කතරගම දෙවිඳුට කැප වූ මහා කලාගාරය – ඓතිහාසික ඇමැබැක්ක ශ‍්‍රී කතරගම මහා දේවාලය

647

ශ‍්‍රී ලාංකේය කලා ඉතිහාසය අධ්‍යයනය කරන්නෙකුගේ අවධානය අනිවාරයෙන් යොමු වන ඓතිහාසික ඇම්බැක්ක ශ‍්‍රී කතරගම මහා දේවාලය සිංහල ලී කැටයම්කරුවාගේ ප‍්‍රතිභාව ශක්තිය මනාව පෙන්නුම් කරන ස්ථානය වශයෙන් හඳුනාගෙන ඇත. මෙම දේවාලය මහනුවර නගරයේ සිට සැතපුම් 9 1/2 පමණ දුරින් උඩුනුවර මැද පළාතේ රමණිය වූ ගම්මානයක උස් භූමියක පිහිටා ඇත.

කතරගම දෙවියන් හෙවත් ස්කන්ධ කුමාර දෙවියන් වෙත කැප කරන ලද මෙම දේවාලයේ ඉතිහාසය පිළිබඳව විමර්ශනය කිරීමේ දී එය ගම්පොළ රාජධානී සමය (ක‍්‍රි.ව. 1341 – 1408) තෙක් දිව යයි. ඒ අනුව මෙම දේවාලය III වන වික‍්‍රමබාහු රාජ්‍යය සමයේ (ක‍්‍රි. ව. 1359 – 1374) ඉදි කළ බව දේවාලයට ආසන්නයේ ඇති වේයන්දෙණිය කුඹුරේ ඇති පර්වත ලිපියකින් තහවුරු වේ. බොහෝ සෙයින් මැකී ගොස් ඇති මෙම ලිපිය එච්. සි. පී. බෙල් මහතා ‘‘ශ‍්‍රී බුද්ධ වර්ෂයේ එක්වා දහස් නවසිය තෙ පනස් වන සිහලාධීශ්වර ’’ වශයෙන් කියවා ඇත. එමගින් මෙම දේවාලය බුද්ධ වර්ෂ 1953 දී ඉදි කරන ලද බව පෙනේ. එම අවධියේ දේවාලයට රජු විසින් ඉඩකඩම් පූජා කරමින් සන්නසක් ප‍්‍රදානය කළ බව දැක්වෙතත් 1818 නිදහස් අරගලය අවස්ථාවේ එය අස්ථානගත වූ බව ඒ. සී. ලෝරි විසින් වාර්තා කොට ඇත.

මීට අමතරව ඇම්බැක්ක දේවාලය ඉදිවීම සම්බන්ධයෙන් රසවත් ජනප‍්‍රවාදයක් ‘ඇම්බැක්කේ දේවතා බණ්ඩාර කවි’ වල සඳහන් වේ. ඊට අනුව ඇම්බැක්ක ග‍්‍රාමයට ආසන්න රංගම ගමේ සිටි එක්තරා බෙර වයන්නෙකුට කුෂ්ඨ රෝගයක් වැළඳුනු බවත් එය සුව කර දෙන ලෙස කතරගම දෙවියන්ට භාර වූ බවත් කියවේ. අනතුරුව රෝගය සුව වීමෙන් පසු වාර්ෂිකව රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැරට සම්බන්ධ විය. එහෙත් වයසට යෑමෙන් පසු එම රාජකාරිය ඉටු කිරීමට නොහැකි වීමෙන් සන්තාපයට පත් ඔහු දේවාලය පිහිටි භූමියේ වැතිරී සිටි බවත් එම අවස්ථාවේ කතරගම දෙවියන් දර්ශනය වී ‘‘දුක් නොවී ආපසු ඔබ ගමට යන්න නොබෝ දිනකින් රුකකින් ලකුණු පෙන්වා මම අනුහස් පාමි’’ වශයෙන් ප‍්‍රකාශ කළ බව දැක්වේ. ඊට දින කිහිපයකට පසු III වන වික‍්‍රමබාහු රජුගේ

කතරගම දෙවිඳුට කැප වූ මහා කලාගාරය - ඓතිහාසික  ඇමැබැක්ක ශ‍්‍රී කතරගම මහා දේවාලය

අගබිසව වූ හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ ඇම්බැක්කේ පිහිටි මල් උයනේ කඳුරු ගසක අත්තක් උයන් පල්ලා විසින් කැපූ අවස්ථාවේ එයින් බඹ සත් රියනක් උසට රුධිර දහරාවක් විහිදී ඇත. එය දැන ගත් බෙර වයන්නා තමාට කතරගම දෙවියන් දර්ශනය වී පැවසූ සිද්ධිය වික‍්‍රමබාහු රජුට පැවසූ බවත් අනතුරුව එම කඳුරු ශාකය පිහිටි ස්ථානයේ තෙමහල් දේවාලයක් ඉදි කොට එය කතරගම දෙවියන් වෙනුවෙන් කැප කොට පූජා කළ බව සඳහන් වේ.

දේවාලයේ වැඩ කටයුතු නිම වීමෙන් පසු රජු විසින්ම කතරගම දේව ප‍්‍රතිමාව දේවාලය අභ්‍යන්තරයේ තැම්පත් කළ බව සඳහන් වේ. එමෙන්ම රුධිර දහරාව නිකුත් වූ කඳුරු වෘක්ෂයෙන් කතරගම දෙවියන්ගේ වාහනය වන මොණර රූපයක් නිර්මාණය කොට දේවාලය පූජා කළ බව දැක්වෙන අතර වර්තමානයේ ද එය දේවාලය සතුව පවතී. තවද රජු විසින් වටිනා ඇත් දළ යුගලක් දේවාලයට පූජා කළ අතර හෙනකඳ බිසෝබණ්ඩාර දේවිය මෙම දේවාලය පිහිටි භූමිය අසලින් යන විට ඇයගේ දෝලාව කැඞීම නිසා එම දෝලාව ද දේවාලයට පූජා කොට ඇත. එමෙන්ම දෙවියන් සම්බන්ධ සිහිනය දුටු බෙරවයන්නා එතැන් සිට දේවාලයේ බෙර වැයීමේ රාජකාරිය සිදු කළ අතර ඔහුගේ පරපුර ‘අරත්තන පනික්ක මුරය’ ලෙස අදටත් දේවාලයේ රාජකාරි කටයුතු සඳහා සම්බන්ධ වේ. එමෙන්ම කඳුරු වෘක්ෂය කැපූ උයන්පල්ලාගේ පරපුර ‘කංකානි ගෙදර පරම්පරාව’ ලෙස රාජකාරි කටයුතුවලට සම්බන්ධ වේ.

ඇම්බැක්කේ දේවාලයේ කතරගම දෙවියන්ට අමතරව හෙණකඳ බිසෝ බණ්ඩාර දේවතාවිය උදෙසා ද පූද පූජා පවත්වයි. ඇය මෙම දේවාලය ඉදි කළ III වන වික‍්‍රමබාහුගේ අගබිසව බව ජනප‍්‍රවාදයේ දැක්වෙන අතර ඇය ඕපපාතිකව බෙලිගෙඩියෙන් උඩුනුවර මාත්ගමුවේ උපත ලද බව සඳහන් වේ. 18 වන සියවසට අයත් ‘ඇම්බැක්කේ වර්ණනාවට’ අනුව ඇගේ රූපයට වසඟ වූ කතරගම දෙවියන් ඇයව පුසුල්පිටියට සැවන්දරා පිටියේ දී දොළාවේ දී මරා වසඟයට ගෙන ඇත. අනතුරුව ඇගේ දේහය කහට ලීයෙන් කළ දෙනක බහා කොත්මලා ඔයේ පා කළ අතර

ගම්පොළ කහටපිටියට පා වී ආ එම දේහය උනම්බුව මහ නිළමේ විසින් ගොඩ ගෙන වික‍්‍රමබාහු රජු වෙත දන්වා ඇත. අනතුරුව ආදාහන උත්සවය බෝතලාපිටියේ පැවැත් වූ අතර ඇගේ ආභරණ රැගෙන යෑමට සියලු දේවාලවල භාරකරුවන් පැමිණියත් කළු දෙබරුන් පැමිණීම නිසා එය අසාර්ථක වී ඇත. එහිදී එම ආභරණ රැගෙන යෑමට හැකි වී ඇත්තේ ඇම්බැක්ක දේවාලයේ භාරකරුවන්ට පමණි. එම හෙණකඳ බිසෝ බණ්ඩාර දේවියගේ ආභරණ වර්තමානයේ ද ඇම්බැක්ක දේවාලය සතුව පවතී. එම මරණින් පසු ඇය කතරගම දෙවියන්ගේ අගබිසව බවට පත්ව ඇම්බැක්ක දේවාලයේ අධිපති දෙවඟන බවට පත් වූ බව ද සඳහන් වේ. මෙම මරණය සිහි කරමින් පෙරහැර මංගල්‍යය අවසානයේ දී පවත්වන දියකැපුම් පෙරහැර අවම`ගුල් පෙරහැරවලදී වාදනය කරන බෙර වාදන සහිතව කපුපිරිස කළු ඇඳුමින් සැරසී පැමිණ ගම්පොළ තොටුපලේ දී චාරිත‍්‍ර සිදු කරයි.

ඇම්බැක්ක මහා දේවාලයට වම්පසින් ඇති ‘පල්ලේ දේවාලය’ ‘දේවතා බණ්ඩාර දෙවියන්’ වෙනුවෙන් කැප කොට ඇත. එම දෙවියන් ‘කතරගම දෙවියන්ගේ අධිකාරම්’ බව ‘දේව කන්නලව්ව’ තුළ සඳහන් වේ. එමෙන්ම දුටුගැමුණු රජුගේ යුද්ධයට උදව් කළ බවත් යක්ෂ සේනාවට නායකයා බවත් දැක්වේ. මෙම දේවාලය ඉදිරිපස ආලින්දයේ ඇති ගල් කැටයම් උළුවස්ස වික‍්‍රමබාහු රජුගේ රජ වාසලේ පැවති උළුවස්ස බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ.

මෙම දේවාලය මහනුවර රාජධානි සමයේදී තවදුරටත් රාජකීය අනුග‍්‍රහය සහිතව දියුණු වී ඇත. රාජාධිරාජසිංහ රජු විසින් අමුණු 30ක ඉඩමක් දේවාලයට පූජා කළ බව සඳහන් වේ. ඒ අනුව ක‍්‍රි.ව. 1896 වන විට දේවාලයට අක්කර 405ක් පමණ ඉඩම් ප‍්‍රමාණයක් හිමි ව තිබූ බව ඒ. සී. ලෝරි විසින් වාර්තා කොට ඇත. එමෙන්ම දේවාලයේ රාජකාරි පංගු ක‍්‍රමය ද උඩරට රාජධානි සමයන් තුළ විදිමත්ව ස්ථාපිත වී ඇති අතර එම රාජකාරි පංගු ලෝරි විසින් වාර්තා කොට ඇත. එහි ඇම්බැක්ක රාජකාරි පංගු 40කට අධික ප‍්‍රමාණයක් ඔවුන්ට අයත් රාජකාරි සමග දක්වා ඇත. එයින් උඩරට රාජධානී සමය තුළ මෙම දේවාලයේ පැවති සෞභාග්‍ය මනාව පෙන්නුම් කරයි.

එමෙන්ම රාජකීය නියමය පරිදි මහනුවර දළදා මැඳුර හා සම්බන්ධ වෙමින් සතර මංගල්‍යයන් මෙම දේවලයේ ද ඉපැරණි චාරිත‍්‍රවලට මූලිකත්වය ලබා දෙමින් වර්තමානය තෙක් අඛණ්ඩව පවත්වාගෙන එනු ලබයි. ඒ අනුව දුරුතු මාසයේ පවත්වන අලුත් සහල් මංගල්‍යය සඳහා ගුරුදෙණිය රාජකීය වී අටුවේ දී (කුණ්ඩසාලයේ වී අටුව) පළමු ලැයිස්තුව අනුව හාල් සේරු 02ක් සහ වී සේරුවක් රාජඥාව පරිදි හිමි වේ. එමෙන්ම දේවාලයට අයත් කුඹුරුවලින් ලැබෙන වී ද එක් රැස් කර පෙරහැර පවත්වා දළදා මැඳුරේ අලුත් සහල් මංගල්‍යය පවත්වන දිනයේ දී මෙම දේවාලයේ ද බුද්ධ පූජාව සහ දේව දානය අලුත් සහල්වලින් පූජා කරනු ලැබේ. සිංහල අවුරුදු උත්සවයට සමගාමීව අවුරුදු මංගලෝත්සවයත් ඇම්බැක්ක කතරගම දේවාලයේ පැවැත්වෙන අතර විශේෂ දේව පූජාවත්, හිසතෙල් ගෑමේ මංගල්‍යයත්, රාජකාරි ඇතන් බස්නායක නිලමේ බැහැදැකීමේ චාරිත‍්‍රයත් සම්ප‍්‍රදායානුකුලව පවත්වනු ලබයි. එමෙන්ම පෙරහැර මංගල්‍යය ද සම්ප‍්‍රදායානුකුල චාරිත‍්‍රවලට මුල් තැන දෙමින් දේව ආශීර්වාදය ලබා ගැනීමේ අරමුණින් සෑම වර්ෂයකම පැවැත්වේ. ඉල් මාසයේ පැවැත්වෙන කාර්තික මංගල්‍ය ද පෙර රාජ නියමය පරිදි පැවැත්වෙන අතර මහනුවර ශ‍්‍රී නාථ දේවාලයේ තෙල් බෙදන අවස්ථාවේ මෙම දේවාලයට තෙල් නැලි 02ක් හිමි වේ. ඊට අමතරව දෛනික පූද පූජා ගම්පොළ III වන වික‍්‍රමබාහු රජුගේ නියෝග මත වර්තමානය වන තෙක් අඛණ්ඩව පවත්වාගෙන එන අතර කතරගම දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගැනීමට එන දෙස් විදෙස් බැතිමතුන්ගෙන් දේවාලය සෑම දිනකම පිරී යයි.

මෙම දේවාලයේ ගෘහනිර්මාණ ශිල්පය ගැන විමසීමේදී රාජධානි සමයේ ඉදි වූ ගොඩනැඟිලි අංග 08 කින් සමන්විත වන අතර ඉන් ගොඩනැගිලි දෙකක් දේවාල භූමියෙන් පිටත පිහිටා ඇත. ඒ අනුව දේවාලය වටා ඇති ප‍්‍රකාරයෙන් දේවාලයට ඇතුළු වීමට ඇති දොරටුව ‘වාහල්කඩ’ නමින් හඳුන් වන අතර එය අඩි 02ක් පමණ උස පාදමක් මත ඉදි කර ඇති අතර එය දිගින් අඩි 22යි අඟල් 11ක් ද පළල අඩි 18යි අඟල් 08ක් පමණ වේ. මෙහි වහළය දැව කණු 10ක් මත රඳවා ඇත. පියස්ස ද පළ හතරකින් නිමවා ඇති අතර පෙති උළු සෙවිලි කොට ඇත. මෙහි දැව කණුවලද ලී කැටයම් දැකිය හැකි අතර පේකඩ කැටයම් අතර යෝගී රූව, හංස පුටුව, මොණර පුටුව, ගජසිංහ රූපය ආදී කැටයම් උඩරට ලී කැටයම් කරුවාගේ ප‍්‍රතිභා ශක්තිය පෙන්නුම් කෙරේ. දේවාලයේ වැදගත්ම අංගය වන්නේ ‘මහා දේවාලය’ යි. එය හේවිසි මණ්ඩපය හෙවත් දික් ගෙය, සඳුන් කුඩම, අන්තරාලය හෙවත් මැද දික් ගෙය, පිරිත් මණ්ඩපය සහ වැඩ සිටින මාළිගාව හෙවත් ගර්භ ගෘහය යන කොටස් 05කින් යුක්ත වේ. මෙහි දික්ගෙය අඟල් 34ක් පමණ උස කළුගල් පාදමක් මත ඉදි කර ඇති අතර අඩි 52යි අඟල් 10ක් දිග අඩි 25යි අඟල් 09ක් පළල විවෘත ආකාරයෙන් මෙය ඉදිකොට ඇත. මෙහි පියස්ස දැව කණු 32ක් මත රඳවා ඇත. පියස්ස කළාදවල ආධාරයෙන් ඉදි වී ඇති අතර කිසිදු යකඩ ඇණයක් භාවිත නොකොට අඩි 2 1/2ක ලී ඇණයකින් පරාල 26ක් එකට සම්බන්ධ කොට තිබීම හෙළ වඩුවාගේ ප‍්‍රතිභා ශක්තිය මනාව පෙන්නුම් කරයි. වහළේ පරාලවල කොන් ද කැටයම් කර ඇති අතර රිප්ප යොදා පෙති උළු වහළයට සෙවිළි කොට ඇත. මෙම දික්ගෙයි ගෘහනිර්මාණ ශිල්පියා ‘දෙල්මඩ ශිල්පියා’ වශයෙන් සඳහන් වේ.

මෙම දේවාලය විශ්ව කීර්තියට පත් වීමට බලපෑ ප‍්‍රධානම සාධකය වන්නේ දික්ගෙහි දැව කණුවල ඇති ලී කැටයම්ය. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම්වලට අනුව මෙහි ලී කැටයම් 514ක් දැකිය හැකිය. එනම් එක කණුවක 04 බැගින් වූ ලී කණු 32හි කැටයම් 128ක්, එක කණුවක 08 බැගින් වූ කණු 32 ලියපත් වර්ධන කැටයම් 256ක්, පේකඩ නෙළුම් කැටයම් 64ක්, බාල්ක චිත‍්‍ර කැටයම් 39ක් සහ තලාද චිත‍්‍ර කැටයම් 36ක් වශයෙනි. එම කැටයම් අතර ගරුඬ පක්ෂිය, මල්ලව පොරකරුවන්, ඇත්සිංහ පොරය, කිඹිහිමුණ, වෘෂභ කුංජරය, ලියතඹරා මල, හංස පුටුව ආදී කැටයම් උඩරට ලී කැටයම් කරුවාගේ ප‍්‍රතිභාව මනාව පෙන්නුම් කෙරේ. මෙම ලී කණු සඳහා ගම්මාලු සහ පිහිඹිය යන ශාක යොදාගෙන ඇත.

සඳුන් කුඩමට ඇතුළුවන දොරටුව දෙපස අර්ධ උන්නතව මැටියෙන් ඉදි කළ සිංහ රූප දෙකක් හමුවන අතර අලංකාර මකර තොරණකින් ඊට ප‍්‍රවේශ විය හැකිය. මෙම දෙරටුවේ උළුවස්ස සහ වැඩ සිටින මණ්ඩපයේ මුදුන් වහළයේ ඇති ලී කොත ගම්පොළ රජ මාළිගාවේ සවි කොට තිබූ බව සඳහන් වේ. සඳුන් කුඩම තුළ දොරටු තුනක් වන අතර දකුණු පස දොරටුවෙන් බුදු මැඳුරටත් වම් පස දොරටුවෙන් පල්ලේ දේවාලයටත් ඉදිරිපස දොරටුවෙන් අන්තරාලයට, පිරිත් මණ්ඩපයට සහ වැඩසිටින මණ්ඩපයට ප‍්‍රවේශ විය හැකිය. දේවාල භූමියේ පිහිටි තවත් වැදගත් අංගයක් වන වී අටුව දිගින් අඩි 39යි අඟල් 4ක් සහ පළලින් අඩි 13යි අඟල් 07ක විශාලත්වයෙන් යුක්ත වේ. දේවාලයේ දෛනික පූජාවන් සඳහා අවශ්‍ය වී මෙහි තැම්පත් කොට ඇත. අනිත් ගොඩනැඟිලි අංගය වන මුළුතැන්ගෙය කාමර දෙකකින් සහ ශාලාවකින් යුක්ත වන අතර බුද්ධ පූජාව සහ දේව දානය පිළියෙල කිරීමට භාවිත කරයි. දේවාල භූමියෙන් පිටත වෙල්යායක පිහිටි රිට්ටා ගෙය නොහොත් අම්බලම වර්තමානය වන විට විනාශ වී ගොස් ගල් කණු පමණක් ශේෂව පවතී. එම ගල් කණුවල මකරා, හංස පුට්ටුව, භේරුණ්ඩ පක්ෂියා වැනි ගල් කැටයම් දැකිය හැකිය. එමෙන්ම දේවාලයට නුදුරින් පිහිටි කඳු ගැටයක පිහිටි සිංහාසන මණ්ඩපය පෙරහැර අවධියේ දී දේව ආභරණ තැම්පත් කිරීමට භාවිත කරයි.

ඒ අනුව මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටි උඩරට සිංහල ලී කැටයම්කරුවාගේ ප‍්‍රතිභා ශක්තිය ලොවට පෙන්නුම් කරන ඓතිහාසික මෙන්ම පූජනීය ස්ථානයක් වශයෙන් ඇම්බැක්ක ශ‍්‍රී කතරගම මහා දේවාලය හඳුනාගත හැකිය.

ඩබ්ලිව්. එම්. එම්.
සංජය වීරකෝන්.
ශාස්ත‍්‍රවේදී (ගෞරව) ඉතිහාසය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment