කඩුගන්නාව සුන්දර කරන බතලේගල දවසක්……

591

උතුවන්කන්දට ගිය චාරිකාවෙන් පසු අමතක නොවන කඩුගන්නාව සංචාරයේ මීළඟ අංගය ලෙස අප තෝරාගත්තේ කඩුගන්නාව දුර්ගයට ඉතා මැනවින් දර්ශනය වන සුවිශේෂීම කඳු ශිඛරය තරණය කිරීම සඳහාය. කඩුගන්නාවට ගිහින් මේ කන්ද නොනැග්ගොත් ඒ කඩුගන්නාව චාරිකාවෙන් වැඩක් නැත. මකන්න බැරි, බලවත් අඩුවකි. මේ කන්ද නොහොත් හුදකලා පර්වතය අනිකක් නොව “බයිබල් රොක්” නොහොත් “බතලේගල” කන්දයි. බයිබල් රොක් යනු සුද්දා මේ කන්දට දුන් නමයි. බතලේගල යනු පාරම්පරිකව හෙළයා ඒ හැඳින්වූ නමයි. ඊට නම් තැබුවා පමණක් නොව, හෙළයා ඊට හා ඒ අවට පරිසරයටද කවි පබැඳුම් හා ජනකතාද එක් කළේය. මේ බතලේගල ගැන කියන එවන් එක් පබැඳුමකි.

කඩුගන්නාව සුන්දර කරන බතලේගල දවසක්......
බතලේගල ප්‍රවේශ පඩිපෙළ
කඩුගන්නාව සුන්දර කරන බතලේගල දවසක්......

උදෙන්ම පටන් ගතහොත් උතුවන්කන්ද නැගීම මෙන්ම, බතලේගල නැගීමද එක වරුවකින්  ගොඩදාගතහැකි චාරිකාය. නමුත්, මෙවන් කඳු තරණය කරන්නේ අප හුදෙක් ආශ්වාදයක් විඳීම සඳහා නිසා ලහි ලහියේ උතුවන්කන්ද හෝ බතලේගල හෝ නැගීම නිෂ්ප්‍රයෝජන කටයුත්තකි. එසේ හෙයින් මේ කඳු දෙක තරණය සඳහා වෙන වෙනම දින දෙකක් යොදාගැනීම වඩා යහපත් ක්‍රියාව වේ. එය ගමන් විඩාව අවම කරගැනීමටද හේතුවකි. කඩුගන්නාව පැත්තෙන් නවාතැනක් සොයාගන්නට හැකිනම් මේ කඳු මුදුන් තරණය කරන දින සන්ධ්‍යා යාමයේදීම තේ, කෝපි කෝප්පයක් හෝ තව මොනයම් රසවත් දෙයක් තොල ගාමින් දහවල් තමන් තරණය කළ කන්ද දෙස බලාගෙනම ඒ ගමන යළි යළිත් ආවර්ජනය කළ හැකිය. ඒ තරමටම ගැළපෙන දර්ශන තලයක් කඩුගන්නාවේ ඇති බවයි අපි මේ කියන්නේ. නමුත්, මේ කඳු දෙකම ස්ථානගතවී ඇත්තේ මාවනැල්ලට නුදුරින් බැවින් එම ප්‍රදේශයෙන් වුවද නවාතැනක් සොයා ගත්තා කියා අවැඩක් සිදු නොවේ. එය තම තමන්ගේ තේරීමය.

කඩුගන්නාව සුන්දර කරන බතලේගල දවසක්......

සුප්‍රකට බතලේගල පිහිටා ඇත්තේ කඩුගන්නාවේ  නැගෙනහිර දර්ශන තලයේ ඉතා ඉහළිනි. නමුත් සැබෑ ලෙසම මෙය පිහිටන්නේ අරණායක ගම් ප්‍රදේශයේය. මාවනැල්ල නගරයේ මාඔයට ඉහළින් වැටී ඇති සුප්‍රකට  ගඩොල් පාලමට නුදුරෙන් අරණායකට ගමන් ගන්නා මාර්ගය වැටී ඇත. ඒ ඔස්සේ බතලේගලට ළඟාවිය හැකිය. ඒ කිලෝමීටර් 11 ක් පමණ ගෙවා ගෙවිලිපිටිය – හත්ගම්පල ඔස්සේය. එසේත් නැතිනම් කොළඹ ප්‍රදේශයේ සිට පැමිණෙන්නේනම් කෑගල්ල නගරය මැදින් රුවන්වැල්ල පාරේ පැමිණ, දෙබත්ගම පාරේ දෙබත්ගම – හත්ගම්පල ඔස්සේ බතලේගලට පැමිණිය හැකිය. ඒ මාර්ගයේ දුර කිලෝමීටර් 12 ක් පමණ වේ.

කඩුගන්නාව සුන්දර කරන බතලේගල දවසක්......
පර්වතය මුදුන

හත්ගම්පල – බතලේගල මාර්ගයේ මඳ දුරක් කන්ද  නැග ගෙන පැමිණි පසු බතලේගලට නගින දෙවැටක් වැනි පටු මාර්ගය හමුවේ. එම මාර්ගය සීමාවී ඇත්තේ එම  ගම්මානයේ ගැමියන්ගේ ගෙවතු හා ඉඩම්වලිනි. මෙම මාර්ගය දෙපස හා ගම්මානයේ ගෙවතු සහ ඉඩම් සියල්ලක්ම පාහේ “කැන්ඩියන් හෝම් ගාර්ඩ්න්” යැයි කීවාට වරදක් නැත. කෝපි, කොකෝ, ගම්මිරිස්, වැනිලා, කරාබු, සාදික්කා, ගොරකා, පුවක්, කිතුල් වැනි ස්ථිර බෝගවලින් සමන්විත මෙම ඉඩම් වෙනම ආර්ථික බෝග කලාපයකි. එසේම, බතලේගල වටවී ඇත්තේ ඉතා කුඩා වනවදුලකින් හා කෙත්වතු, ජනාවාස, වෙහෙර – විහාර, කඳු ගැට වැනි විෂම පරිසර කලාපයකිනි. බතලේගල සිට බලන කල ඒ ආසන්නයේම ගල් කන්දක් මත විහාරයක් හා සෑයක් දක්නට ලැබේ. ඒ සුප්‍රකට දෙවනගලයි.

කඩුගන්නාව සුන්දර කරන බතලේගල දවසක්......
බතලේගල හාත්පස

වනගත පටු මාර්ගය ඔස්සේ මඳ දුරක් ඉදිරියට යන විට ක්‍රමයෙන් බතලේගල බෑවුම හමුවේ. ගස්-වැල් සහිත තරමක් සීමාවූ වන වදුලකින් යුත් මේ බෑවුම ඔස්සේ තවත් ඉදිරියට ඇදෙනවිට බතලේගල පර්වත මස්තකය වෙත ප්‍රවිෂ්ට වන පඩිපෙළක් සහිත මාර්ගය හඳුනාගත හැකිය. ඒ ඔස්සේ ගමන් ගත් අපට ඉතා කෙටිකාලයකින් බතලේගල තරණය නිමාකිරීමට හැකි වූයේ වැඩි අපහසුතාවකින් තොරවය.

කඩුගන්නාව සුන්දර කරන බතලේගල දවසක්......


කඩුගන්නාවට පෙනෙන බතලේගල පුංචි සීගිරිය ලෙසද හඳුන්වන අතර, දුටු විගස සීගිරි පර්වතය අපට සිහි කැන්දයි. එසේම බතලේගල මුදුන සීගිරි මස්තකයේ චිත්ත රූපයක් අපට මවාපායි. එනම්, සීගිරිය වටකුරුය. එහි මුදුන පැතලි හා ඉඩකඩ සහිතය. නමුත්, බතලේගල එසේ නොවේ. පැතිකඩ පෙනුමට සරිලන වටකුරු බවක් එහි නැත. සීගිරියේ මුදුන මෙන් පැතලි ස්වභාවයක් මේ මස්තකයේ නැත. ඇත්තේ තෘණ හා අතරින් පතර වෘක්ෂ පිහිටන සවානා වානාන්තර සහිත තරමක් පටු මුහුණතකි.

කඩුගන්නාව සුන්දර කරන බතලේගල දවසක්......
කන්ද මුද්නේ තෘණ පිටිය.

හිරු නැග එන උදෑසන කඩුගන්නාවේ සිට පැමිණ මාවනැල්ලෙන් ගමන ආරම්භ කළ අපි, බතලේගල මුදුනට ළඟා වන විට පෙරවරු 8-9 පමණ වී තිබිණි. දැඩි සුළඟට රටාවකට ළෙල දෙන මානා ගාල මැදින් වැටී ඇති ප්‍රවේශ මාර්ගය ඔස්සේ කන්ද මුදුනට නැග ගත් අපට අවට දැකගන්නට ලැබුණේ අතිශය චමත්කාරයකිනි. නැගෙනහිර දෙසින් රම්බොඩ දක්වා නුවරඑළිය කඳු ප්‍රදේශය දැකගත හැකි අතර, දකුණින් සාමසර කඳු පන්තියයි. බතලේගලට පහළින් වයඹ දෙසට දෙවනගල පුදබිමත්, ඒ දෙසින් කෙළින්ම ඉහළින් කඩුගන්නාව දුර්ගය හා බැලුම්ගල, බලන ප්‍රදේශය දර්ශනය වේ. මේ අපි දකින්නේ කඩුගන්නාව දුර්ගයට අප දුටු දර්ශන තලයට හාත්පසින්ම විරුද්ධ දර්ශන තලයයි. මේ දර්ශන ඉසව්වට දකුණු පසින් එදා සීතාවක රාජධානියේ සිට කඩුගන්නාව ඔස්සේ සෙංකඩගල රාජධානියට වැටී තිබුණු පැරණි මාවත සනිටුහන් වේ. ඒ අළුත්නුවර දැඩිමුණ්ඩ දෙවොල් බිම මැදිනි.

කඩුගන්නාව සුන්දර කරන බතලේගල දවසක්......

අද හුදකලාව නැගී සිටින බතලේගල නොහොත් බයිබල් රොක් නමැති මේ ශේෂ කන්ද වසර සිය දහස් ගණනක් තිස්සේ ප්‍රදේශයේ සිදුවූ වෙනස්කම් රැසක් සඟවාගෙන සිටින යෝධයෙක් වැන්න. කතාකරන්නට හැකිනම් හේ කඩුගන්නාව දුර්ගයේ සහ සීතාවක-සෙංකඩගල අතර සිදුවූ ජවනිකා රැසක් හෙළිදරව් කරනවාට සැක නැත. එසේම, කඳු වළල්ලක් මැද තනිවූ මේ චමත්කාර ජනක කඳුවැටිය තවත් චිරාත් කාලයක් කඩුගන්නාවට, මාවනැල්ලට, අරණායකට මෙන්ම ශ්‍රී ලංකා ද්වීපයට අතිශය සුන්දරත්වයක් ඇති කරනු ඇත. සැබවින්ම කඩුගන්නාව ලස්සන වී ඇත්තේ බතලේගල නිසාම බවයි අපගේ වැටහීම වන්නේ. එසේ හෙයින් මෙහි චාරිකා කරන්නේ නම්, මේ අපූරු පරිසරය රැකගන්නට පොලිතීන්, ප්ලාස්ටික්වලින් තොරව චාරිකා කරන ලෙසද අප ඔබෙන් ඉල්ලා සිටින්නට කැමතිය.

අප එසේ කළ බතලේගල චාරිකාව මධ්‍යාහ්නයේදී නිමා කළේ අත්දැකීම් රැසක් අත්විඳිමින් හා කලක පටන් පැවති බලාපොරොත්තුවක් මල්ඵල ගන්වමිනි.

විරාමයකින් පසු අලගල්ල නගිමු.

ජගත් කණහැරආරච්චි
සැරිසර – හර්ෂණ ජයතිලක, ලක්නාත් ගමගේ සහ  වාසල සේනාරත්න.
ඡායාරූප – හෙරිටේජ් ලංකා Photography

සංස්කරණය – ජගත් කණහැරආරච්චි

Email – අදහස් [email protected]/
සංචාර – [email protected]
FB – www.facebook.com/heritagelanka
advertistmentadvertistment
advertistmentadvertistment