කඩුවෙල වැලිවිට පවුලක් මැර පිරිසක් පහරදී පන්නා දමලා

482

මුළු පවුලම ගව මඩුවකට ගිහින්

කඩුවෙල පොලිස් වසමේ වැලිවිට බෲක්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පවුලක් මැර පිරිසක් විසින් පහරදී නිවෙස්වලින් පන්නා දමා තිබේ.

පසුගිය 31 වැනිදා මෙම පහරදීම සිදුව ඇති අතර එකම පවුලේ මව, පියා, දරුවන් සිව් දෙනා සහ ආච්චි මේ වනවිට තම නිවෙස් පෙනෙන මානයේ ඇති ගව මඩුවක කල් ගෙවයි.

මෙම පහරදීම පිළිබඳව එම පවුලේ මව වන ජයන්ති මාලා මහත්මිය මෙසේ පැවසුවාය.

“මේ ඉඩම මට මවගේ පාර්ශ්වයෙන් අයිති වෙච්ච එකක්. මගේ දරුවො ගෙවල් තුනක් හදල පදිංචි වෙලා ඉන්නේ. 31 වැනිදා අපි කවුරුත් නිවෙස්වල හිටියේ නෑ. අපි ආපහු එනකොට අපේ ගෙවල්වල බඩු මුට්ටු කඩල බිඳල එළියට ඇදල දාලා. පනහක විතර පිරිසක් එකතු වෙලා හිටියා. අපේ ගෙවල්වලට යන්න ගිය මගෙ දරුවන්ටත් මටත් මැරයෝ පහර දුන්නා. යකඩ පොලුවලින් ගැහුවා. මගේ පොඩි පුතාගේ අතට බෝතලයක් කඩල අරන් ඇන්නා. තොපිට මේව වල මින් ඉදිරියට ඉන්න දෙන්නෙ නෑ.. කියල කිව්වා. අපිට අපේ ඇඳුම්වත් ගන්න දෙන්නෙ නෑ. තුවාල වෙච්චි පුතාව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කළා. එයා ඉස්කෝලේ නවය පන්තියේ. පොත් පත් ටිකවත් ගන්න ගෙදරට යන්න දෙන්නෙ නෑ. කඩුවෙල පොලිසියේ පැමිණිල්ලක් දැම්මා ඒත් කවුරුවත් අත්අඩංගුවට ගත්තෙ නෑ. ඉරාකන්, ලාරා, ශෙල්ටන් කියන මැරයො තමා මේව පිටිපස්සෙ ඉන්නෙ. ළමයගේ අතට බෝතලයක් කඩල ඇන්නෙත් ශෙල්ටන්.

මේ වනවිට මේ පවුල අසරණ තත්ත්වයට පත්ව තිබේ. ඔවුන් පවසන්නේ එක්තරා දේපල වෙළෙඳ සමාගමක් සහ මෙම අක්කර දොළහක් වූ ඉඩම අත්පත් කර ගැනීමට වෙහෙසෙන පිරිසක් විශාල මුදල් වියදම් කරමින් තම දරු පවුල මෙම ඉඩමින් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන සාධාරණ පරීක්ණයක් සිදුකොට තමන්ට තම නිවෙස් වෙත යෑමට හැකි වාතාවරණයක් සකසා දෙන ලෙසය.
කඩුවෙල – සුගත් ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment