කඩුලු ත්‍රිත්වයක් සහ වාර්තා ත්‍රිත්වයක්

269

එල්පීඑල් තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් සහ වාර්තා ත්‍රිත්වයක් බිහිකරමින් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව පෙරේදා රාත්‍රී පැවති තරගයෙන් ජයග්‍රහණය කළේය.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිදු හසරංග එම තරගයේ දී ලබා ගත් කඩුලු ත්‍රිත්වය එල්පීඑල් තරග ඉතිහාසයේ පළමු කඩුලු ත්‍රිත්වය වූ අතර එම කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිශ්ශංක සහ ඇන්ඩි ෆ්ලෙචර් පැවැත්වූ ලකුණු 156ක සම්බන්ධතාවය එල්පීඑල් තරගවල ඉහළම සම්බන්ධතාවය විය.

පන්දු 95 කදී වාර්තා වුණු එම ලකුණු 156 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාව ප්‍රධාන කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුල්ලක් දැවී ලකුණු 199 ක් ලබා ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් පිලට හැකියාව ලැබුණු අතර කලම්බු ස්ටාර්ස් පිලට ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පන්දු යවන්නන් හමුවේ රැස් කරගත හැකි වූයේ පන්දුවාර 14.3 කදී ලකුණු 90 ක් පමණි.

කලම්බු ස්ටාර්ස් පිල දැවී ගිය එම ලකුණු සංඛ්‍යාව ද තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. මෙහි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ 2021 වසරේදී දඹුල්ල ජයන්ට්ස් පිල රැස් කරන ලද ලකුණු 69 වේ.

පන්දු යැවීමේදීි කැපී පෙනුණු වනිඳු හසරංග තම පන්දුවාර 3 කදී ලකුණු 14 කට කඩුලු 4 ක් දවා ගනිද්දී ෆෙබියන් ඇලන් පන්දු 3 කදී කඩුලු 2 ක් දවා ගත්තේය.

පැතුම් සහ ෆ්ලෙචර් අතර වාර්තා වුණු පළමු කඩුල්ලේ සම්බන්ධතාව හැරුණු කොට එම ඉනිමේ කැපී පෙනෙන සිදුවීම වූයේ ඇන්ඩි ෆ්ලෙචර් එල්.පී.එල්. තරග ඉතිහාසයේ තෙවැනි ශතක ලාභියා බවට පත්වීමය. ආරම්භයේ සිටම පන්දු යවන්නන්ට වැරෙන් පහර එල්ල කළ පැතුම් පන්දු 41 කදී ලකුණු 71 ක් රැස් කරන ලද්දේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment