ථා ද ඇති බැවිනි. කඩියන්ලෙන ඇල්ල හරහා ඉදි කර ඇති ආරුක්කු තුනේ පාලම ඉදිකර ඇත්තේ බි්‍රතාන්‍ය පාලන සමයේදීය. දිය ඇල්ල පෝෂණය වන්නේ ලිඳුල හා කොටගල ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලින් නිර්මාණය වන කඩියන්ලෙන ඔයෙනි. මෙම ඔය නාවලපිටිය නගරයට ආසන්නයෙන් හැටන් ඔයට එකතු වේ.

කඩියන්ලෙන ඇල්ල

අවුරුද්දේ වැඩි කාලයක් ඒකාකාරි නිසංසල ජල දහරාවක් ගලා හැලෙන කඩියන්ලෙන ඇල්ල දිය කොමළිය, වර්ෂාව අධික කාලයන්වලදී නම් නිසංසල නැත. වර්ෂා සමයන්හිදී දිය ඇල්ලේ දර්ශනය නෙත් සිත් පිනවන අතර දිය ඇල්ල නැරඹීමට සුදුසුම කාලය එය වේ. එම කාලයන්හිදි දිය ඇල්ල නැරඹීමට යෑමට හැකි නම් දිය ඇල්ලේ චමත්කාරය අත්විඳිය හැකිය. උසින් මීටර් 24 ක් පමණ වන කඩියන්ලෙන ඇල්ල අවට දිය නෑමට හැකි ස්ථානයන් කීපයක්ම වේ. නමුත් දිය ඇල්ලේ තෙවන කොටස කඩා හැලෙන ස්ථානයේ පිහිටි තටාකයේ දිය නෑමෙන් වැළකීම යෝග්‍ය වේ. තවද මේ අවට කුඩා ජල විදුලි බලාගාර දෙකක් ද පිහිටා ඇති බව සඳහන් කළ යුතුය. මින් එක් කුඩා බලාගාරයකින් කැටඹුලා වතුයායට විදුලිය සැපයීම සිදු කෙරේ. දිය ඇල්ලට ජලය ගෙන එන්නේ ඇල්ලටම කිලෝමීටර් කීපයක් ඉහළින් ආරම්භ වන දිය කදුරුවලින් බැවින් පායන කාලයන්හිදී ඇල්ල තරමක් කෘෂ වේ.

මානසික සුවය විඳින්නට යන සංචාරකයන්ට මෙම දිය ඇල්ල ආකර්ෂණීය ස්ථානයක් වනු ඇත. කඩියන්ලෙන ඇල්ල නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණෙන අතර ඒ අනුව දියඇල්ලේ සුන්දරත්වය පරිස්සම් සහගතව විඳ ගැනීම සංචාරකයන් සතු වගකීමකි. එම වගකීම පැහැර හැර ජීවිතයෙන් වන්දි ගෙවූ පිරිස ද සිටිති. කඩියන්ලෙන ඇල්ල හෙවත් කැටඹුලා ඇල්ලේ ස්වාභාවික සුන්දරත්වය විඳගන්නට පැමිණෙන විට සංචාරකයන් පිළිපැදිය යුතු කාරණා ද කිහිපයක් මෙහි පුවරුවේ සඳහන් වේ. ඒ අනුව මෙහි සංචාරයේදී දුම් පානය, මත්පැන් පානය ද මෙහි තහනම් වන අතර කසළ බැහැර කිරීම, පොලිතීන් භාවිතය ද තහනම් වේ. දිය ඇල්ලේ සීතල දේශගුණය සහිත මෙම පරිසරයේ සංචාරය කිරීමට අදහස් කරන්නේ නම්, මෙම වටිනා පරිසර පද්ධතිය විනාශ නොකිරීමට වගබලා ගන්න.

සටහන – එම්. තාරික්

advertistmentadvertistment
advertistmentadvertistment