කතරගම පෙරහැර සමයේ කැළිකසළ බැහැර කිරීමෙන් වළකින්න

19

කිරිවෙහෙර නා හිමි බැතිමතුගෙන් ඉල්ලා සිටිති

දෙස් විදෙස් විශාල ජනතාවක් සම්බන්ධ වෙන කතරගම ඇසල මහා මංගල්‍යය තව දින 08කින් ආරම්භ වෙනවා. ඉතින් ලෝකවාසී සියළුම දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා මෙවරත් පුදබිමට කිරිවෙහෙර සෑ රදුන් වදින්න එද්දී හා කතරගම දෙවි හාමුදුරුවන් වදින්න එද්දී ඔබ රැගෙන එන පොලිතින් ආදි කැළි කසල තැන තැන බැහැර කරලා මේ පුදබිම අපවිත්‍ර කරන්න එපා කියලා. කැළි කසළ දැමිම සඳහා මෙවරත් අපි විශේෂිත වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා.

ඒ තුළට පමණක්ම කැළිකසල බැහැර කිරීම කරන්න යැයි කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝ නායක කොබවක ධම්මින්ද නා හිමියන් සියළු දෙනාගෙන් ඉල්ලා සිටියහ.

උන්වහන්සේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසූ අතර එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

මේ ඇසල පෙරහැර මංගල්‍යෙය්දි ඔබ විවිධ පළාත්වල සිට මේ කතරගම පුදබිමට පැමිණෙන්නේ මහත් වූ ශ්‍රද්ධාවකින් හා බැතියකින් යුතුව කිරිවෙහෙර සෑ රදුන්ගේ, අෂ්ඨ ඵළරුහ බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබාගන්න මෙන්ම කතරගම දෙවියන් වෙනුවෙන් විවිධ බාරහාර ඔප්පු කරන්නයි. ඉතින් මේ එද්දී ඔබ පුදබිමට ඇවිත් වන්දනාමාන සිදු කරලා බාර හාර ඔප්පු කරලා යන විට ඔබ රැගෙන ආ පොලිතින් ආදී කැළි කසල පුදබිමේ විවිධ ස්ථානවලට බැහැර කරලා මේ පුදබිම අපවිත්‍ර කරලා යනවා කියන්නේ ඔබ කතරගමට ඇවිත් සිදුකළ පිංකම්වලින් ආශිර්වාදයක් ගන්න පුළුවන් වෙන එකක් නෑ. ඔබ මේ පුදබිමට එන්නේ සැදැහැති සිතින් වගේම ඔබ වන්දනාමාන සිදු කරලා යළි මේ පුදබිමෙන් යන්න ඕනෙත් සැදැහැති සිතින්ම තමයි. ඒ තුළ තමයි දෙවියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය ඔබට ලබාගන්න පුළුවන් කම තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මෙවර කතරගම වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය ජූලි මස 06 වන දින සිට 22 දින දක්වා පැවැත්වෙනවා. ලෝකවාසි සියළු ජනතාවට මේ සඳහා එක්වන්න කියලා ආරාධනා කරන ගමන්ම යළිත් මම සිහිපත් කරන්නේ පුදබිම අවට සෑම ස්ථානයකම කසළ බැහැර කරන්න ස්ථාන වෙනම ස්ථාපනය කරලා තියෙනවා. ඒ ස්ථානවලට ඇරෙන්න වෙනත් කිසිදු ස්ථානයකට කසල බැහැර කිරීම සිදුකරන්න එපා කියලයි. මොකද සෑම වසරකදීම අපි විශාල කැළි කසල තොගයක් එකතු කරනවා පුදබිමට පැමිණි ඔබ විසින් තැන තැන ගස් යට දමා ගොස් තිබෙන. ඒ නිසා නිර්මාංශව, මත් පැන් බීමෙන් තොරව සැදැහැති සිතින් බැතියෙන් යුතුව දෙවියන් බුදුන් වදින්න එන්න කියන ඉල්ලීම කාරුණිකව කරනවා…යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment