කතරගම රාජ්‍ය පාලනය ගැන ලියැවුණු පුරාණ සෙල් ලිපියක්

112

එදා තිබූ පුරාවස්තු වලින් අද ශේෂවී ඇති දේ මීට පෙර බොහෝ අවස්ථාවල කීවෙමු. තව ටික දිනක් යනවිට මේ ප්‍රදේශයේ බොහෝ පර්වත ලිපිවලට වන්නා සේ මේ ලිපිය සහිත පර්වතය ද ගල් මුදලාලි කෙනකුගේ කුස තුළ තැන්පත් වනු ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහත්වරුන්ට ලිපිය පිටපත්කර ගැනීමට මුදලාලිව සොයා ගොස් ඉනිමඟක් බැඳ ඔහුගේ කුස තුළට රිංගන්නට සිදුවනු ඇත. ඉලඇට බිඳෙන ගමනක් මහකළුගොල්ලේ හිමියන් එසේ පවසනවිට මා කීවේ ජාතියේ උරුමය පාදා දී එසේ වුණත් කමක් නෑ කියා ය.

බිහිසුණු අත්දැකීම් ලැබූ බෝවත්තේගල ගමන අප සැම කුමන පානමින් පිටත්ව ගියෙමු. පොතුවිල් පොලිසියෙන් ගත් රාලහාමිලා දෙන්නාට තුවක්කු ද අමතක ය. සංතෝසයෙන් ඉපිල ගොස් සිටී.

ඇද කුඹුක, කුඩා කැබලිත්ත දේවාලය ද පසුකර යා යුතු තැනකි. නියං රකුසාට බිලි වී ගිය කුඹුක්කන් ඔය කේඩෑරිවී ගිය සුන්දර යුවතියක් සේ දිස්වේ. කලින් දින රාත්‍රියේ ඇදහැළුණු දරුණු වැස්ස පෙදෙසට අමාවක් වුවද තවමත් මේ පාන්දර වැටෙන සිරිසිරි පොද සිතට තරහක් ද දනවයි. මඩ වගුරු යහනේ ලැග සිටින කුලු මීහරක් වනයේ අධිරාජයන් සේ හිස ඔසවා බලා සිටිති. ගෝන්නු, මුවරංචු එළිමහන් බිම්වල පෙම් කෙළි දෙලෙන් දුව පනිති.

පෙඟී ගිය වනමඟ පිට්ටු ගෙඩියක් සේ ඉදිමී ඇත. වාහනවල රෝද රියැදුරු දෑත්වලට වලංගු නැති තරම්ය.කුඹුක්කන් ඔය රෝහණ රාජ්‍යයේ ප්‍රධාන ගංගාවලින් එක්ක හැටියට එය හැ`ඳින්වේ. කුමන විල්ලුව අසලින් මුහුදට පිවිසෙන කුඹුක්කන් ඔය හරස්කර නොයෙක් තැන බැමි බැඳ සංවර්ධනය සඳහා ඇළ වේලි තනා ඇති බව එහි ඉවුර දිගේ ගමන් කරන කෙනකුට දැකගත හැකිය. යාල අභය භූමියට අයත් වනගල තුළින් විහිදෙන ඔය දෙපස ඇවිදීමට හැකිකමක් නැත. අපා දෙපා සිවුපා සතුන් ගෙන් ගහනවූ මෙහි මඟක් තොටක් නැත.

කුඹුක්කන් ඔයේ වම් ඉවුර දිගේ, මහගල් අමුණ දක්වා ගොස් එතැනින් ඇරැඹෙන ඇළ වේල්ල දිගේ කුමන වැව දක්වා යා හැකිය. ඉන්පසු වැවේ ඉවුර දිගේ ඉහළට ගමන් කර වනයට පිවිස මඳ දුරක් ගියවිට දී බෝවත්තේ ගලට පැමිණීමට පුළුවන. මම බෝවත්තේගල ගිය දෙවරම ජීවිතයේ ඉතා බිහිසුණු අත්දැකීම් ලැබුවෙමි.

“බෝවත්තේගල” පර්වත සහිත තරමක් විශාල කන්දකි. මෙහි ලෙන් ගණනාවක් තිබේ. ඒවා කටාරම් කොටා බිත්ති බැඳ සකස් කර රා. ව. පූර්ව යුගයේම මහා සංඝයාට පූජාකර තිබේ. පිවිසුම් දොරටුව අසල මහා පර්වතය මත ඇති ස්තූපය මැදින් හාරා විනාශ කර තිබේ. එයට අයත් පාද ලාංඡන ශිලා පුවරුවක් පෙරළා දමා සුන්බුන් අතර විය. මුල්ම යුගයේ දියුණුව පැවැති ආරාමයක් බෝවත්තේගල පැවැති බවට පැහැදිලි සාධක තිබේ. පුරාතනයේ ඉතා ජනප්‍රියව පැවැති ආරියවංශ දේශනාව පැවැත්වූ ්ස්ථානයක් හැටියට බෝවත්තේගල ආරාමය වැදගත් තැනක පැවැති බව අනාවරණය කරගත හැකිවේ. එමෙන්ම මෙහි ලෙන්ලිපි විශේෂයෙන් සැලකිල්ලට ලක්කළ යුතුවේ. කතරගම දස බෑ රජවරුන් පිළිබඳ කරුණු මේ ලෙන්ලිපි ආශ්‍රයෙන් කියැවෙතියි තර්ක කළ හැකිය. ගෝඨාභය රජු අතින් මැරුම් කෑ දස බෑයන් කතරගම ක්‍ෂත්‍රියයන් බව මහාවංශය කියයි. බෝවත්තේගලට නුදුරු කොටා දැමු හෙළ ගෝඨාභය රජු විසින් දස බෑයන් කපා කොටා දැමූ ස්ථානය හැටියට පෙනේ. එම වචනය ද ඒ බව පැහැදිලි කරයි. බෝධියක් ඇති වන්නේ ගල් විහාරය බෝ වත්තේගල වූයේ බෝධියේ බලයෙනි.

එසේනම් එය සුවිශේෂ බෝධියක් විය යුතුය.

කතරගම ක්‍ෂත්‍රියයන් ගැන තොරතුරු ලැබෙන්නේ වර්තමාන කතරගම නොව, කුඹුක්කන් ඔය නිම්නයේ බෝවත්තේගල හා කොටා දැමු හෙළ යන තැන්වලින්ය. එසේ නම් අෂ්ටඵල රුහ බෝධිය රෝපිත වූයේ බෝවත්තේ ගලය යනුවෙන් අලුත් යෝජනාවක් කිරීමට සාධක නැතුවා නොවේ. මේ පෙදෙසේ ඇති බෝධිවලින් එය තෝරාගත යුතුය. කතරගම දස බෑ රජ පරපුරේ සාමාජිකයන් ගැන හැඩ ඔය නිම්නයේ බුදුපැටුන් කන්ද ලෙන්වලින් දක්නට ලැබීම ද නව සොයා ගැනීමකි. අනුරාධපුර කතරගම රජ පෙළපත්වල ඥාති සම්බන්ධය ඉතා වැදගත් වූවකි.

බුදු සමය මෙහි ආ යුගයේ, කතරගම රජවරු බෝධි අංකුරයක් ද තෑගි වශයෙන් ලදහ. ඒ අනුව ඔව්හු බෞද්ධයෝ වූහ. මේ තොරතුරු බෝවත්තේ ගල කොටවා තැබීමෙන් එහි සිංහල බෞද්ධ අයිතිය මනාව තහවුරු කර ඇත. මේ වැදගත් පුද බිම අද වලස් විමනකි. මේ සෑම ලෙනකම උන්ගේ වසුරු තිබේ. පූජනීය ගොඩනැඟිලි සියල්ල ම විනාශ කර ඇත. මේවා පුරාවිද්‍යාත්මකව සංරක්‍ෂණය කර සංචාරකයන්ගේ අවධානයට යොමු කළ හොත් එය රටේ ආර්ථිකයට ද හොඳය.

පුරාවිද්‍යා පර්යේෂණ සූරී දේශනේතෘ පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි විසිනි.
කතරගම
නිමල් කුඩාතිහි

advertistmentadvertistment
advertistmentadvertistment