කතරගම කප් සිටුවීම 15 වැනිදා

542

● කප් සිටුවීමේ චාරිත්‍රය

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2022 වර්ෂයේ ඇසළ මංගල්‍ය සඳහා කප් සිටුවීමේ මංගල්‍ය මෙම මස 15 වැනි දින සුබ මොහෙතින් සිදු කිරීමට නැකැත් වේලාවන් බලා සකස් කර පවතී.

කතරගම දේවාලයේ කප් සිටුවීමෙන් අනතුරුව දින 45 ක් ගිය පසුව එනම් ලබන ජුලි 29 වැනි දින කඳකුමරුවන්ගේ සහ වල්ලි දෙවඟනගේ විවාහ මංගල්‍යයේ ප්‍රථම පෙරහැර ආරම්භ වී අගෝස්තු 11 වැනි දින දක්වා පවත්වා පසු දින 12 වැනි දින මැණික් ගඟේ දිය කැපීමෙන් පසුව අවසන් වීමට නියමිතවේ.

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය යනු කතරගම කඳකුමරුවන් සහ වල්ලි දෙවඟනගේ විවාහය සනිටුවහන් කරමින් වාර්ෂිකව සිදු කරනු ලබන චාරිත්‍ර පෙරහැරකි.

හෙළයේ අතීතයේ පැවති ගැමි ඇදහිලි සම්ප්‍රදායන් අකුරටම ඉටු කරමින් සිදු කරනු ලබන කතරගම ඇසළ මංගල්‍යය දුටුගැමුණු මහා රජතුමා විසින් ආරම්භ කළ දින සිට මේ දක්වා වසර 2249 ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන ලංකාවේ පැරණිම පෙරහැර මංගල්‍යයකි.

පෝය ගෙවුණු පෑලවියට මෙම කප් කණු සිටුවීම සිදුකරනු ලබන අතර කප් සිටුවීමට ගන්නා ශාක රුක්ෂය කිසිදු අයකුට දැන ගැනීමට නොහැකි වන සේ මහා වනයට යන කපු මහතුන් අදාළ ගස් දෙක බලා ගෙන සුබ හොරාවකින් මෙම ගස් පුද පූජාවන් තබා කපා ගනු ලබයි.

මෙම කප් සිටුවීමට ගන්නා ගසේ අතු රිකිළි එක හා සමානව තිබීම විශේෂයකි. කණු කැපීමට පෙර ගස් දෙකට පුද පූජා තබන කපු මහතුන් අඳුර වැටීමට ආසන්න වන විටදී දේවාල භූමියට රැගෙන එනු ලබයි.

සුදු පැහැති රෙදිවලින් ඔතා ගන්නා මෙම කප් කණු දෙක රාත්‍රි මැණික් ගඟට රැගෙනවිත් නානමුරය සිදු කර පසු දින ඉරු එළිය පැමිණීමට පෙර ආලාත්ති අම්මලා හා කපු මහතුන් විසින් පෙරහැරකින් මෙම කප් කණු දේවාලයට ගෙනවිත් සුබ හෝරාවකින් දේවාලයේ ඇති විශේෂිත වූ ස්ථානයක කණු දෙකක සිටුවනු ලබයි. මෙම ගස් දෙකම එකම උසකින් හා එකම අයුරින් සමානව පවතී. ප්‍රථම කප් සිටුවීමේ මංගල්‍යය කප් සිටුවා දින 15 ක් ගිය පසුව පුරා දින 15 ක් ඇසළ මංගල්‍යය ඉතාම ඉහළින් පවත්වයි. විවිධ වූ ප්‍රදේශ ඔස්සේ බැතිමතුන් පා ගමනින් කුමන, යාල වන උද්‍යාන ඔස්සේ පැමිණීම සිදුවේ. මෙයට අමතරව බස් රථවලින්ද බැතිමතුන් දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණීම සිදුවේ.

අතීතයේ දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන පැමිණියේ තවලම් බැඳි ගවයන් පිට පටවා ගෙන පැමිණීම සිදුවිය.

ඒ අයුරින් අද වාර්තමානයේ මං මාවත් දියුණු වී කාපට් මාර්ග ඉදිව තිබුණ මුත් අදත් රජ නියෝගයන් ක්‍රියාවට නංවමින් බුත්තල පැල්වත්තේ කුඹුරුවල වී සහල් තවලමින් රැගෙන එති.

● ඇසළ මංගල්‍යය

ඇසළ මංගල්‍යය පැවැත්වෙන දින 15 පුරා පූජා භූමිය සැබෑ මඟුල් ගෙදරක සිරිය ගන්වමින් නොමිලේ ආහාර ලබාදීමේ දන්සල් රස කැවිලි බිම දන්සල් පැවැත්වේ. උතුරු නැගෙනහිර සිට පැමිණි බැතිමතුන් ඇතුළු පැමිණෙන බැතිමතුන් පූජා භූමියේ ලැගුම් ගෙන දෙවි ආශිර්වාදය ලබා ගෙන මැණික් ගඟේ දිය කැපීමෙන් පසුව දිය කැපූ ජලයද රැගෙන සිය ගම් බිම් බලා පිය නඟති.

● ඉල්මහා පෙරහැර

මෙම මංගල්‍යය වර්ෂ අවසානයේ ඉල් මාසයේදී පැවැත්වේ. රටේ ගොවි ජනයාගේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය වැසි ජලය ලබා ගැනීම පිණිස දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රර්ථනා කර මෙම මංගල්‍යය එක් දිනක් පැවැත්වේ.

● අවුරුදු මංගල්‍යය

රටේ ගොවි ජනයාගේත් දෙවියන්ට අයත් කුඹුරුවල අලුත් වී සහල් එළවළු එක් කර දෙවියන්ට කැප කිරීම පිණිස මෙම මංගල්‍යය සිදු කරති.

කතරගම කේ. ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment