කතරගම පෙරහැරහැඩ කළ මොනර පැටික්කිගේ ප්‍රාර්ථනාව ඉටුවේවා! – ‘දිවයින’ අපේත් පැතුම එයයි

1231

කඳසුරිඳුන් උදෙසා හරසර පුද කිරීම වෙනුවෙන් මහත් බැතියෙන් වාර්ෂිකව පවත්වන ඓතිහාසික රුහුණු මහා කතරගම පෙරහැර අසිරිය විචිත්‍රවත් කරමින් ප්‍රේක්‍ෂකයන්ගේ නෙත් සිත් පැහැරගත් මොනර නැටුමක් ඉදිරිපත් කළ එකළොස් හැවිරිදි නර්තන ශිල්පිනී සසඳී උදයංගනී දියණිය අද සමාජ මාධ්‍යයෙන් සැමගේ අවධානය දිනා ගනිමින් සිටී. කඳසුරිඳුන් කෙරෙහි බැතියෙන් මනහර ලෙස නර්තනයේ යෙදුණු ඇයට කථන හැකියාවක් නොමැතිවීම දෛවෝපගත සිද්ධියකි.

කතරගම පෙරහැරහැඩ කළ මොනර පැටික්කිගේ ප්‍රාර්ථනාව ඉටුවේවා! - 'දිවයින' අපේත් පැතුම එයයි

බණ්ඩාරගම, මස්විල පදිංචි දියණිය, කතරගම දෙවිඳුන් වෙනුවෙන් මෙලෙස නර්තනයේ යෙදෙමින් මුවින් වදනක් නොකීවත් ඇයගේ ප්‍රාර්ථනාව දෙවියන්ගෙන් තමාට කථන හැකියාව යැදීම බව නොවනුමානය.

පියාගේ ආභාෂයෙන් කලාවේ යෙදෙන පුංචි සසඳී දියණිය පිළිබඳව ඇගේ මව මෙලෙස පැවසුවාය.

දුව ගොඩක්ම කැමති නර්තනයටයි. ඇයට ප්‍රවීණ ශිලපීන්ගේ උදව් ලැබෙනවා නම් ඇය රටට පමණක් නෙවෙයි ලෝකෙටම යයි. කවුරුන් හෝ මගේ දරුවට එයට අත හිත දෙනලෙස මම ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා.

ඇගේ පියා එහිදී මෙලෙස අදහස් දැක්වීය.

මගේ දුවට වාදනයටත් හැකියාව තියනවා. ඇගේ දක්‍ෂතා ගැන කියන්න මට වචන නෑ. මේ වගේ දරුවෝ සමාජයෙන් කොන් කර තැබිය යුතු නැහැ. මම සෑම දෙමාපියකුගෙන්ම ඉල්ලා සිටිනවා මෙවැනි දරුවනට ඉදිරියටම යන්න අවස්ථාව ලබාදෙන්න කියලා.

සසඳීගේ නර්තන හැකියාවට ගුරුහරුකම් ලබාදෙන නදීකා දිල්රුක්ෂි ගුරු මාතාව මෙසේ පැවසුවාය.

සසඳී තමයි මගේ නර්තන පංතියේ දක්‍ෂම සිසුවිය සහ මගේ හොඳම ගෝලයා. ඇයට කතා කරන්න බැරි වුණත් කිසිදු ඉරියව්වකින් එය පෙන්වන්නෙ නැහැ. ඇය උපතින් ගෙන ආ මේ හැකියාව වැඩිදියුණු කර ඇය ඉදිරියටම ගෙන යෑම මගේ බලාපොරොත්තුවයි.

කතරගම දෙවියන් පිළිබඳව මහත් වූ බැතියෙන් නර්තනයේ යෙදෙමින් දුටුවන්ගේ නෙත් සැනසූ ඇය දෙවියන්ගෙන් යදින්නේ තමාට කථන හැකියාව ලැබදෙන ලෙස විය හැක. සසඳී උදයාංගනී දියණියගේ එම ප්‍රර්ථනාව ඉටුවේවායි ‘දිවයින’ අපි ද ප්‍රාර්ථනා කරමු.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment